Friday, October 12, 2012

අද සිට යළි සේවයට - ආචාර්ය වර්ජනය තාවකාලිකව අවසන්

Divaina, 12/10/2012

පී. බී. ගේ ලියවිල්ලට සම්මේලනයේ අප්‍රසාදය
නිලන්ත මදුරාවල

දින 100 ක්‌ පුරා පැවැති වැඩ වර්ජනය තාවකාලිකව අවසන් කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ (11 වැනිදා) තීරණය කළ අතර ආචාර්යවරු අද සිට සේවයට වාර්තා කරති.

උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු සඳහා සහභාගි වීමට ද ඔවුහු තීරණය කළහ.

ඊයේ පෙරවරු 10.00 සිට පැය 7 ක කාලයක්‌ සම්මේලනයේ විධායක සභාව රැස්‌ වී සාකච්ඡා කිරීමෙන් පසුව විවිධ මතිමතාන්තර මධ්‍යයේ වර්ජනය තාවකාලිකව නතර කිරීමේ තීරණය ගෙන ඇත.

සිය ඉල්ලීම්වලට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා විසින් සම්මේලනයට ලබා දුන් ප්‍රතිපත්තිමය කරුණු ඇතුළත් ලියවිල්ලට දැඩි අප්‍රසාදය පළ කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි. ආණ්‌ඩුව සමඟ ඒකාබද්ධව ප්‍රසිද්ධියට පත් කිරීමට සූදානම් කර තිබූ ප්‍රකාශයට සංශෝධන කිහිපයක්‌ ඇතුළත් කර උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරීමට ද විධායක සභාව තීරණය කළ අතර ඒ සඳහා ආණ්‌ඩුව පාර්ශ්වයෙන් අනුමැතිය ලැබුණොත් පමණක්‌ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට යැමට ද තීරණය කෙරිණි. මෙම සංශෝධිත ප්‍රකාශය අද (12 දා) අමාත්‍යාංශයට ලබා දීමට නියමිතය.

ආචාර්යවරුන්ට හානි වන අයුරින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ අංක ද මෙම සංශෝධිත ප්‍රකාශයට ඇතුළත් කර තිබේ.

ඊයේ පෙරවරු 10.00 ට ආරම්භ වූ සම්මේලනයේ විධායක සභාව සවස 5.00 වන තෙක්‌ පැවැති අතර එහිදී සාමාජිකයෝ වර්ජනය අවසන් කිරීම හා නොකිරීම සම්බන්ධයෙන් විවිධ මත පළකිරීම නිසා එය දැඩි උණුසුම් ස්‌වභාවයක්‌ ගෙන තිබිණි. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී ඊයේ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වීමට කලින් තීරණය කර තිබූ නමුත් විධායක සභාව සවස්‌ වන තෙක්‌ පැවැතීම නිසා එම මාධ්‍ය සාකච්ඡාවට සම්මේලනයේ නියෝජිතයෝ සහභාගි නොවූහ.

අධ්‍යාපනයට ආණ්‌ඩුව ප්‍රමුඛතාවක්‌ නොදෙන බව ඉතාමත්ම පැහැදිලි යෑයි ද දරුවන්ගේ අනාගත යහපත පිළිබඳ සිතා බලා වර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව ද සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ zදිවයිනZ ට ඊයේ පැවැසීය.

No comments: