Friday, October 5, 2012

කසිකබල් කටවල්!


Divaina, 05/10/2012, Editorial

(සරසවි වර්ජනයේ ශේෂ පත්‍රය)

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් යළි සාකච්ඡා ආරම්භ කිරීමට මැදිහත් වන්නැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ජනාධිපතිතුමාගෙන් ඉල්ලයි. තම අපේක්‍ෂාව වන්නේ හැකි ඉක්‌මනින් වර්ජනය නිම කිරීම බව ද එම ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි කියයි. මේ වර්ජනය මේ දක්‌වා දුර දිග ගියේ එහි පාර්ශ්වකරුවන්ගේ (රජය සහ සරසවි ඇදුරන්) අනම්‍යශීලීභාවය සහ කුණු කටවල් නිසා බව අපගේ වැටහීමය. උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක කතා කරන ආකාරය අසන සරසවි ඇදුරන්ට වර්ජනය අත්හරින්නට හිතෙන්නේ නැත. දඹර අමිල හිමියන් කතා කරන ආකාරය අසන ආණ්‌ඩුවට සරසවි ඇදුරන්ගේ ඉල්ලීම් දෙන්නට හිතෙන්නේ නැත. ආචාර්යවරුන්ගේ වර්ජනය පැවැති කාලය තුළ මේ දෙදෙනාම කවට කතිකයෝ වූහ. එස්‌. බී. දිසානායක ඇමැතිතුමා දඹර අමිල හිමියන්ට කියන්නේ 'අඹර දමිල හිමියන්' යනුවෙනි. ඒ බව අප දකින්නේ රූපවාහිනියෙනි. එසේම දඹර අමිල හිමියන් 'කමිං කලර් නෝ ගුඩ් කෙල්ල ගෙට ගනු" යනුවෙන් දේශනා කරන ආකාරය ද අපි රූපවාහිනියෙන් දුටුවෙමු. එවිට අප මුලින්ම සිතුවේ දඹර අමිල හිමියන්ගේ පෙනුම ඇති හොර ගිහියකු සිවුරක්‌ පොරවාගෙන මේ විකාර කියවන බවය. එහෙත් පසුව සොයා බලන විට ඒ දඹර අමිල හිමියන්ම බව දැන ගන්නට ලැබිණ. අපගේ වැටහීම වන්නේ මේ වැඩවර්ජනය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි වැනි ඉවසිලි සහගත උගතුන් අතට යා යුතු බව ය. ආණ්‌ඩුවේ පැත්තෙන් ද වෙනත් වැදගතෙක්‌ ඉදිරිපත් විය යුතුය. මන්ද, එස්‌. බී. දිසානායක කතා කරන විට එය අසා සිටින එකාගේ ඇඟේ ලේ වතුර වෙයි. වර්ජනය සම්බන්ධයෙන් එ.ජාප.ය කියන කතා ගැන මෙහිදී අවධානය යොමු නොකරනු ලැබේ. දවසේ පැය 24 ගෙවා ගන්නේ කෙසේ දැයි සිතමින් සිටින එජාපයට මේ වර්ජනය ස්‌වීප් එකක්‌ ඇදීමකි.

විශ්වවිද්‍යාල ප්‍රශ්නයේදී ශයිලොක්‌ ක්‍රමවේදය අනුගමනය නොකරන ලෙස ජනාධිපතිතුමා ආචාර්යවරුන්ගෙන් ඉල්ලීය. විලියම් ශේක්‌ස්‌පියර්ගේ Merchant of Venice නාට්‍යයේ සිටින සල්ලි පොලියට දෙන වෙළෙන්දෙක්‌ එක්‌තරා අවස්‌ථාවකදී තම ණයගැතියකුගෙන් සල්ලි වෙනුවට ඔහුගේ ඇඟෙන් මස්‌ රාත්තලක්‌ ඉල්ලයි. වැඩි වැටුප් ඉල්ලා සරසවි ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනයට ප්‍රගතිශීලී මුහුණුවරක්‌ දීම සඳහා එල්ලන ලද අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක්‌ වැය කළ යුතු බවට කෙරෙන ඉල්ලීමත් සමඟම ආචාර්යවරුන්ගේ සංගමය ශයිලොක්‌ගේ අවස්‌ථාව පසු කරමින් තවදුර ගොස්‌ මස්‌ රාත්තල් එකහමාරක්‌ ඉල්ලන්නට පටන් ගනී. සියයට හයේ ඉල්ලීම තම ප්‍රධාන ඉල්ලීම නොවන බව ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි පසුගියදා පැවැසීය. එය 'ශයිලොක්‌ ඉල්ලීම' ඉවත් කර ගැනීමකි. දළ ජාතික නිෂ්පාදිතය 12% ක්‌ වන රටක අධ්‍යාපනය සඳහා 6% ක්‌ ඉල්ලීම සමාන කළ හැක්‌කේ පහළ මධ්‍යම පන්තියේ දරු පවුල්කාරයකුගෙන් රටේ බෝක්‌කු අලුත්වැඩියා කිරීම සඳහා 50% ක්‌ මාස්‌පතා ඉල්ලීමටය. ඒ මනුස්‌සයාගේ පඩියෙන් භාගයක්‌ වියදම් වන්නේ පවුලේ බස්‌ ගාස්‌තුවලට සහ ලයිට්‌ බිලටය. රටේ ඇති කැඩුණු බෝක්‌කු සෑදීමද වැදගත් කරුණක්‌ වන නමුත් පඩියෙන් භාගයක්‌ ඒ සඳහා දුන් විට දරු පවුල්කාරයාට සිදුවන්නේ බඩගින්නේ මිය යැමටය.

අපේ සමහර වෘත්තීය සමිති කාරයෝත්, දේශපාලනඥයෝත් පැරැණි සියඹලාගස්‌ හා සමානය. පරණ සියඹලා ගස්‌ ඉරීමට භාර ගැනීම ලී මෝල්කාරයෝ ප්‍රතික්‍ෂේප කරති. හේතුව ලිSය එපමණටම තද නිසා කියත් තලයේ දැති ඇද වීමය. සරසවි අර්බුදයේ සියලු ඉදිරි කටයුතු සියඹලා ගස්‌වලට භාර නොදී ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි සහ ජනාධිපතිතුමා හෝ එතුමා පත් කරන යහපත් නියෝජිතයන් අතට යා යුතු බව අපගේ හැඟීමය. මේ ප්‍රශ්නය දැන්ම ඉවර කර නොගත හොත් අ.පො.ස. උසස්‌ පෙළ ළමයි ඔවුන්ගේ ප්‍රශ්න පත්‍ර බැලීම සරසවි වර්ජනය නිසා ඇනහිට ඇති බැවින් මඟ රැක සිට සරසවි ඇදුරන් එකකුට හෝ දෙදෙනකුට පහර දෙනවා ඇත. ඔවුන් ආණ්‌ඩුවට නො ගසන්නේ එවැනි හැකියාවක්‌ ඔවුන්ට නැති නිසා බව ද අපරිමිත ප්‍රේමයෙන් මතක්‌ කර දෙමු.

No comments: