Saturday, October 13, 2012

රජයේ සහ සරසවි ඇදුරන්ගේ ඒකාබද්ධ නිවේදනය මෙන්න

Divaina, 13/10/2012

පෞද්ගලික ආයතන සමඟ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ඇති කර ගත් එකඟතා ක්‍රියාත්මක කළ හැකි වන්නේ විශ්වවිද්‍යාලයන්හි පීඨ මණ්‌ඩල හා සනාතන සභාවල අනුමැතිය යටතේ බව පිළිගන්නේ යෑයි රජය හා ආචාර්ය සමිති සම්මේලනය ඒකාබද්ධ නිවේදනයක්‌ නිකුත් කරමින් පවසයි. ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය අවසන් කිරීමෙන් පසුව රජය සමග එක්‌ව නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වන අතර දෙපාර්ශ්වය තවදුරටත් මෙසේද පවසයි.

මාස තුනකට අධික කාලයක්‌ තිස්‌සේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් පවත්වා ගෙන යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හා රජය යන දෙපාර්ශ්වය අතර සාධනීය එකඟතාවක්‌ ඇති කර ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස්‌ මත හා උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතාගේ ඉල්ලීම මත, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ මැදිහත්වීමෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිදු කළ දිගු හා ඵලදායී සාකච්ඡාවල ප්‍රතිඵලයක්‌ ලෙස වර්ජන ක්‍රියාමාර්ගය අත්හැරීම සඳහා වන පහත සඳහන් එකඟතා ගොඩනඟා ගැනීමට දෙපාර්ශ්වයට හැකි විය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය විස¹ ගැනීම සඳහා අදාළ පාර්ශ්ව යොමු කරවීම කෙරෙහි උනන්දු වූ අනෙකුත් පාර්ශ්ව වන මහානායක ස්‌වාමීන් වහන්සේලා, සියලුම පූජක උතුමන්ලා, වෘත්තීය සමිති, බුද්ධිමතුන්, මහජන නියෝජිතයන්, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ සිවිල් සමාජ සංවිධාන දැක්‌වූ සහයෝගය පිළිබඳව රජයත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයත් යන දෙපාර්ශ්වයම ප්‍රසාදය පළ කර සිටිති.

මහින්ද චින්තන ඉදිරි දැක්‌aමේ සඳහන්ව ඇති පරිදි ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් කිරීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය ශක්‌තිමත් කිරීමටත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉදිරිපත් කළ ජාත්‍යන්තර නිර්ණායකවලට අනුකූල වන ලෙස අධ්‍යාපනය පිළිබඳව වූ රාජ්‍ය වියදම් වැඩි කිරීමේ යෝජනාව පිළිබඳ සැලකිලිමත් වෙමින් සහ අනෙකුත් යෝජනා ඇතුළත් වන ආකාරයටත් වූ කැබිනට්‌ පත්‍රිකාවක්‌ සාකච්ඡා ක්‍රියාවලියේ එක්‌ පියවරක්‌ ලෙස රජය විසින් අනුමත කරන ලදී.

එම කැබිනට්‌ පත්‍රිකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්‌ඩලය විශේෂ වෘත්තීය කණ්‌ඩායමක්‌ ලෙස සැලකීම, ඒ සඳහා කටයුතු කිරීමට විශේෂිත කමිටුවක්‌ පිහිටුවීම, උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළ ප්‍රතිසංස්‌කරණ හා විශ්වවිද්‍යාලවල ස්‌වාධීනත්වය පිළිබඳව වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක්‌ පත් කිරීම සහ උසස්‌ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිසංස්‌කරණ කටයුතුවලදී විශ්වවිද්‍යාල ප්‍රජාව සමඟ ඵලදායී සංවාදයක යෙදීමේ අවශ්‍යතාව පිළිගැනීම යන කරුණු ද ඇතුළත් විය.

එසේම විශ්වවිද්‍යාලවල ශාස්‌ත්‍රීය නිදහස හා ස්‌වාධීනත්වය සුරැකෙන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය එකඟතා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, උපකුලපතිවරුන් හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අතර ඇති කර ගැනීමට මෙම සාකච්ඡා තුළ දී හැකි විය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, උපකුලපතිවරුන් හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් පවත්වන ලද සාකච්ඡා මාලාවේදී වර්ජන ක්‍රියාමාර්ගය අවසන් වූ පසු එකිනෙක විශ්වවිද්‍යාලවල සමස්‌ත අධ්‍යයන කාර්ය මණ්‌ඩලය හා උපකුලපතිවරුන් අතර රැස්‌වීමක්‌ මෙන්ම විශේෂ සෙනෙට්‌ සභා රැස්‌වීමක්‌ ද පැවැත්වීමට එකඟ විය. එමගින් එකිනෙක විශ්වවිද්‍යාලවල යහපත් අධ්‍යයන පරිසරයක්‌ ගොඩනගා ගැනීම සඳහා වූ සංවාදයක්‌ ගොඩනැංවීමට අපේක්‍ෂා කෙරේ. එසේම මෙම සහයෝගීතාව තවදුරටත් ශක්‌තිමත් කිරීම සඳහා වර්ෂයකට දෙවරක්‌ උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්‍ෂවරුන්ගේ කමිටුව සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර රැස්‌වීම් පැවැත්වීමට ද එකඟ විය.

තවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර වූ සාකච්ඡාවලින් පසු 2012.10.09 දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන නියෝජිතයන් වෙත ලබා දුන් ලිත එකඟතාව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර සිටිති. එසේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් නම් කරනු ලැබ ඇති විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාවේ සාධනීය කටයුතුවලට බාධාකාරී වන චක්‍රලේඛ අහෝසි කිරීමට ද එකඟතාවක්‌ ඇතිවිය. විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා නවක සිසුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහනේ ස්‌වරූපය තීරණය කිරීම සඳහා පීඨ මණ්‌ඩල හා සනාතන සභාවල සහාය ලබා ගැනීම එළැඹි තවත් එකඟතාවකි.

එසේම පෞද්ගලික ආයතනවලට විශ්වවිද්‍යාලවල සම්පත් භාවිත කිරීමට ඉඩ දෙමින් එවන් ආයතන සමඟ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ඇති කර ගත් එකඟතා ක්‍රියාත්මක කළ හැකි වන්නේ පීඨ මණ්‌ඩල සහ සනාතන සභාවල අනුමැතිය යටතේ බව දෙපාර්ශ්වයම පිළිගනී.

දෙපාර්ශ්වය අතර සාකච්ඡා සුහදත්වයෙන් හා අවබෝධයෙන් යුතුව සිදු කෙරුණු අතර අදාළ එකඟතා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියටත් සුහදව කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟ වී සිටී.

No comments: