Thursday, October 4, 2012

අධ්‍යාපනයේ අර්බුදය!

Divaina, 04/10/2012

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දියත් කළ වැඩ වර්ජනය හමුවේ පසුගිය කාලය පුරාම අපි රටේ අධ්‍යාපනය ගැන බොහෝ කතා කළෙමු. ඒ පිළිබඳ ඇති වූ නොයෙකුත් වාද විවාදවලට ද ඔබ බොහෝ සවන් දෙන්නට ද ඇත. මේ වැඩ වර්ජනයට නායකත්වය දුන් සරසවි ආචාර්යවරුන්ට රාජ්‍ය මාධ්‍ය විසින් "කොටි" ලේබල් අලවද්දී උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායකද කළේ කොටි හපුවකු මෙන් වැඩ වර්ජනයට නායකත්වය දුන් සරසවි ආචාර්යවරුන්ගේ සංගමයේ අයට බැණවදිමින් ඔවුන්ගේ ඇඟට කඩා පනින ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමයිá ඔවුන්ට අවලාද නැඟීමයි. විසඳුමක්‌ සඳහා මැදිහත් විය යුතු දෙපාර්ශ්වයම නම්‍යශීලී ප්‍රතිපත්තියක්‌ අනුගමනය නොකර කැත්තට පොල්ල මෙන් සිටීමෙන් සිදු වූයේ මේ ප්‍රශ්නය දිගු කාලයක්‌ ඇදී යන ප්‍රශ්නයක්‌ බවට පත්වීමයි. විශේෂයෙන් උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌ බී. දිසානායක මහතා තම ක්‍රියා කලාපය තුළින් සරසවි ආචාර්ය වැඩ වර්ජනයට අනියමින් ශක්‌තිය ලබාදීම හමුවේ සිදුවූයේ එම ප්‍රශ්නය සුහදව සහ වඩා ඉක්‌මනින් විස¹ ගැනීමට නොහැකි තත්ත්වයක්‌ ද ඇති වීමයි. විසඳුමක්‌ ඇති කර ගැනීමට දුෂ්කරව, ප්‍රශ්නය වඩාත් අවිනිශ්චිත තත්ත්වයකට ද පත්වීමයි. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂට, මේ ප්‍රශ්නය සඳහා මැදිහත් වන්නට සිදුවන්නේ මෙවන් පසුබිමක්‌ තුළය. එම මැදිහත්වීම තුළ මේ වනවිට එම අවුල බොහෝදුරට විසඳෙන තැනකට පත්ව තිබුණත්, සරසවි ආචාර්ය සමිති සම්මේලනය විසින් ඔවුන්ගේ සටනින් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවලට වාසි සලසා ගැනීමට ඉඩ දීමද සිදුවනු දක්‌නට ලැබිණි. එම සටන එසේ දේශපාලනීකරණය වීම සහ උසස්‌ පෙළ සිසුන්ගේ උත්තර පත්‍ර නොබැලීම හමුවේ තම සටනේ ගෞරවනීයභාවය ද සරසවි ආචාර්යවරුන් විසින්ම පළුදු කරගත් බවද අපට දක්‌නට ලැබිණි.

මෙවන් පසුබිමක්‌ තුළ අප සූදානම් වන්නේ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 6 ක්‌ වෙන් කිරීමේ ඉල්ලීම් ගැන වඩා පුළුල්ව සාකච්ඡා කිරීමටය. මේ ගැනද දැනටමත් බොහෝ අදහස්‌ පළ වී තිබේ. ඇත්ත වශයෙන්ම මේ ඉල්ලීම ඇතුළු තවත් ඉල්ලීම් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් රජයට ඉදිරිපත් කර තිබුණත් ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාව තම පඬි වැඩි කර ගැනීම පමණය. මේ සටන තුළ රටේ අධ්‍යාපනයේ හෙට දවස ගැන සැබෑ කැක්‌කුමක්‌ තිබුණේ නම්, අඩු තරමේ මේ ප්‍රශ්නයට වගකිව යුතු නැති උ/පෙළ සිසුන්ගේ උත්තර පත්‍ර හෝ බැලිය යුතුව තිබුණි. එම දරුවන්ගේ පිළිතුරු පත්‍ර නොබැලීමෙන් සිදුවන්නේ එම දරු පිරිසගේ ජීවිත පසුගාමී තත්ත්වයට පත් වීමයි. එය රටේ හෙට දවසටද හිතකර නොවේ. මේ තුළ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක්‌ වෙන් කරන ලෙස සිදු කර ඇති ඉල්ලීම ගැන අපි සලකා බලමු.

මෙහිදී මුලින්ම අපගේ වත්මන් අය වැය තත්ත්වය පිළිබඳව සලකා බැලීම ඉතා වැදගත්ය. ගිය වසරේ (2011) දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස මුළු රාජ්‍ය වියදම සියයට 21.6 ක්‌ වූ අතර මුළු රාජ්‍ය ආදායම සියයට 14.3 ක්‌ තරම් අඩු අගයකට පහත වැටී තිබුණි. 2010 වසරේ මුළු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 14.6 ක්‌ වූ අතර රජය 2011 වසරේදී මේ අගය සියයට 15.2 ක්‌ දක්‌වා ඉහළ නංවා ගැනීමට මුලින් අපේක්‍ෂා කළේය. එහෙත් වැඩි කර ගැනීමට ඉලක්‌ක කර තිබූ රාජ්‍ය ආදායම, 2010 වසරේ අගයටත් වඩා අඩු මට්‌ටමක්‌ දක්‌වා පහත වැටුණි. ඒ තුළ සමස්‌ත අයවැය හිඟය ද දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 6.9 ක්‌ දක්‌වා ඉහළ ගියේය. රජයේ ආදායමත් වියදමත් අතර ඇති මේ පරතරය දේශීය සහ විදේශීය ණය ගැනීම් මගින් පියවා ගැනීමට රජයට සිදු වේ. උපයන ආදායමින් සහ ණය වීමෙන් රජය විසින් සිදු කරන මුළු වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියටය 21.6 ක්‌ බව අපි ඉහතින්ද සඳහන් කළෙමු.

රටේ හැමදේම කිරීමට ඇත්තේ මේ මුදල් ප්‍රමාණයයි. මෙය විවිධ රාජ්‍ය වියදම් අතරේ බෙදී යන ආකාරය මීළඟට සලකා බලමු.

කාර්යයන් අනුව රජයේ මුළු වියදම ප්‍රධාන කරුණු හතරක්‌ අතරේ බෙදී යයි. එනම් (1) සාමාන්‍ය පොදු සේවා (2) සමාජ සේවා (3) ආර්ථික සේවා සහ (4) අනෙකුත් වශයෙනි. 2011 වසරේ වියදම් තත්ත්වයන් අනුව දළ දේශිය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක්‌ ලෙස සාමාන්‍ය පොදු සේවා සඳහා සියයට 4.2 ක්‌ද, සමාජ සේවා සඳහා සියයට 5.8 ක්‌ද, ආර්ථික සේවා සඳහා සියයට 6.1 ක්‌ සහ අනෙකුත් වියදම් සඳහා සියයට 5.5 ක්‌ ද වශයෙන් මුළු රාජ්‍ය වියදම බෙදී ගොස්‌ තිබුණි. (වගුව බලන්න.) මින් අධ්‍යාපනය අයත් වන්නේ සමාජ සේවා වියදම් යටතටය. අධ්‍යාපන, සෞඛ්‍ය, සුභසාධන සහ නිවාස හා ප්‍රජා සේවා යන අයිතමවලින් සමාජ සේවා වියදම සමන්විත වේ. ඒ අනුව අධ්‍යාපනය සහ සෞඛ්‍යය ද ඇතුළත් මුළු සමාජ සේවා වියදම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 5.8 කි. එනම් සියයට 6 ට ද අඩුය. සරසවි ආචාර්යවරුන් ඉල්ලන්නේ අධ්‍යාපනයට පමණක්‌ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක්‌ වෙන් කරන්නට කියාය. මෙය වහාම ඉටු කළ හැකි ඉල්ලීමක්‌ නොවන බව රජයේ වත්මන් අයවැය තත්ත්වයන් දෙස බැලීමෙන් අපට පැහැදිලි වේ. මේ ඉල්ලීම වහාම ඉටු කිරීමට හැකි ක්‍රමයක්‌ ද නැතුවා නොවේ. සමාජ සේවා වියදම තුළ ඇති සෞඛ්‍ය වියදම, සුභසාධන වියදම සහ නිවාස හා ප්‍රජා සේවා වියදම මුළුමනින්ම කපා දමා ඒ වියදම් සියල්ල අධ්‍යාපනයට යෙදවීමෙන්ද තවත් සියයට 0.2 ක්‌ වෙනත් වියදම් අයිතමයකින් කපා හැරීමෙන් ද, අවශ්‍ය නම් ලබන වසරේ (2013) දී වහාම සරසවි ආචාර්යවරුන්ගේ ඉල්ලීම ඉටු කළ හැකිය. මේ යථාර්ථය අවබෝධ වී ඇති නිසාදොa දැන් දැන් වර්ජිත සරසවි ආචාර්යවරුන් කියන්නේ වහාම නොව ක්‍රමානුකූලව අධ්‍යාපනයට රජයට වෙන් කරන මුදල ඉහළ නංවන්නට කියාය. ඒ සඳහා කිසිවකුටත් විරුද්ධ වීමට හේතුවක්‌ නැති අතර රජය ද දැනටමත් ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව පළ කර තිබේ.

අප ඉහතින් සාකච්ඡා කළේ අධ්‍යාපන වියදම ද ඇතුළත් සමාජ සේවා වියදම ගැනය. මුළු රාජ්‍ය වියදම ගත් විට ඉන් හතරෙන් එකක්‌ම (සියයට 25 ක්‌ම) වැය වන්නේ රජය ලබාගෙන ඇති ණය සඳහා පොළී ගෙවීමටය. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 5 ක්‌ පමණ වේ. මුළු රාජ්‍ය වියදමේ ඇති අනෙකුත් වියදම් යන අයිතමයෙහි වැඩි කොටස මේ පොළී වියදමය. සාමාන්‍ය පොදු සේවා වියදම් යටතට වැටෙන්නේ සිවිල් පරිපාලනය, ආරක්‍ෂක කටයුතු හා පොදු නීතිය හා ආරක්‍ෂාව වෙනුවෙන් රජය සිදු කරන වියදමයි. මීළඟට ආර්ථික සේවා වියදම්වලට අයත් වන්නේ ප්‍රවාහනය සහ සන්නිවේදනය, බලශක්‌ති හා ජල සැපයුම සහ කෘෂිකර්ම හා වාරිමාර්ග යන අංශවලට රජය කරන වියදමයි. රජයේ බදු ආදායම ද පහත වැටෙමින් තිබෙන අයවැය තත්ත්වය තුළ අධ්‍යාපන හෝ වෙනත් කිසියම් අංශයකට රජය වෙන් කරන මුදල ඉහළ නංවන්නට සිදුවන්නේ වෙනත් අංශයකට කරන වියදම් අඩු කිරීමෙන් පමණි. මේ නිසා අධ්‍යාපන අංශයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක්‌ නොව ඊට වැඩි මුදලක්‌ හෝ වෙන් කළ හැකි නම් එය ඉතා හොඳය. එහෙත් එය ඉටු කිරීමට රටට හැකියාවක්‌ද තිබිය යුතු ය.

එවැනි හැකියාවක්‌ මේ අවස්‌ථාවේ නොමැති වීමේ තත්ත්වයට රජය ද වගකිව යුතුය. එසේම දැනට රජය විසින් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල ප්‍රමාණවත් නොවන බවත් එය වැඩි කළ යුතු බවත් ඇත්තය. දැනට රජය අධ්‍යාපනය සඳහා වැය කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 2 කටත් වඩා අඩු ප්‍රමාණයක්‌ වන අතරම පසුගිය වර්ෂවලදී මුදල් වටිනාකම අනුව අධ්‍යාපනයට වෙන් කළ මුදල වැඩි වුවත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස අධ්‍යාපන වියදම ක්‍රමයෙන් පහත වැටී ඇති බවද කිව යුතුය. මේ අතරම අධ්‍යාපනය සඳහා රජය වෙන්කරන මුදල් වැඩි කරන අතරම ඒ මුදල් අධ්‍යාපනයේ ඉදිරි අරමුණු ඉටු කර ගැනීමට කවර ආකාරයෙන් වියදම් කළ යුතු ද යන්න පිළිබඳව ද රජයට සැලැස්‌මක්‌ තිබිය යුතුය. ඒ සඳහා සරසවි ආචාර්යවරුන් සැලැස්‌මක්‌ ඉදිරිපත් කළ බවක්‌ අපට දක්‌නට නොලැබිණි. නිකන්ම අධ්‍යාපනයට සියයට 6 ක්‌ වෙන් කරන්නැයි කියනවාට වඩා සරසවි ආචාර්යවරුන් විසින් අධ්‍යාපන අංශයට වැඩි කරන රාජ්‍ය මුදල් වියදම් කිරීම පිළිබඳ දැක්‌මක්‌ ද රජයට ඉදිරිපත් කරන්නේ නම් වඩාත්ම හොඳය. රජයේ ආර්ථික බලධාරීන් ද සියල්ල දන්නේ යෑයි නොසිතා රජයේ සංවර්ධන ගමනට අදාළ ආර්ථික තීන්දු ගැනීමේදී සරසවි ආචාර්ය භවතුන්ගේ මෙන්ම වෙනත් විද්වතුන්ගේ සහාය ද ලබා ගත යුතුය. විවිධ අදහස්‌වලට සවන් දී වඩාත් හොඳම දේ ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියා කළ යුතුය.

අධ්‍යාපනය කෙසේ වෙතත් පාරවල් නම් හොඳ තත්ත්වයට පත්ව ඇති බව රටේ කොයි පළාතට ගියත් අපට දක්‌නට ලැබෙන දෙයකි. එහෙත් මහාමාර්ග ඇතුළු භෞතික යටිතල පහසුකම්වලට පමණක්‌ නොව රජයක්‌ විසින් රටේ මානව ප්‍රාග්ධන සම්පාදනයට ද ප්‍රමාණවත් පරිදි මුදල් ආයෝජනය කළ යුතුය. රජය පවසන පරිදි දැනුම පදනම් කරගත් ආර්ථිකයක ඉහළ ආර්ථික වර්ධන වේගයක්‌ පවත්වා ගෙන යැම සඳහා දායක විය හැකි මානව ප්‍රාග්ධන පදනමක්‌ බිහි කර ගත හැක්‌කේ එවිටය. වෙනස්‌වන ක්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා අනුව උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ද වෙනස්‌කම් සිදු විය යුතුය. එසේම තාක්‍ෂණික හා වෘතAAතීයමය අධ්‍යාපන අංශවල ද මේ වෙනස්‌කම් ඇති කිරීම අත්‍යවශ්‍ය ය. මේ හැමදේටම මුදල් ද අවශ්‍යය. එහෙත් වසරින් වසර රජයේ ආදායම් පහළ වැටෙමින් තිබෙන තත්ත්වය ද රටේ අධ්‍යාපනයේ පවතින අර්බුදය තීව්‍ර කරන්නට හේතු වෙයි. රජය කලක්‌ තිස්‌සේම රජයේ බදු ආදායම් ඉහළ නංවා ගැනීමට ගත් උත්සාහයන් සාර්ථක වී නැත. මේ ගැන මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ද බොහෝ වෙහෙස මහන්සි වූ බව ද අපි දනිමු. එහෙත් රජයේ බදු ආදායම් ඉහළ නංවා ගැනීමේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි?

මේ ගැන නැවත වරක්‌ ගැඹුරින් විමසා බලා පියවර ගැනීමට මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය යොමු විය යුතුව තිබේ. තවත් අයවැයක්‌ ළඟ එන මොහොතක මේ ගැන සිතා ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය මොහොතකට ද අපි එළඹ සිටිමු. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස රාජ්‍ය ආදායම සියයට 16- 17 කට ඉහළ නංවා ගැනීමට සහ රජයේ අයවැය හිඟය සියයට 5 කට වඩා අඩු මට්‌ටමකට පත් කර ගැනීමට හැකි නම් රටේ අධ්‍යාපන අංශයට පමණක්‌ නොව රටේ වෙනත් අංශවලටද රජය කරන වියදම් ඉහළ නැංවීමට අපහසු නැත. එසේම රාජ්‍ය වියදම් පිළිබඳ තීරණ ගැනීමේදී පවතින සීමිත සම්පත් හමුවේ අවශ්‍යතාවේ ප්‍රමුඛතාව ගැන අප ගැඹුරින් සිතා තීරණ ගත යුතුව ද තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

No comments: