Saturday, October 6, 2012

බුද්ධිමතුන් දේශපාලනඥයන් සමග ගනුදෙනු කිරීමේ කලාව ආචාර්යවරුන්ගේ අරගලයට පසුවදනක්‌

Divaina, 06/10/2012, 

මහාචාර්ය කේ. කරුණාතිලක
කැලණිය විශ්වවිද්‍යාලය

ඉතිහාසයේ පෙර නොවූ විරූ තරමට බුද්ධිමතුන් සහ දේශපාලනඥයන් අතර ඇති සම්බන්ධතාව බිඳවැටෙන්නට, පලුදු වන්නට සහ ගැටුම් ගොඩනැගෙන්නට පටන්ගෙන තිබේ. එය වත්මන් ශ්‍රී ලාංකික සමාජයේ බොහෝ දෙනකුගේ අවධානයට ලක්‌වූ තත්ත්වයක්‌ බවට පත් වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ රජය අතර ඇති වී ඇති අරගලය හේතුකොට ගනිමිනි.

බුද්ධිගලනය අප සමාජයේ ප්‍රබල සමාජ ප්‍රවණතාවයක්‌ මෙන්ම එය රටට අහිතකර තත්ත්වයක්‌ ලෙස ක්‍රියාත්මක වූයේ අද ඊයේ නොවේ. එයට දිගු ඉතිහාසයක්‌ ඇතිවාක්‌ මෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ බලයට පත්වූ කිසිම රජයක්‌ මෙම ගැටලුවට යහපත් ප්‍රතිචාරයක්‌ දැක්‌වීමට සමත් වූ බවක්‌ දැකිය හැකි නොවේ. නමුත් වත්මන් රජය තම මුල්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් (මහින්ද චින්තනය) සහ එහි දෙවැනි ප්‍රකාශනයෙන් (ඉදිරි දැක්‌ම) මෙම සමාජ සංසිද්ධියට වැදගත් තැනක්‌ ලබා දෙමින් බුද්ධිමතුන්ට නිසි තැනක්‌ ලබාදීමට කටයුතු කරන්නේය යන ප්‍රතිපත්තිය බුද්ධිමතුන් අතර මුල් බැස ගන්නට කටයුතු කළේය. එසේම බොහෝ බුද්ධිමත්හු එය විශ්වාස කළහ. ඔවුන් අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පෙරමුණ ගත් අතරම ඔවුන් වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා විශාල සමාජයීය කාර්යභාරයක්‌ ඉටුකරනු ලැබීය. රජයේ ප්‍රතිපත්තිය තවදුරටත් තහවුරු කරමින් යුද්ධය අවසන් වූ පසු ජනාධිපතිවරයා විවෘත ප්‍රකාශයක්‌ කරමින් අවධාරණය කළේ විදේශගත වූ බුද්ධිමතුන් තම රටට පැමිණ රට සංවර්ධනය කිරීමේ කර්තව්‍යයට බද්ධ වන ලෙසයි. එසේම එවැන්නකට මුල පුරමින් විශේෂ සාකච්ඡා වටයක්‌ද සංවිධානය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. මෙය ඉතා අගය කළ යුතු ප්‍රයත්නයකි. මෙතරම් ප්‍රතිජනනාත්මක ලෙස කටයුතු කළ ජනාධිපතිවරයකු සමග තම වෘත්තීයමය ගැටලු විස¹ ගැනීමට නොහැකිව ප්‍රබල සමාජ විරෝධයක්‌ දක්‌වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගමන් කරනුයේ ඇයි දැයි විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි. එමෙන්ම මෙම තත්ත්වය බුද්ධිමතුන් දේශපාලනඥයන් සමග ගනුදෙනු කිරීමේ කලාවේ ගැටලුවක්‌ද? නැතිනම් දෙපාර්ශ්වයේ මූලික අරමුණුවල ඇති වී ඇති වෙනසක්‌ හෝ එකිනෙකා තම ප්‍රතිපත්තිවලින් ඈත්වීම නැතහොත් ප්‍රතිපත්තිවලට ගරු නොකිරීම නිසා ඇතිවූ තත්ත්වයක්‌ දැයි විමසා බැලිය යුතු වේ.

රටක බුද්ධිගලනය තීරණය වන්නේ එයට හේතු වන තල්ලු සාධක සහ ඇදගැනීමේ සාධක මතය. මීට වසර කිහිපයකට පෙර ලෝකයේ දියුණු රටවල්හි නොදියුණු රටවල්හි බුද්ධිමතුන්ට විශාල ඉල්ලුමක්‌ පැවැතිය ද එම දියුණු රටවල්හි වර්ධනය වූ ආර්ථික අර්බුද හේතු කොට ගනිමින් එම ඉල්ලුම විශාල ලෙස අඩු වී තිබේ. එහෙත් බුද්ධිගලනය නතර වී නැත්තේ තල්ලු සාධක ශ්‍රී ලංකාව තුළ ප්‍රබල මට්‌ටමක පවතින නිසාය. මෙම සාධක අතර ප්‍රධාන වන්නේ අඩු වැටුප් සහ වරප්‍රසාදයන්ය. මෙම තත්ත්වය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ආදේශ කළ විට මෙම ක්‍ෂේත්‍රයේ රැකියා අවස්‌ථා දහස්‌ ගණනක්‌ පිරවීමට නොහැකි වී ඇත්තේ මෙකී අඩු වැටුප් සහ වරප්‍රසාද නිසාය. දෙවැනි ප්‍රධාන සාධකය වන්නේ රාජ්‍ය ආයතන ව්‍යqහයන්හි සිදුවෙමින් පවත්නා දේශපාලනීකරණය, සුදුස්‌සාට සුදුසු තැන නොලැබීම සහ මිලිටරිකරණයයි. විශ්වවිද්‍යාල ස්‌වාධීන ආයතනයන් වුවද මෑතක සිට එහි පරිපාලන කටයුතු කෙරෙහි මෙන්ම ශාස්‌ත්‍රීය කටයුතුවලටද දේශපාලනික මැදිහත්වීම් සිදුවෙමින් පවතී. මෙයට උදාහරණයක්‌ දෙකක්‌ කැලණිය විශ්වවිද්‍යාලයෙන්ම සපයා දිය හැකිය. මේවා මෑත කාලයේ සිදුවූ සිද්ධීන්ය. විශ්වවිද්‍යාලයේ පරිපාලන අක්‍රමිකතා සහ වැරැදි පිළිබඳ ජනාධිපතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳව සොයා බැලීමේ ක්‍රියාවලිය උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයේ මාස දහයකට ආසන්න කාලයක්‌ කල්ගත වෙමින් පවතී. තවත් උදාහරණයක්‌ වන්නේ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ උවමනාවට කැලණිය විශ්වවිද්‍යාලයේ විවෘත හා දුරස්‌ථ අධ්‍යාපන මධ්‍යස්‌ථානයට රජයේ වියදමින් රුපියල් මිලියන 500 ක ට වැඩි මුදලක්‌ වැය කර කිරිබත්ගොඩ නගරයෙන් තට්‌ටු හතරක ගොඩනැඟිල්ලක්‌ මිලදී ගැනීමයි. දේශපාලනීකරණයට කැලණිය විශ්වවිද්‍යාලයෙන් තවත් ඕනෑතරම් උදාහරණ සැපයිය හැකි අතර එහි බරපතළකම මේ දිනවල රජයේ මාධ්‍යයන් ඔස්‌සේ ඕනෑම අයකුට අවබෝධ කරගත හැකිය. රජයේ සෙසු ආයතනවලට මෙන්ම විශ්වවිද්‍යාලවලට ද මිලිටරිකරණය බලපෑ එක්‌ අවස්‌ථාවක්‌ වන්නේ "රක්‌නා ලංකා" ආරක්‍ෂක සේවයට විශ්වවිද්‍යාලවල ආරක්‍ෂක කටයුතු භාර දීමට කළ උත්සාහයයි. මිලිටරිකරණයේ නවතම අංගය වන්නේ විශ්වවිද්‍යාලවලට අලුතින් බඳවාගන්නා සිසුන්ට විශේෂ පුහුණු පාඨමාලාවක්‌ ලබාදීමයි.

ඉහතින් පෙන්වා දුන් පරිදි රජය බුද්ධිමතුන්ට ආරාධනා කළ ද ඔවුන්ට සරිලන පරිසරයක්‌ සකස්‌කර දී නොමැත. එපමණක්‌ නොව දැනට තම රටට ඇති ආදරය සහ ගෞරවය මත විශ්වවිද්‍යාලවල රැඳී සිටිමින් සේවය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ද ස්‌වාධීනව කටයුතු කිරීමට තරම් පරිසරයක්‌ නිර්මාණය කිරීමට රජය අසමත් වී තිබේ. එවන් පසුබිමක්‌ මත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ස්‌වකීය වෘත්තීයමය අයිතිවාසිකම් සහ තම වෘත්තියට සරිලන වැටුපක්‌ මෙන්ම ඔවුන්ගේ සේවය විශේෂ සේවාවක්‌ ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා වෘත්තීයමය අරගලයක්‌ දියත් කර තිබේ. මෙම ඉල්ලීම් සඳහා ප්‍රධාන තේමාව ලෙස සමාජ ගත කර ඇත්තේ නිදහස්‌ අධ්‍යාපනය ආරක්‍ෂා කිරීම උදෙසා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ප්‍රතිශතයක්‌ සමස්‌ත රාජ්‍ය අධ්‍යාපන ක්‍රියාවලිය උදෙසා වෙන් කරන ලෙස රජයට බලකර සිටීමයි.

මෙම වෘත්තීය අරගලය වසර 2008 තරම් ඈතට දිව යයි. එතැන් සිට වසර 2011 දක්‌වාම සාකච්ඡා මාර්ගයෙන් තම වෘත්තීය ගැටලු විස¹ ගැනීමට ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය විශාල පරිශ්‍රමයක්‌ දැරීය. මෙම උත්සාහය සාකච්ඡා මෙන්ම ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳව රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජෙµaරි කමිටුවකින් ද සමන්විත විය. එම කමිටුව වැටුප් පරිමාණයන් පිළිබඳව ඉතා සුබවාදී නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීය. නමුත් රජය එම නිර්දේශයෙන් පසෙකලා ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය සමග නැවතත් සාකච්ඡා ආරම්භ කරමින් නව වැටුප් පරිමාණයන් ගොඩනැංවිය. වරක්‌ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී මෙන්ම ජනමාධ්‍යයන්ට ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විශාල වැටුප් වැඩිවීමක්‌ ලබාදෙන බවයි. ජනාධිපතිවරයාද තම අය-වැය කතාවේදී මේ හා සමාන ප්‍රකාශයක්‌ කරනු ලැබුවේ 2011 වසරේ අය-වැය කතාවේදීය. එහෙත් එම කිසිවක්‌ ඒ ආකාරයෙන් ඉටු නොවුණි.

තත්ත්වය මෙසේ නම් වෘත්තිකයන් ලෙස තම වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා වෘත්තීය අරගලයක්‌ සිදු කිරීම හැර වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා පිළිවෙතක්‌ රටේ නෛතික රාමුව තුළ ඉතිරි වී නැත. එම වෘත්තීය අරගලය ද ඊට අදාළ නෛතික සාධක කෙරෙහි සැලකිලිමත් වෙමින් සිදුකර ඇති බැවින්ද රජයට තම ඉල්ලීම් නිසි ලෙස ලබාදී ඇති බැවින්ද මෙකී ගනුදෙනුවේ අඩුපාඩුවක්‌ හෝ වැරැද්දක්‌ ඇතැයි කිව නොහැකිය.

එසේ නම් මෙකී ගනුදෙනුවේ සිටින දේශපාලනඥයන්ට බුද්ධිමතුන් ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය, එහි කෙටිකාලීන සහ දිගුකාලීන බලපෑම තේරුම් ගැනීමට තරම් ශක්‌තියක්‌ නොමැතිද? එසේත් නැතිනම් උවමනාවක්‌ නැතිද? නැතිනම් බුද්ධිමතුන් තව තවත් දුර්වල කර දේශපාලනඥයන් වශයෙන් තමන්ට ඇති ඉඩකඩ තව තවත් වැඩිකර ගැනීමේ සැඟවුණු උවමනාවකින් ක්‍රියාකරන්නේද? ආදී ප්‍රශ්න රැසක්‌ බුද්ධිමතුන් තුළ මතුවීම සාධාරණ තත්ත්වයකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තම වැටුප් වැඩිකර ගැනීම සඳහා මෙවැනිම අරගලයක්‌ දියත් කළේ ජනාධිපති ප්‍රේමදාසගේ පාලන කාලයේදීය. එම සටනට නායකත්වය දුන්නේ ආචාර්ය නලින් ද සිල්වාය. ඔහු වාමාංශිකයකු ලෙසද ජාතික චින්තනවාදියකු ලෙස එජාප රජයට එරෙහිව දැඩි පීඩනයක්‌ ගොඩනැගුවෙකි. ඉන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රජයකට එරෙහිව ගොඩනැඟුණු ප්‍රබලතම අරගලය වන්නේ වර්තමාන අරගලයයි. එය ආචාර්ය නලින් ද සිල්වා මෙහෙයවූ අරගලයට වඩා තියුණු අරගලයක්‌ බවට පත්ව ඇති අතර එයට ආචාර්ය නලින් ද සිල්වා එරෙහි වීම දෛවයේ සරදමක්‌ වැනිය. කෙසේ වුවත් එම අරගලය තම ඉල්ලීම් දිනා ගනිමින් අවසන් වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රළුබව සහ ආචාර්ය නලින් ද සිල්වාට ඔහු තුළ තිබූ විරෝධතාව නිසා නොව එවකට උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා වූ ඒ. සී. එස්‌. හමීඩ් මහතාගේ තිබූ රාජ්‍යතාන්ත්‍රික ස්‌වභාවය සහ ඒ ප්‍රතිපත්තිය සමග බුද්ධිමතුන්ට ගනුදෙනු කිරීමට තිබූ පහසුව නිසාය.

ප්‍රේමදාස ජනාධිපතිවරයා උපාධිධරයකු නොවූවද ඔහු විශාල ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක්‌ උරුමකර ගත් සැබෑ නායකයකු විය. එහෙත් ජවිපෙ තමන්ට එරෙහි වන විට ඒ වටා සිටි විශ්වවිද්‍යාල සිසුන් ද අනෙකුත් බුද්ධිමතුන්ද විනාශ කිරීමට පසුබට වූයේ නැත. නමුත් ඔහු ද සාකච්ඡා මාර්ගයෙන් තමන්ට එරෙහි බලවේග සමග ගැටලු විස¹ ගැනීමේ කලාවක්‌ද අනුගමනය කළේය. හොඳම උදාහරණය වන්නේ මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන් සමග සෘජු ගනුදෙනුවකට ගොස්‌ උන්වහන්සේ නායකත්වය ලබාදෙන හෙද සංගමයේ වෘත්තීය ගැටලු විසඳීමයි. එපමණක්‌ නොව තමන්ට එරෙහි වූ ජවිපෙ සමග ද ගිවිසුමකට එළැඹීමට උත්සාහ කළ ඔහු ප්‍රභාකරන් සමග ද සෘජු සම්බන්ධතා පවත්වා ජනවාර්ගික ගැටලුව විස¹ ගත හැකි වේ යෑයි විස්‌වාස කළේය. එම විශ්වාසය පසුව ඔහුටම පාරාවළල්ලක්‌ වූයේ ප්‍රභාකරන්ගේ ගනුදෙනු කිරීමේ කලාව හේතුකොට ගනිමිනි. ප්‍රේමදාස ජනාධිපති මෙසේ ක්‍රියා කළ ද ලෝකයේ ඉතා දක්‍ෂ සහ කපටි දේශපාලනඥයකු ලෙස පිළිගනු ලැබූ ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා වර්ජකයන් උදෙසා අනුගමනය කළේ ඉතා දැඩි ප්‍රතිපත්තියකි. 1980 ජුලි වර්ජකයන්ගේ ගැටලුව අදටත් ඉතිරි වූයේ ඔහුගේ ගනුදෙනු කිරීමේ කලාව හේතු කොට ගනිමිනි.

බුද්ධිමතුන් ලෙස ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නායකයන් සාකච්ඡාවෙන් තම ගැටලු විස¹ ගැනීමට තවමත් උත්සාහ කළත් එය තවමත් සාර්ථක මට්‌ටමකට පැමිණ නැත්තේ ඔවුන්ගේ ගනුදෙනු කිරීමේ කලාවේ ඇති ගැටලු මතද? නැතිනම් වෙනත් හේතු මතදැයි විමසා බැලිය යුතුය.

ඇත්තෙන්ම ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි නූතන සමාජ තත්ත්වයන් පිළිබඳ දැනුමක්‌ ඇත්තකු වශයෙන් රජයත් සමග රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුව පවත්වාගෙන යැමට හැකියාවක්‌ නැතැයි පැවසිය නොහැකිය. මෙතෙක්‌ ඔහුගේ නායකත්වය පිළිබඳව ගැටලුවක්‌ තම සංගමයේ සාමාජිකයන්ට නොමැත. පොදුවේ රජයත් සමග ගනුදෙනු කරන ආකාරය අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කොටස්‌ හතරකට බෙදා දැක්‌විය හැකිය.

එනම්(

1. රජයේ ඕනෑම දෙයක්‌ නිවැරැදි යෑයි සිතා සහ රජයට අවශ්‍ය දේ ක්‍රියාවට නැගීමට පුරුදු වූ ආචාර්යවරුන්,

2. රජයේ ප්‍රතිපත්තිමය අවශ්‍යතාවන්ට ශාස්‌ත්‍රීය දායකත්වයක්‌ ලබා දෙමින් රජයේ යහපත් ක්‍රියාවන්ට දිරි දෙන ආචාර්යවරුන්.

3. රජයට කිසිම සෘජු සම්බන්ධතාවක්‌ නැති තම ශාස්‌ත්‍රීය කටයුතුවලට පමණක්‌ සීමා වූ ආචාර්යවරුන්.

4. රජයේ ක්‍රියාවන්ට සහ ප්‍රතිපත්තිවලට විරුද්ධව ක්‍රියා කරන ආචාර්යවරුන්.

පළමු, සිව්වැනි යනුවෙනි. වර්ගයේ ආචාර්යවරුන් තම වෘත්තියට මෙන්ම ශාස්‌ත්‍රීය අනන්‍යතාවන්ට සෘජුවම හෝ වක්‍රාකාරයෙන් හානියක්‌ සිදුකරයි. වර්තමානයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන යන අරගලයට එරෙහිව කටයුතු කරන සුළු පිරිසක්‌ සිටින අතර ඔවුන් අයත් වන්නේ මෙම පළමු වර්ගයටය. ඔවුන් අතර ඉදිරියෙන්ම සිටින්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් කීප දෙනෙකි. මොවුන් සියලු දෙනාම තම වෘත්තීයමය ජීවිතයේ අඩුපාඩු හෝ ගැටලු ඇත්තවුන්ය. ඉතා සරලව පවසන්නේ නම් තම මුල් උපාධිය පිළිබඳ ගැටලු හෝ පශ්චාත් උපාධි සම්පූර්ණ කර ගැනීමේදී විවිධ අපහසුතා හෝ ගැටලුවලට මුහුණ දුන් තම අනන්‍යතාව පිළිබඳව සෙසු ආචාර්යවරුන් අතර සාධාරණ සැකයකට ලක්‌ වූවන්ය. එබැවින් ඔවුහු ආණ්‌ඩුවට කත්අදිමින් තම වෘත්තීයමය අනන්‍යතාවන් සහ අවශ්‍යතාවන් පාවා දෙමින් කටයුතු කරති. මෙය තහවුරු කර ගැනීමට හොඳම ක්‍රමය වන්නේ එවන් ආචාර්යවරයකුගේ නමක්‌ ඨදදටකැ වෙබ් අඩවියේ ලියා සොයා බැලීමෙනි. එවිට ආණ්‌ඩුවට කත් ඇදීමක්‌ විනා රටේ සංවර්ධනයට හෝ ශාස්‌ත්‍රීය උන්නතියට සිදු කළ යමක්‌ මතු නොවන බව ඉතා හොඳින් තහවුරු වේ. ඔවුන් කොතරම් දුරට ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්‌ව ඇති දැයි හඳුනාගත හැකි වේ.

වත්මන් අරගලයට සෘජු දායකත්වයක්‌ ලබා දෙන්නේ දෙවැනි සහ තෙවැනි වර්ගයේ ආචාර්යවරුන්ය. ඔවුන් සියලු දෙනා රටේ සංවර්ධනයට මෙන්ම නිදහස්‌ අධ්‍යාපනය ආරක්‍ෂා කර ගැනීමට ඇප කැප වූවන්ය. තම රටට සේවයක්‌ කළ යුතු යෑයි කල්පනා කරන්නන්ය. ඒ අනුව රජයත් සමග තම වෘත්තීමය පදනම මත ගනුදෙනුවක නිරත වී එහි ප්‍රබල අවස්‌ථාවකට එළැඹ ඇත්තේ රජය බුද්ධිමතුන් සමග ගනුදෙනු කිරීමේ කලාව තේරුම් ගෙන නොතිබීමෙන්ය. එය තහවුරු වන්නේ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග ගනුදෙනු කරන කලාව අනුවය. දේශපාලනඥයන් බොහෝ දෙනා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබූවන් නොවේ. ඇතැමකු රජයේ ඉහළ තනතුරු දැරුවද සාමාන්‍ය පෙළ වත් සමත් වූවන් නොවේ. ඇතැම් සාමාන්‍ය පුරවැසියන් ප්‍රශ්න කරන්නේ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ඇත්තටම විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා ඇතිද? යන්නයි. එසේ නම් මෙය බුද්ධිමත්භාවය පිළිබඳ ගැටලුවක්‌ද?

නිදහස්‌ අධ්‍යාපනය සුරැකීම සඳහා විශේෂ දායකත්වයක්‌ ලබා දෙන ප්‍රධාන කණ්‌ඩායම වන්නේ විශ්වවිද්‍යාල සිසුන්ය. මෙතෙක්‌ පැවැති රජයන් ඔවුන් සමග ගනුදෙනු කළේ ඔවුන් රාජ්‍ය විරෝධීන් ලෙසය. 1976 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වීරසූරිය ශිෂ්‍යයා ඝාතනය වූයේ ශ්‍රී.ල.නි.ප. නායකත්වයක්‌ ඇති රජයක්‌ යටතේය. 1984 දී පද්මසිරි ශිෂ්‍යයාද, 1988 දී ත්‍රිමා විතාරණ සහ රණවක සිසුන් ඝාතනය වූයේ එ.ජා.ප. රජය යටතේය. ඒ අනුව එ.ජා.ප. යට නිදහස්‌ අධ්‍යාපනය ගැන කතා කිරීමට සාධාරණ අයිතියක්‌ නැත. ඒ පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හොඳින් දනී. එය තහවුරු වූයේ මෙම අරගලයට සහාය දක්‌වමින් විපක්‍ෂ නායකවරයා පයාගලට පැමිණ දිවා ආහාරය ගනිමින් විවේකයෙන් සිටි ආචාර්යවරුන් අතරට පැමිණ කතා කිරීමට උත්සාහ කළ විට ආචාර්යවරුන් ඔහුට ප්‍රතිචාර නොදැක්‌වීමෙන් අවසානයේ ඔහු තම සගයන් දහපහළොස්‌ දෙනකු පිරිවරා ගනිමින් ටී. එන්. එල්. රූපවාහිනියට ප්‍රකාශයක්‌ කරමින් පිටව යැමට සිදුවිය. මේ විපක්‍ෂය මෙම අරගලය සමග කරන ගනුදෙනුවයි. ඔවුන් මෙම අරගලයට රජය යහපත් ප්‍රතිචාරයක්‌ දැක්‌වුවහොත් එහි දේශපාලන වාසිය ලබා ගන්නට බලා සිටියද මෙම අරගලය සැබැවින්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහ සිසුන්ගේ අරගලයකි. එවැනි පටු දේශපාලන උවමනාවන් සාක්‌ෂාත් කරගැනීමට ඉඩ තැබීමට තරම් පහත් මට්‌ටමකට වැටී නොමැත. ජනතාවාදී නායකයකු ලෙස තවමත් පෙනී සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පයාගලදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතරට පැමිණියේ නම් ඔවුන් සියලු දෙනා ඔහුට යහපත් ප්‍රතිචාරයක්‌ දක්‌වනු නියතය. එමෙන්ම විපක්‍ෂයට පමණක්‌ නොව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමැතිවරුන්ටද නිදහස්‌ අධ්‍යාපනය සුරැකීම සඳහා සහාය පළකරමින් මෙම අරගලයට පැමිණීමේ හැකියාවක්‌ ඇත. එයට තහනමක්‌ නැත. එසේම මෙය ආණ්‌ඩු විරෝධී අරගලයක්‌ නොවේ. රජයේ ප්‍රතිපත්තියකට බලකර සිටීමේ අරගලයකි. එයට ඕනෑම අවස්‌ථාවක රජයට සහභාගි විය හැකිය. එයට විසඳුම් දෙමින් නිදහස්‌ අධ්‍යාපනය සුරැකීමට සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීයමය ගැටලු විසඳීමට සහාය වී අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලු නිරාකරණය කළ හැකිය.

ඒ අනුව පැහැදිලි වන්නේ රජයේ ප්‍රතිපත්තිමය කරුණුවල සහ බුද්ධිමතුන් සමග ගනුදෙනු කිරීමේ කලාවේ වෙනසක්‌ සිදුව ඇති බවයි. ඉතා දරදඬු පිළිවෙතකට නොයා මෙම අර්බුදය විස¹ ගැනීම සඳහා රජය තවදුරටත් සාකච්ඡාමය ප්‍රවේශයක පිහිටීම අත්‍යවශ්‍යය. අවසන් සාකච්ඡාවෙන් අනතුරුව සති දෙකක්‌ ගෙවී ගොස්‌ ඇති නමුත් ඉදිරි සාකච්ඡාවන්ට රජය ප්‍රතිචාර නොදැක්‌වීමෙන් මෙම අරගලය තවත් උත්සන්න වී තිබේ. එහි ඇති නිෂේධනාත්මක ප්‍රතිඵල වැඩිවෙමින් පවතී. මෙම ගත වූ සති දෙකක කාලයේ සාකච්ඡාව ඉදිරියට ගෙන යැමට කටයුතු කර යම් විසඳුමකට පැමිණියේ නම් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකුගේ ජීවිත අහිමි නොවේ. මෙම අරගලය තවත් ජීවිත පුදන අරගලයක්‌ බවට පත් නොකර රජයේ අභිමානය ආරක්‍ෂා කර ගනිමින් විස¹ ගැනීමේ කාලය එළැඹ තිබේ. එයට සියලු පාර්ශ්ව කැපවිය යුතුය.

No comments: