Friday, October 5, 2012

ආචාර්ය වර්ජනය විසඳෙන තෙක්‌ උත්තරපත්‍ර ඇගයීමට ගුරු සංගම් නෑ

Divaina, 05/10/2012

නිලන්ත මදුරාවල


උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගයීම් ආරම්භ කිරීම සඳහා මහාචාර්යවරුන් පිරිසක්‌ එකඟතාව පළ කළ ද ආචාර්යවරුන්ගේ වැඩවර්ජනයට විසඳුම් ලැබෙන තෙක්‌ ඇගයීම් කටයුතු සඳහා සහභාගි නොවීමට ගුරු වෘත්තීය සංගම් තීරණය කර ඇත. ඇගයීම් ආරම්භ කිරීමට මහාචාර්යවරුන් පිරිසක්‌ එකඟ වූ හෙයින් ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව ද සූදානමින් සිටියි.එහෙත් කොටස්‌ වශයෙන් ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සම්පූර්ණයෙන්ම විරුද්ධ යෑයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්‌ටාලින් මහතා පැවසීය. ඇතැම් විෂයයන්ට අදාළව පමණක්‌ ඇගයීම් කර ඉතිරි විෂයයන් වර්ජනයෙන් පසුව ආරම්භ කිරීම අවිධිමත් යෑයි ද විධිමත් ලෙස සියලුම විෂයයන්වල ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතු යෑයි ද හෙතෙම කීවේය.

විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය මස 24 හා 25 යන දිනවල කැඳවන ලද සාකච්ඡාවට පැමිණි මහාචාර්යවරුන් පිරිසක්‌ විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එච්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතාගෙන් ඉල්ලා තිබුණේ ඇගයීම් ආරම්භ කරන ලෙසය. ඇගයීම් ආරම්භ කිරීම සඳහා තමන් ද සූදානම් බව විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ඒ අනුවය.

ඇගයීම් කටයුතු සඳහා මහාචාර්යවරු හැට දෙනෙක්‌ එකඟතාව පළ කළ බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ද ප්‍රකාශ කර තිබිණි.

එහෙත් එලෙස කොටස්‌ වශයෙන් ඇගයීම් ආරම්භ කිරීමට ලංකා ගුරු සංගමය, සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමය ඇතුළු ගුරු හා විදුහල්පති සංගම් නවයක්‌ විරෝධය පළ කරයි.
 

No comments: