Friday, October 12, 2012

රජය සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් සිදුකරනු ලබන ඒකාබද්ධ ප්‍රකාශය



මාස තුනකට අධික කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් පවත්වාගෙන යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හා රජය යන දෙපාර්ශවය අතර සාධනීය එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත හා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මැතිතුමාගේ ඉල්ලීම මත, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිදු කළ දිගු හා ඵලදායි සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස වර්ජන ක්‍රියාමාර්ග අතහැරීම සඳහා වන පහත සඳහන් එකඟතා ගොඩනඟා ගැනීමට දෙපාර්ශවයට හැකි විය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය විසඳා ගැනීම සඳහා අදාළ පාර්ශව යොමු කරවීම කෙරෙහි උනන්දු වූ අනෙකුත් පාර්ශව වන අතිගරු මහනායක ස්වාමින් වහන්සේලා, සියලුම පූජක උතුමන්ලා, වෘත්තීය සමිති, බුද්ධිමතුන්, මහජන නියෝජිතයින්, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ සිවිල් සමාජ සංවිධාන දැක්වූ සහයෝගය පිළිබඳව රජයත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයත් යන දෙපාර්ශවයම ප්‍රසාදය පළකර සිටී.


මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් ව ඇති පරිදි ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගය ශක්තිමත් කිරීමටත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉදිරිපත් කළ ජාත්‍යන්තර නිර්ණායකවලට අනුකූලවන ලෙස අධ්‍යාපනය පිළිබඳ ව වූ රාජ්‍ය වියදම් වැඩි කිරීමේ යෝජනාව පිළිබඳව සැලකිලිමත් වෙමින් සහ අනෙකුත් යෝජනා ඇතුළත්වන ආකාරයටත් වූ කැබිනට් පත්‍රිකාවක් සාකච්ඡා ක්‍රියාවලියේ එක් පියවරක් ලෙස රජය විසින් අනුමත කරන ලදී.

එම කැබිනට් පත්‍රිකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්යමණ්ඩලය විශේෂ වෘත්තීය කණ්ඩායමක් ලෙස සැලකීම, ඒ සඳහා කටයුතු කිරීමට විශේෂ කමිටුවක් පිහිටුවීම, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිසංස්කරණ හා විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය පිළිබඳ ව වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක්  පත් කිරීම සහ උසස් අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිසංස්කරණ කටයුතුවල දී විශ්වවිද්‍යාල ප්‍රජාව සමඟ ඵලදායී සංවාදයක යෙදීමේ අවශ්‍යතාව පිළිගැනීම යන කරුණු ද ඇතුළත් විය.


එසේම විශ්වවිද්‍යාල ශාස්ත්‍රීය නිදහස හා ස්වාධීනත්වය සුරැකෙන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය එකඟතා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, උප කුලපතිවරුන් හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අතර ඇතිකර ගැනීමට මෙම සාකච්ඡා තුළ දී හැකි විය.


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, උප කුලපතිවරුන් හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ ගරු බැසිල් රාජපක්ෂ ඇමතිතුමා විසින් පවත්වන ලද සාකච්ඡා මාලාවේ දී වර්ජන ක්‍රියා මාර්ගය අවසන් වූ පසු එකිනෙක විශ්වවිද්‍යාලවල සමස්ත අධ්‍යයන කාර්යමණ්ඩල හා උප කුලපතිවරු අතර රැස්වීමක් මෙන් ම විශේෂ සෙනෙට් සභා රැස්වීමක් ද පැවැත්වීමට එකඟ වූහ. එමඟින් එකිනෙක විශ්වවිද්‍යාලවල යහපත් අධ්‍යයන පරිසරයක් ගොඩනඟා ගැනීම සඳහා වූ සංවාදයක් ගොඩනැංවීමට අපේක්ෂා කෙරේ. එසේ ම මෙම සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වර්ෂයකට දෙවරක් උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර රැස්වීම් පැවැත්වීමට ද එකඟ වූහ.


තවද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර වූ සාකච්ඡාවලින් පසු 2012-10-09 දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන නියෝජිතයින් වෙත ලබා දෙන ලද ලිඛිත එකඟතාව ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය ම එකඟතාව පළකර සිටී.
එසේම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් නම් කරනු ලැබ ඇති විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාවේ සාධනීය කටයුතුවලට බාධාකාරී වන චක්‍රලේඛ අහෝසි කිරීමට ද එකඟතාවක් ඇති විය. විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා නවක සිසුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහනේ ස්වරූපය තීරණය කිරීම සඳහා පීඨ මණ්ඩල හා සනාතන සභාවල සහය ලබා ගැනීම එළැඹුණු තවත් එකඟතාවකි.

එ සේ ම පෞද්ගලික ආයතනවල විශ්වවිද්‍යාලවල සම්පත් භාවිත කිරීමට ඉඩදෙමින් එවන් ආයතන සමඟ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඇති කර ගත් එකඟතා ක්‍රියාත්මක කළ හැකි වන්නේ පීඨ මණ්ඩල සහ සනාතන සභාවල අනුමැතිය යටතේ බව දෙපාර්ශවය ම පිළිගනී. දෙපාර්ශවය අතර සාකච්ඡා සුහදත්වයෙන් හා අවබෝධයෙන් යුතු ව සිදුකෙරුණු අතර අදාළ එකඟතා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියටත් සුහද ව කටයුතු කිරීමට දෙපාර්ශවය එකඟ වී සිටී.

No comments: