Saturday, October 13, 2012

"රජය දැන් ශීලාචාර බව පෙන්වන්න" එකඟතා කැඩුවොත් ඇදුරෝ යළි සටනේ

Divaina, 13/10/2012

සිරිමන්ත රත්නසේකර

රජය තම සමිති සම්මේලනය සමග ඇති කරගත් එකඟතාව නිසි පරිදි ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී නැවතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කර සිටී.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දින 100 ක්‌ පුරා ගෙනගිය දැවැන්ත වැඩ වර්ජනය මුළුමනින්ම අත් නොහැරිය බව සඳහන් කරන එම සම්මේලනය එය තාවකාලික අත්හිටුවීමක්‌ පමණක්‌ යෑයි සඳහන් කරයි.

අදාළ වැඩවර්ජනය හරහා අධ්‍යාපනය රැකගැනීමේ මහඟු මෙහෙවර සඳහා ඉතා හොඳ අඩිතාලමක්‌ දැමීමට හැකිවූ බවත් එම සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවැසීය.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් පී. බී. ජයසුන්දර යන මහත්වරුන් තම සම්මේලනය වෙත ලබා දුන් ලිපි දෙක සහ තම සම්මේලනයේ විචාරවත් බව සහ විනිවිද බව නිසා වෘත්තීය සමිති අරගලය තාවකාලිකව හකුලා ගත් බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය. රජයට දැන් කරන්නට ඇත්තේ තම ශීලාචාර බව පෙන්වීම පමණක්‌ යයි ද එම සම්මේලනය සඳහන් කරයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා එම අදහස්‌ පළ කළේ ඊයේ (12 වැනිදා) නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

No comments: