Sunday, August 5, 2012

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය යුක්‌තිසහගත ද ?


අධ්‍යාපනය තනි තනි පුද්ගලයන්ට පමණක්‌ නොව සමස්‌තයක්‌ ලෙස සමාජයට ප්‍රතිලාභ රාශියක්‌ ගෙන එනු ලබන්නකි. රටක අධ්‍යාපනය විෂයෙහි කරනු ලබන රාජ්‍ය වියදම සලකනු ලබන්නේ වටිනා මානව ප්‍රාග්ධන ආයෝජනයක්‌ ලෙසය. එසේ වනුයේ එය අතිවිශාල සමාජ සහ ආර්ථික ප්‍රතිලාභ රාශියක්‌ ගෙන එන බැවිනි. ආනුභවික පර්යේෂණ අධ්‍යයන නිරතුරුව පෙන්වා දෙන්නේ රටක ආර්ථික සංවර්ධනය විශාල වශයෙන් එරට ශ්‍රම බළකායේ දක්‌ෂතා සහ දැනුම් මට්‌ටම් අනුව තීරණය වන බවයි. 21 වැනි ශත වර්ෂයේ උදාවත් සමග දැනුම් ආර්ථිකයේ ප්‍රසාරණය සහ ශීඝ්‍ර තාක්‌ෂණික වර්ධනය මගින් නූතන ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගයක්‌ ලෙස මානව ප්‍රාග්ධනය වෙත ප්‍රමුඛ වැදගත්කමක්‌ ලබා දී ඇත. මේ හේතුව නිසා දක්‌ෂ සහ ඒ ඒ තත්ත්වයන්ට අනුගතව වැඩ කළ හැකි වෘත්තිකයන්ට අතිවිශාල ඉල්ලුමක්‌ ජාතික සහ ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපළේ නිර්මාණය වී ඇත. මෙම සන්දර්භය තුළ තම සංවර්ධන සැලසුම්වල ඉතා ඉහළ ප්‍රමුඛතාවක්‌ මනාව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම සඳහා ලබා දීමට ලෝකයේ බොහෝ රටවල් (සංවර්ධිත, කාර්මික සහ සංවර්ධනය වන රටවල්) කටයුතු කර ඇත.

යම් පුද්ගලයකුගේ මානව ප්‍රාග්ධනය ඔහු උපතින් ලද සහ පාරිසරික සාධක මත තිරණය වන අතර ස්‌ථිරසාර වූ නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ (ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික යන අංශයන්හි) ක්‍රියාවට නැංවීම මගින් එම සාධක මත ධනාත්මක බලපෑමක්‌ ඇති කළ හැකිය. අධ්‍යාපනය තුළ රාජ්‍ය ආයෝජන මගින් ලබාදෙන අනෙකුත් ආර්ථික ප්‍රතිලාභ ද රාශියකි. ඉහළ සේවා නියුක්‌තිකභාවය, දියුණු ආර්ථික සුබසාධනය, ඉහළ ඵලදායීතාව සහ කාර්යසාධනය, අවම අසමානතාව සහ දරිද්‍රතාව ඒ අතර අතිශය වැදගත් ප්‍රධාන ආර්ථික ප්‍රතිලාභ වේ. අධ්‍යාපනය විෂයෙහි රාජ්‍ය ආයෝජන මගින් ලබාදෙන සමාජ ප්‍රතිලාභ ද රාශියකි. නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදයක යහ පැවැත්ම සහ ඉහළ සමාජ සහභාගීත්වයක්‌ සඳහා අවැසි විවෘත මනසකින් හෙබි පුරවැසියන් නිර්මාණය කිරීම, ආර්ථික සාධාරණත්වය සහ සමාජ සංචලතාව තහවුරු කිරීම, දැනුමැති දක්‌ෂ සහ නිරෝගිමත් ශ්‍රම බළකායක්‌ නිර්මාණය කිරීම, ප්‍රචණ්‌ඩකාරීත්වය අවම සංවිධිත සමාජයක්‌ සඳහා අවශ්‍ය විනය ගරුක පුරවැසියන් නිර්මාණය කිරීම සහ පර්යේෂණ සහ සංවර්ධනය තුළින් නව සොයා ගැනීම් සඳහා මාර්ග විවර කර ගැනීම ඒ අතර ප්‍රධාන වේ. නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයකු වන මිල්ටන් ෆිරීඩ්මාන් වරෙක දක්‌වා සිsටියේ "ස්‌ථාවර සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්‌ ඇති කිරීමට උදවු වීම මගින් මගේ දරුවාගේ අධ්‍යාපනය අනෙකුත් ජනතාවගේ සුබ සාධනයට දායක වන බවයි."

මෙම සියලු කරුණු මගින් දැඩිව අවධාරණය කරනුයේ අධ්‍යාපනය විෂයෙහි රාජ්‍ය ආයෝජන ජාතියකට ආර්ථික සහ සමාජීය වශයෙන් අතිශය පිරිවැය - සඵලදායී බවය. එනම් දුර්වල දැක්‌මක්‌ සහිත, ඌන ප්‍රතිපාදන සහිත සහ ගුණාත්මක බවෙන් අඩු අධ්‍යාපන පද්ධතියකින් ඇති කරන සමාජ සහ ආර්ථික ප්‍රතිවිපාක සඳහා දරන්නට සිදුවන පිරිවැය අතිශය විශාල බවයි. අධ්‍යාපනය සඳහා රාජ්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම සම්බන්ධව යුනෙස්‌කෝ (UNESCO) සම්මුතිය තුළ මෙසේ දැක්‌වේ. "සාමාජික රාජ්‍යයක්‌ සිය දළ ජාතික ආදායමෙන් (GNP) අඩුම තරමින් 6% ක්‌ වත් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු අතර අධ්‍යාපන අයවැයෙන් සාධාරණ අනුපාතයක්‌ වැඩිහිටි අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතුය" යනුවෙනි.

කෙසේ වුවද උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ රජය අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් (ද. ජා. නි.) දැනට දරන 2.2% කොටසට දෙමව්පියන් සහ පෞද්ගලික අංශය අධ්‍යාපන සඳහා දරන වියදම ද එකතු කළ විට යුනෙස්‌කෝව මගින් නිර්දේශිත අගයට ශ්‍රී ලංකාව ඉතා ආසන්න වන බවයි. එනම් පෞද්ගලික පන්ති ගාස්‌තු, පාසල් ප්‍රවාහන ගාස්‌තු, වෘත්තීය පාඨමාලා ගාස්‌තු, පාසල් සංවර්ධන අරමුදල, පාසල් පහසුකම් ගාස්‌තු සහ පොත්පත් සඳහා වන වියදම් ආදී බොහෝ දේ සඳහා දෙමව්පියන් විසින් දැනටමත් දරනු ලබන පිරිවැය එකතු කළ විට යුනෙස්‌කෝ කඩයිමට අප රට ආසන්න වී ඇති බවයි. නිදහස්‌ අධ්‍යාපනය සඳහා අයවැයෙන් වෙන් කරන ප්‍රතිපාදන ප්‍රතිශතාත්මකව වැඩි කිරීමට රජය සූදානම් නැති නම් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා බලාපොරොත්තු වන්නේ දෙමව්පියන් විසින් දැනටමත් දරන වියදම් තව තවත් වැඩි කිරීමට සලස්‌වා යුනෙස්‌කෝ නිර්දේශය සපුරා ගැනීමට ද? නොඑසේ නම් ඔවුන්ගේ දූ දරුවන් ජාත්‍යන්තර පාසල් වෙත සහ පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත යොමු කිරීමට සලස්‌වා එම අරමුණ සපුරා ගැනීමටද?

දළ දේශීය නිෂ්පාදිතයෙන් (ද. දේ. නි.) අඩුම තරමින් 6% ක්‌ අධ්‍යාපනය සඳහා වෙන් කිරීම සඳහා වූ යුනෙස්‌කෝ සම්මුතිය තුළ අවධාරණය කරනු ලැබ ඇත්තේ එම අරමුණ ඉටු කර ගැනීම සඳහා මූලිකව රජයේ ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධවයි. මේ සඳහා පහත උදාහරණ කිහිපය සාක්‌ෂි දරයි.

"අධ්‍යාපනය සඳහා ද. ජා. නි. යෙන් 4-6% මට්‌ටමකට ළඟාවීමේ අපේක්‍ෂාවෙන් සංවර්ධනය වන රටවල ආණ්‌ඩු සිය ජාතික අය-වැය මගින් අධ්‍යාපනය උදෙසා වෙන් කරන ප්‍රතිශතය අඛණ්‌ඩව වැඩි කරන බව අධ්‍යාපන ඇමැතිවරු සඳහන් කර සිටියහ.

"සැමට අධ්‍යාපනය (Edමජ්එසදබ දෙර Aකක - EFA) මැයෙන් යුනෙස්‌කෝව සංවිධානය කරන ලද ඉහළ මට්‌ටමේ කණ්‌ඩායමේ 6 වැනි සමුළුව, නොවැ. 2006 කයිරෝ)

"මධ්‍යම සහ පළාත් ආණ්‌ඩු මූලික අධ්‍යාපනය ප්‍රමුඛ කර ගනිමින් (ද. ජා. නි. යෙන් 3% වැඩි/රජයේ අයවැයෙන් 10%) සමස්‌ත අධ්‍යාපනය සඳහා සම්පත් බෙදා හැරිය යුතු බවට (ද. ජා. නි. යෙන් 6%/ රජයේ අයවැයෙන් 15-20%) අධ්‍යාපන ඇමැතිවරු නිර්දේශ කළහ."

සැමට අධ්‍යාපනය (Education for All - EFA) මැයෙන් යුනෙස්‌කෝව සංවිධානය කරන ලද ඉහළ මට්‌ටමේ කණ්‌ඩායමේ 7 වැනි සමුළුව, දෙසැ. 2007, ඩකා)

අධ්‍යාපන ඇමැතිවරු ජාතික රජයන්ගෙන් අප්‍රමාදව ඉල්ලා සිටින්නේ අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් දේශීය සම්පත් (ද. ජා. නි. යෙන් 4-6%/ රජයේ අයවැයෙන් 15-20%) බෙදාහැරීමකට කටයුතු කරන ලෙසය.

සැමට අධ්‍යාපනය (Education for All - EFA) මැයෙන් යුනෙස්‌කෝව සංවිධානය කරන ලද ඉහළ මට්‌ටමේ කණ්‌ඩායමේ 8 වැනි සමුළුව දෙසැ. 2008 ඔස්‌ලෝ)

අධ්‍යාපන ඇමැතිවරු ජාතික රජයන්ගෙන් ඉල්ලා සිටියේ අඩුම තරමින් ද. ජා. නි. යෙන් 6% ක්‌ හෝ රාජ්‍ය වියදමින් 20% ක්‌ දක්‌වා දේශීය සම්පත් යෙදවීම වැඩි කිරීමට ඔවුන්ගේ ඇති කැපවීම ශක්‌තිමත් කරන ලෙසයි."

සැමට අධ්‍යාපනය (Education for All - EFA) මැයෙන් යුනෙස්‌කෝව සංවිධානය කරන ලද ඉහළ මට්‌ටමේ කණ්‌ඩායමේ 9 වැනි සමුළුව. පෙබ. 2010 අඩිස්‌ අබාබා)

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ යුනෙස්‌කෝ සංවිධානයේ මෙම සැමට අධ්‍යාපනය (Education for All - EFA) ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම ඒකකයක්‌ ද පිහිටුවා ඇත. අධ්‍යාපන ඇමැතිවරයා හෝ එම අමාත්‍යාංශයේ වග කිවයුතු නිලධාරියකු ඉහත සමුළු සඳහා සහභාගි වූයේද? සහභාගි වූවා නම් අධ්‍යාපනය සඳහා වඩ වඩාත් සම්පත් බෙදාහැරීමේ රජයේ කාර්යභාරය පිළිබඳ ඔවුන් දැනුවත්ව සිටිය යුතුය. එසේ නම් ඉහත යුනෙස්‌කෝ එකඟතා ක්‍රියාත්මක කිරීම සඳහා රජයට පළමුව බලපෑම් කළ යුත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නොව අධ්‍යාපන සහ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරුන්ය.

මෙම තත්ත්වය තුළ අප යුනෙස්‌කෝ සම්මුතියෙන් කොපමණ දුරස්‌ ද සහ මෙම සම්මුතිය ක්‍රියාත්මක කළ යුත්තේ ඇයි ද යන ගැටලු දෙකට පිළිතුරු සැපයීම මෙම ලිපියේ මූලික අරමුණ වේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය (උසස්‌ අධ්‍යාපනය ද ඇතුළුව) සම්බන්ධව රජය වර්තමානයේ දරන ආස්‌ථානය වෙනස්‌ කිරීම සඳහා එයට දැඩි ස්‌වයං විවේචනයක්‌ අත්‍යවශ්‍ය වේ. අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ එය ක්‍රියාත්මක කිරීම අතර විශාල පරස්‌පරතාවක්‌ පවතී. මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රජයේ සංවර්ධන උපාය මාර්ග අතර ඉතා ඉහළ ප්‍රමුඛතාවක්‌ වශයෙන් ශ්‍රී ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් කිරීමට සැලසුම් කර තිබීම නිදසුනක්‌ ලෙස දැක්‌විය හැකි ය. මෙය රජය විසින් ගනු ලැබූ ඉතා පැසසිය යුතු ප්‍රතිපත්තිමය තේරීමක්‌ බව නිසැකවම ප්‍රකාශ කළ යුතුය. කෙසේ වුව ද මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව රජය අනවබෝධයකින් කටයුතු කරන බව පෙනේ. රටේ මානව ප්‍රාග්ධන සංවර්ධනය කිරීමට හැකි ආකාරයට අධ්‍යාපන අංශය ශක්‌තිමත් කිරීම උදෙසා රාජ්‍ය ප්‍රතිපාදන වැඩි කළ යුතු යෑයි විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව නගන හඬට රජය වගකීම් විරහිත ලෙස ප්‍රතිචාර දැක්‌වීම මගින් ඉහත අනවබෝධය මනාව ප්‍රත්‍යක්‌ෂ වේ. මෙයින් පෙන්නුම් කරනු ලබන්නේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අසීමිත වටිනාකමක්‌ ඇති එම දැක්‌ම මුදුන් පමුණුවා ගැනීම සඳහා රජයට ක්‍රියාත්මක වැඩසටහනක්‌ (A workable plan) නොමැති බවයි. මෙයින් ගම්‍ය වන තවත් කරුණක්‌ වනුයේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ පාසල් මුහුණ පා ඇති බරපතළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවයි. අනාගතයේ අප ජාතිය හමුවේ ඇති සංවර්ධන අභියෝග ජය ගැනීමට රජයට සැබෑ උවමනාවක්‌ පවතී නම් රජය කළ යුත්තේ අධ්‍යාපන අංශය සඳහා වඩ වඩාත් සම්පත් වෙන් කිරීම සහ එම අංශයේ (විශ්වවිද්‍යාල සහ පාසල් අධ්‍යාපනය තුළ) ඇති බරපතළ ගැටලු සඳහා පිළියම් සෙවීමට කටයුතු කිරීමය.

බොහෝ ගැටලුවලට මූලික හේතුව වී ඇත්තේ රජයේ අයවැයෙන් නිදහස්‌ අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලබන ප්‍රතිශතයේ නිරන්තර පහළ යැමයි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස දළ දේශීය නිෂ්පාදිතයේ (ද. දේ. නි.) එසේත් නැතිනම් රටේ ආදායමේ ප්‍රතිශතයක්‌ වශයෙන් නිදහස්‌ අධ්‍යාපන වියදම ගණන් බැලූ විට එහි දිගින් දිගටම පහළ යැමේ උපනතියක්‌ නිරීක්‍ෂණය කළ හැකිය (වගුව 1). එය රටේ අනාගත සංවර්ධනයට ඉතා අහිතකර බලපෑම් ඇති කළ හැකි ප්‍රවණතාවකි. නිදහස්‌ අධ්‍යාපන වියදම ද. දේ. නි. යේ ප්‍රතිශතයක්‌ වශයෙන් දැක්‌වීම මගින් යම් රටක්‌ එහි සමස්‌ත සම්පත් බෙදාහැරීමේ ක්‍රියාවලිය තුළ අධ්‍යාපනයට ලබාදෙන ප්‍රමුඛතාව පිළිබඳ මිනුමක්‌ ලබාදෙයි. මෙයින් තවදුරටත් ගම්‍ය වනුයේ රටක්‌ සිය සංවර්ධන විභවතා අත්පත් කර ගැනීමේ දී අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳව දරන තක්‌සේරුවයි. මෙකී අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික යන අංශයන්හි රජය දරන වියදම හා සපයනු ලබන වෙනත් අධ්‍යාපන සේවාවන් සඳහා වන වියදම ද ඇතුළත් වේ.


ඉහත වගුවට අනුව ද. දේ. නි. යේ ප්‍රතිශතයක්‌ ලෙස නිදහස්‌ අධ්‍යාපන වියදම 2005 වර්ෂයේ දී 2.9% ක සිට 2011 වර්ෂය වන විට 1.86% දක්‌වා විශාල ලෙස අඩු වී ඇති බව දැක්‌වේ. යුද්ධයේ තීරණාත්මක කාල පරිච්ජේදය ලෙස සැලකෙන 2005 - 2009 කාලය තුළ ආරක්‍ෂක වියදම් ද. දේ. නි. ප්‍රතිශතයක්‌ ලෙස ඉහළ අගයක්‌ (3.7% ක සාමාන්‍යයක්‌) ගැනීම පිළිබඳව ජනතාව රජය සමග විරුද්ධ නොවූයේ එය එම යුගයේ ප්‍රමුඛතම අවශ්‍යතාව වූ හෙයිනි. ද. දේ. නි. යේ ප්‍රතිශතයක්‌ ලෙස නිදහස්‌ අධ්‍යාපනය සඳහා දරන ලද වියදම මෙම කාලය තුළ ශීඝ්‍ර ලෙස අඩු වුවද එය 2% ක මට්‌ටමට ඉහළින් තබා ගැනීමට හැකි වී ඇති බව පෙනෙයි. යුද්ධයේ උච්චතම අවස්‌ථාව වන විටත් ද. දේ. නි. යෙන් 2.5% ක සාමාන්‍ය අගයක්‌ අධ්‍යාපනය සඳහා වෙන්කළ රජය යුද්ධය අවසන් කිරීමෙන් පසුව ඒ සඳහා වෙන් කරනුයේ ද. දේ. නි. යෙන් 1.86% කි. මෙය රජය විසින් ගනු ලැබූ දුර්වල ප්‍රතිපත්තිමය තේරීමකි. මක්‌නිසාද යත් යුද්ධයෙන් පසුව ප්‍රමුඛතම තේරීම බවට පත්විය යුතුව ඇත්තේ අප රට සංවර්ධනය කිරීම වන හෙයිනි. මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා ජාතියේ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා අධ්‍යාපනය විෂයෙහි රාජ්‍ය ආයෝජන වැඩි කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක්‌ වෙයි. කෙසේ වුවද ඉහත වගුවේ දත්ත මගින් පෙන්වා දෙනුයේ රජය තවමත් ප්‍රමුඛතාව ලබා දෙනුයේ අධ්‍යාපනය විෂයෙහි සිදු කළ යුතු ආයෝජනවලට වඩා ආරක්‍ෂක වියදම්වලට බවයි. යුද්ධය අවසන් වූ පසුව ද අධ්‍යාපනය සඳහා දරන ලද වියදමට වඩා දෙගුණයකටත් ආසන්න වියදමක්‌ ආරක්‍ෂක අංශයට වෙන් කිරීම මගින් ඒ බව සනාථ වේ.

ඉහත වගුවේ දත්ත මගින් පැහැදිලිව පෙන්නුම් කරනු ලබන්නේ අධ්‍යාපනය සඳහා රජය ලබා දී ඇති ප්‍රමුඛතාව පහළ අගයක්‌ ගනු ලබන බව පමණක්‌ නොව එම ප්‍රතිපාදන ද 2005 වසරේ සිට දිගින් දිගටම පහළ දමා ඇති බවයි. රජයේ මෙම ඌන සැලකුම් ලැබූ අධ්‍යාපන ප්‍රතිපත්තිය දීර්ඝකාලීනව සමාජය මත විශාල ආර්ථික සහ සමාජ පිරිවැයක්‌ නිර්මාණය කරනු ඇත. මෙයින් තව දුරටත් ගම්‍ය වනුයේ මානව ප්‍රාග්ධනයේ ආර්ථික හා සමාජීය වැදගත්කම ඉතා ශීඝ්‍රයෙන් වැඩි වන යුගයක කුසලතා සංවර්ධනය කිරීම සඳහා වූ අධ්‍යාපනය විෂයෙහි රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් පරිදි යොමු වී නැති බවයි. එනම් මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම අනෙකුත් ප්‍රමුඛතා හමුවේ අහිමි කර ගෙන ඇති බවයි. අධ්‍යාපනය සඳහා කරනු ලබන මෙම ඌන සැලකීම පිළිබඳව සෑම පුරවැසියකු ම දැනුවත් විය යුතු අතර තවදුරටත් ප්‍රමාද නොවී නිවැරැදි ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලධාරීන්ට බලපෑම් කළ යුතුය.

2005 වසරේ සිට සෑම වසරකම අධ්‍යාපනය සඳහා වෙන් කරනු ලැබූ මුදල් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කර ඇති බව (දෙගුණයකින් පවා) දක්‌වමින් ඉහත ප්‍රතිපාදන වෙන් කිරීම රජය සාධාරණීයකරණය කරයි. පැහැදිලිවම දැක්‌විය යුතු කරුණක්‌ වන්නේ වසරින් වසර අධ්‍යාපනය සඳහා යොදන ප්‍රතිපාදන ඉහළ දැමූ පමණින් රජය ඒ සඳහා දෙනු ලබන ප්‍රමුඛතාව අවශ්‍යයෙන්ම වැඩි වූ බවක්‌ ඉන් ප්‍රකාශ නොවන බවයි. එසේ වන්නේ ඉහළ දැමූ ප්‍රතිපාදනයන්හි නාමික (නිරපේක්‍ෂ) වටිනාකම මිල ගණන් ඉහළ යැම නිසා හෝ යොදාගත් සම්පත් ඉහළ යැම නිසා හෝ මේ හේතු දෙකම නිසා කාලයත් සමඟ වැඩිවන නිසාය. අනෙක්‌ අතට සාමාන්‍ය දැනුම අනුව අප දන්නා කරුණක්‌ වන්නේ ගිය වසරේ සපයන ලද සේවාවක්‌ එම පිරිවැයට ම මෙම වසරේ ද සැපයිය නොහැකි බවයි. එයට හේතුව වනුයේ එකී සේවාව හා බැඳුණු යෙදවුම්හි මිල ගණන් ඉහළ යැමයි. මෙය ඕනෑම ආර්ථික භාණ්‌ඩයකට හෝ සේවාවකට අදාළ ව පවතින සත්‍යයකි. එබැවින් රජය අධ්‍යාපනයට දෙනු ලබන ප්‍රමුඛතාව පිළිබඳ අදහස්‌ ලබා ගැනීමට එම ප්‍රතිපාදන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සැසඳීම අත්‍යවශ්‍ය වේ. එසේ වන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ අඩංගු සියලුම අයිතමයන්හි නාමික වටිනාකමද කාලයත් සමඟ ඉහළ යන බැවිනි. ඒ ඒ වර්ෂවල නිදහස්‌ අධ්‍යාපන වියදම (නාමික) එම වර්ෂයන් හි ද. දේ. නි. (නාමික) යෙන් බෙදූ විට එම ප්‍රතිපාදනයන්හි සැබෑ (මූර්ත) ලෙස ඇති වූ වර්ධනය පිළිබඳව ද අදහසක්‌ ලබා ගත හැකිය. එසේ වන්නේ එම බෙදීමේදී මිල බලපෑම් ඉවත්වන බැවිනි. ඉහත වගුවට අනුව එසේ සැසඳීමේ දී නිදහස්‌ අධ්‍යාපනය සඳහා ද. දේ. නි. යේ ප්‍රතිශතයක්‌ ලෙස දරන ලද වියදම් හි ශීඝ්‍ර අඩුවීමක්‌ දැකිය හැකිය. එනම් නිදහස්‌ අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදනයන්හි "සැබෑ වටිනාකම" අඛණ්‌ඩව පහළ ගොස්‌ ඇති බවයි. එම නිසා රජය අධ්‍යාපනය සඳහා දෙනු ලබන ප්‍රමුඛතාවෙහි ශීඝ්‍ර කඩා වැටීම කුමන පිරිවැය යටතේ වුවද ආපසු හැරවිය යුතුය.


ද. දේ. නි. යේ ප්‍රතිශතයක්‌ ලෙස නිදහස්‌ අධ්‍යාපන වියදම 2006 - 2010 කාලය තුළ විශාල ලෙස අඩු වීමට හේතුව කුමක්‌ ද යන්න වගුව 2 හි දත්ත පදනම් කරගෙන විග්‍රහ කළ හැකිය. වගුව 2 ට අනුව මුළු රාජ්‍ය වියදමේ ප්‍රතිශතයක්‌ ලෙස නිදහස්‌ අධ්‍යාපනය සඳහා සිදුකළ වියදම 2006 වසරේ 10.81% සිට 2010 වසර වන විට 8.06% දක්‌වා බරපතළ ලෙස කපා හැර ඇති බව පෙනෙයි. ඊට සමානව විශ්වවිද්‍යාල සඳහා වෙන් කරනු ලැබූ ප්‍රතිපාදන ද 2006 වසරේ දී 1.78% සිට 2010 වසර වන විට 1.21% දක්‌වා දැඩි ලෙස කපා හැර ඇත. ද. දේ. නි. (නාමික) වර්ධනය වෙද්දී මුළුÊරාජ්‍ය වියදමේ ප්‍රතිශතයක්‌ ලෙස නිදහස්‌ අධ්‍යාපනය සඳහා සිදුකළ වියදම් කපා හැරීමේ ප්‍රතිඵලය වූයේද, දේ. නි. යේ ප්‍රතිශතයක්‌ ලෙස නිදහස්‌ අධ්‍යාපන වියදම විශාල ලෙස අඩු වීමය. නිදහස්‌ අධ්‍යාපනය සඳහා වෙන් කරන ප්‍රතිපාදන ඉහළ දැමුව ද. දේ. නි. ය වැඩිවීමත් සමග එහි ප්‍රතිශතාත්මක අගය අඩු වීම ස්‌වාභාවික යෑයි උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා තර්ක කරයි. එය ගණිතමය වශයෙන් තර්කානුකූල වුවද එහි යථාර්ථය ඊට වෙනස්‌ය. එනම් මුළු රාජ්‍ය වියදමින් වාර්ෂිකව අධ්‍යාපනය සඳහා වෙන් කළ ප්‍රතිශතය බරපතළ ලෙස කපා හැරීම ඊට හේතුවයි. මෙම තත්ත්වය උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා විසින් කෙසේ සාධාරණීයකරණය කරන්නේද?

වඩාත් විස්‌මිත කරුණ වන්නේ අධ්‍යාපන පද්ධතිය බරපතළ ප්‍රශ්න රාශියකට මුහුණ පා ඇති අවස්‌ථාවක රජය විසින් මෙම ප්‍රතිපාදන කපාහැරීමය. උසස්‌ අධ්‍යාපන පද්ධතිය තුළ පමණක්‌ ඇති ගැටලු අතර ආධුනික ආචාර්යවරුන් බඳවා ගැනීම සහ රඳවා ගැනීමේ ගැටලු, ඉහළ මට්‌ටමක ඇති බුද්ධි ගලනය (උගතුන් සහ බුද්ධිමතුන් රට හැර යැම) පර්යේෂණ සහ සංවර්ධනය සඳහා වෙන්කරන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම සහ ආචාර්යවරුන්ගේ වෘත්තීය සංවර්ධන ප්‍රශ්න ප්‍රධාන වේ. අධ්‍යාපනය උදෙසා කරන ප්‍රතිපාදන අඩුකරනවා වෙනුවට රජය කළ යුතුව තිබුණේ නූතන දැනුම් ආර්ථිකයට සහ තාක්‍ෂණය පදනම් කරගත් ආර්ථික ක්‍රියාවලියට අවශ්‍ය කරන දක්‍ෂතා සහ නිපුණතා ජාතියට අත්පත්කර ගැනීම සඳහා වාර්ෂිකව අධ්‍යාපනය විෂයෙහි කරන ආයෝජන ඉහළ දැමීමයි. අධ්‍යාපනය විෂයෙහි සිදු කරන අඩු ආයෝජන නූතන අධ්‍යාපන අවකාශ සීමා කරන අතරම නවීන දැනුම සැපයීමට අවශ්‍ය භෞතික ප්‍රාග්ධන වත්කම් තොගය සංවර්ධනය කිරීමට ජාතියකට ඇති හැකියාව කෙරෙහි අහිතකර ලෙස බලපායි. එසේ ම එවැනි ඌන ආයෝජන ගුණාත්මක අධ්‍යාපන ක්‍රියාවලියක්‌ පවත්වාගෙන යැමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය සඳහා ජාතියකට ඇති හැකියාව අවම කරයි. ඉහත කරුණු දෙක රටක මානව ප්‍රාග්ධනයේ සංවර්ධනය පසුබෑමකට ලක්‌කිරීමට දැඩි ලෙස හේතු වේ.

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ප්‍රබල පරිවර්තනයක අවශ්‍යතාව අවධාරණය කරමින් 2011 වර්ෂයේ දී ලෝක බැංකුව විසින් පළ කරන ලද Transforming School Education in Sri Lanka from Cut Stones to Polished Jewels වාර්තාවේ ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා කරන රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන බව දැඩි ලෙස අවධාරණය කොට තිබේ. එම වාර්තාවේ මෙසේ දැක්‌වේ.

අධ්‍යාපන වැය ශීර්ෂයේ ඌන ප්‍රාග්ධන ආයෝජනය මගින් කියෑවෙන්නේ තාක්‌ෂණය භාවිතයට ගැනීමට හැකි පරිදි පන්ති කාමර සැකසීම, තොරතුරු තාක්‍ෂණාගාර, විද්‍යාගාර, පුස්‌තකාල, භාෂාගාර, තොරතුරු තාක්‍ෂණ උපකරණ, විද්‍යා උපකරණ, ඉගෙනුම්, ඉගැන්වීම් මෙවලම් වැනි නූතන අධ්‍යාපන වත්කම් සහ අවකාශ සංවර්ධනය කිරීමට රටට ඇති හැකියාව දැඩි සංශෝධනයට ලක්‌ව ඇති බවයි. මීට අමතරව පාසල් 1,700 කට (මුළු පාසල් සංඛ්‍යාවෙන් 18% කට) පානීය ජල පහසුකම් නොමැති අතර දළ වශයෙන් පාසල් 1,200 කට (මුළු පාසල් සංඛ්‍යාවෙන් 12% කට) සනීපාරක්‍ෂක පහසුකම් නැත. මෙයින් අදහස්‌ වන්නේ මූලික පහසුකම් සැපයීමට රටකට ඇති හැකියාව ද මේ මගින් සංශෝධනයට ලක්‌ වන බවයි. සමස්‌තයක්‌ වශයෙන් අධ්‍යාපනය විෂයෙහි රජයෙහි රාජ්‍ය ආයෝජන සාපේක්‌ෂව පහළ මට්‌ටමක පැවැතීම මගින් පාසල් දරුවනට ඉහළ ගුණාත්මක අධ්‍යාපනයක්‌ ලබා දීමට පාසල් පද්ධතියට ඇති හැකියාව සීමා වී තිබේ.

(ලෝක බැංකු වාර්තාව, පිටුව 32)

එසේ ම එම වාර්තාවේ තව දුරටත් මෙසේ දැක්‌වේ, "විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් (උසස්‌ පෙළ අධ්‍යාපනය ඇති) 2,640 ක්‌ අතුරින් ද්විභාෂා අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ පාසල් 800 ක (30%) පමණි. විද්‍යා විෂය ධාරාව යටතේ අ. පො. ස. (උ/පෙළ) අධ්‍යයන කටයුතු සිදු කරනුයේ පාසල් 690(29%) ක පමණි. මෙම පාසල් 690 අතුරින් පවා විශ්වවිද්‍යාල තුළ ඉංජිනේරු සහ වෛද්‍ය යන අංශවලට ශිෂ්‍යයන් බිහි කිරීමට හැකියාව ඇත්තේ පාසල් 200 කට පමණි. මෙම ගුණත්වයෙන් යුත් සියලු පාසල් පිහිටා ඇත්තේ ප්‍රධාන නගර තුළ හෝ ඊට ආසන්නවය.

(ලෝක බැංකු වාර්තාව, පිටුව 15)

මේ මගින් අවධාරණය කරනුයේ අධ්‍යාපනය සඳහා රජය කරනු ලබන ආයෝජන ඉහළ දැමීමකින් තොරව එම ක්‍ෂේත්‍රයේ පවතින සම්පත් හිඟකම සහ ඒවා බෙදාහැරීමේ පවතින දැඩි අසමානතා පිටු දැකිය නොහැකි බවයි. එවැනි ප්‍රබල මැදිහත් වීමකින් තොරව ඌන සැලකුම් ලබන ග්‍රාමීය පාසල් නඟා සිටුවිය නොහැකි වන අතරම නිදහස්‌ අධ්‍යාපනයේ සම අවස්‌ථා ලබා ගැනීමට එම දරුවනට ඇති අයිතිය ද අහිමි වේ. අධ්‍යාපනය විෂයෙහි රාජ්‍ය ආයෝජන පිළිබඳ තෝරාගත් දකුණු ආසියානු සහ ආසියානු කාර්මික රටවල් කිහිපයක අත්දැකීම් විමසා බලමු.

වගුව 3( තෝරාගත් ආසියානු රටවල් කිහිපයක අධ්‍යාපන වියදම, රජයේ ආර්ථික විශාලත්වය සහ වැඩිහිටි සාක්‍ෂරතාව



මූලාශ්‍ර ( ලෝක බැංකු සංඛ්‍යා දර්ශන - 2010 සහ ආර්ථික නිදහස්‌ දර්ශකය - 2011

ඉහත වගුව 3 ට අනුව පැහැදිලිව දැක ගත හැක්‌කේ තෝරාගත් ආසියානු රටවල් අතුරින් ද. දේ. නි. යේ ප්‍රතිශතයක්‌ ලෙස අධ්‍යාපනය විෂයෙහි අඩුම ආයෝජනයක්‌ කරනු ලබන රට ශ්‍රී ලංකාව බවයි. කෙසේ වුවද ඉහත වගුවට අනුව ශ්‍රී ලංකාවේ වැඩිහිටි සාක්‌ෂරතාව (අවුරුදු 15 සහ ඊට ඉහළ අයගේ) ඉතා ඉහළ අගයක්‌ ගන්නා බව පෙනෙයි. මෙහි ගෞරවය නිදහසින් පසු බලයට පැමිණි සෑම රජයකටම හිමි විය යුතුය. ඊට හේතුව එම සෑම රජයක්‌ම ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට අඩු වැඩි වශයෙන් හෝ දායක වූ හෙයිනි. ඉහළ සාක්‍ෂරතාව රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය වෙයි. කෙසේ වුවද ඉහළ සාක්‍ෂරතා අනුපාතයක්‌ තිබීම මගින් පමණක්‌ අප රටේ ශ්‍රම බළකාය නවීන ලෝකයට ගැළපෙන දක්‌ෂතා හා නිපුණතාවලින් පිරිපුන් අය බව කිසිසේත් නොකියෑ වේ. ඊට ප්‍රධාන හේතුව වැඩිහිටි සාක්‍ෂරතා අනුපාතය මගින් දැක්‌වෙන්නේ යම් දෙන ලද ප්‍රකාශයක්‌ නිවැරැදිව කියෑවීමට සහ ලිවීමට හැකි පුද්ගලයන් සංඛ්‍යාව මුළු ජන සංඛ්‍යාවෙන් කුමන ප්‍රතිශතයක්‌ ද යන්න වීමයි. එම නිසා වැඩිහිටි සාක්‍ෂරතාව ඉහළ ගිය පමණින් රටේ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම සඳහා අධ්‍යාපනය විෂයෙහි දැනට කරන රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් බවක්‌ කිසිසේත් අදහස්‌ නොවේ. කෙසේ නමුදු අවාසනාවට මෙන් අධ්‍යාපන බලධාරීන් සහ රජයේ උපදේශකයන් ජාතිය ඉදිරියේ ඇති අනාගත අභියෝග ජය ගැනීමට හැකි වන පරිදි, මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම ඉලක්‌ක කරගත් දූරදර්ශී අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ ක්‍රියාවට නැංවීමට අපොහොසත් වී තිබේ. ඒ වෙනුවට ඔවුන් කරනුයේ අධ්‍යාපනය විෂයෙහි රාජ්‍ය ආයෝජන කපා හැරීම සඳහා වැරදි උපදේශනයන් ලබා දීමයි. මානව ප්‍රාග්ධනයේ ආර්ථික සහ සමාජීය වැදගත්කම ඉතා ශීඝ්‍රයෙන් වැඩිවන කාලයක කුසලතා සංවර්ධනය සඳහා වූ රාජ්‍ය වියදම් අනෙකුත් ප්‍රමුඛතා හමුවේ කපාහැරීම කොතරම් බුද්ධිගෝචර ක්‍රියාවක්‌ ද? මෙම වැරැදි මගපෙන්වීම වැඩිහිටි සාක්‍ෂරතා අනුපාතයේ සරල අදහස තේරුම් ගැනීමට නොහැකිවීම නිසා හෝ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධව රජයේ වගකීම් විරහිතභාවය මත සිදු විය හැකිය. එනම් නිදසුනක්‌ ලෙස දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල සාක්‍ෂරතා අනුපාතය ශ්‍රී ලංකාවට සාපේක්‍ෂව පහළ අගයක්‌ ගන්නා හෙයින් එම රටවල් අධ්‍යාපනය සඳහා වැඩි වශයෙන් ආයෝජනය කළ යුතු වුවත් ශ්‍රී ලංකාවට එසේ අවශ්‍ය නොවන බවට බලධාරීන් සිතනවා විය හැකිය. මෙම තර්කයෙහි ඇති සාවද්‍ය බව ඉහත වගුවේ කාර්මික රටවලට අදාළ දත්ත නිරීක්‍ෂණය කිරීමෙන් පැහැදිලි වෙයි. එනම් එම රටවල සාක්‌ෂරතා අනුපාතය ශ්‍රී ලංකාවටත් වඩා වැඩි වන අතර අධ්‍යාපනය සඳහා කරන රාජ්‍ය ආයෝජන ද ද. දේ. නි. යේ ප්‍රතිශතයක්‌ ලෙස 4% ක වැනි ඉහළ මට්‌ටමක පැවැතීමෙන් ඒ බව තහවුරු වේ.

රජයේ බලධාරීන් නඟන තවත් තර්කයක්‌ වනුයේ ද. දේ. නි. යේ ප්‍රතිශතයක්‌ ලෙස රජයේ ආර්ථික විශාලත්වය කුඩා බැවින් අධ්‍යාපනය සඳහා දැනට වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණවත් බවයි. 1977 න් පසු බලයට පැමිණි රජයන් (මෙම රජය ද ඇතුළුව) විසින් ගනු ලැබූ දුර්වල සහ අදූරදර්ශී තීරණ නිසා ද. දේ. නි. යේ ප්‍රතිශතයක්‌ ලෙස වර්තමාන රාජ්‍ය ආදායම් 14% ක මට්‌ටමක පවතින අතර රාජ්‍ය වියදම 22% ක මට්‌ටමක පවතී. වර්තමාන රජයේ මූල්‍ය කළමනාකරණය ඉතාම දුර්වල ය. එයට රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ සැබෑ උවමනාවක්‌ නොමැති අතර රාජ්‍ය වියදම් ප්‍රශස්‌ත ලෙස කළමනාකරණය කිරීමේ හැකියාවක්‌ද නොපෙන්වයි. මේ සඳහා ඕනෑ තරම් උදාහරණ පෙන්වා දිය හැකිය. එහෙත් මෙම ලිපියේ අරමුණ එම කරුණු විභාග කිරීම නොවේ.

ලෝකයේ බොහෝ රටවල් (ශ්‍රී ලංකාව ඇතුළුව) විසින් ප්‍රධාන සාර්ව ආර්ථික මූලධර්මයක්‌ වශයෙන් හිඟ අය-වැය (රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වියදම විශාල) ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරනු ලබයි. එවැනි පසුබිමක දී දැරිය හැකි අය-වැය හිඟයක්‌ පවත්වා ගැනීම සඳහා රාජ්‍ය වියදම් උපරිම කාර්යක්‍ෂම හා ඵලදායි ආකාරයෙන් බෙදාහැරීම අත්‍යවශ්‍ය වේ. කනගාටුවට කරුණ නම් රජය මෙම ප්‍රතිපත්ති පිළිබඳ කිසිදු තැකීමක්‌ සිදු නොකිරීමයි. රටක රජයේ ආර්ථික විශාලත්වය මනිනු ලබන්නේ ද. දේ. නි. තුළ රජයේ මුළු වියදම අනුවය. හිඟ අය-වැය ප්‍රතිපත්තියක්‌ අනුගමනය ශ්‍රී ලංකාව සම්පත් ප්‍රමුඛතා අතර බෙදාහරිනුයේ රජයේ මුළු වියදම අනුව මිස මුළු ආදායම අනුව නොවේ. නමුත් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කරනුයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින පරිදි ද. දේ. නි. යෙන් 14% ක්‌ වන රජයේ මුළු ආදායමින් අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන වැඩි කළ නොහැකි බවයි. එය වැරදි අර්ථ දැක්‌වීමකි. මන්දයත් ආචාර්යවරුන් ඉල්ලා සිටිනුයේ ද. දේ. නි. යෙන් 22% ක්‌ වන රජයේ මුළු වියදමින් අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන වැඩි කරන ලෙසයි. මෙම ප්‍රතිශතයෙන් දැනට අධ්‍යාපනය සඳහා වෙන් කරන 1.86% උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා කුමන තත්ත්වයක්‌ යටතේ අනුමත කරන්නේද? එසේම ශ්‍රී ලංකාව සම්බන්ධව රජයේ ආර්ථික විශාලත්වය (22% මට්‌ටමේ) පහළ අගයක පැවැතියත් අපටත් වඩා රජයේ ආර්ථික විශාලත්වය කුඩා රටවල් වන බංග්ලාදේශය, නේපාලය, පාකිස්‌ථානය සහ තායිලන්තය වැනි රටවල් අධ්‍යාපනය විෂයෙහි ඉතා ඉහළ ආයෝජන සිදු කරනු පෙනේ. එබැවින් එම දෙවැනි තර්කයේ ද වලංගුතාවක්‌ නොමැත.

අවසාන වශයෙන් අප මුලින් සඳහන් කළ ලෝක බැංකු වාර්තාවේ 22 වැනි පිටුවට අවධානය යොමු කරමු. අධ්‍යාපන වියදම ද. දේ. නි. යේ ප්‍රතිශතයක්‌ ලෙස 1.9% ක්‌ වන අතර රජයේ අය වැයෙහි කොටසක්‌ ලෙස 7.3% කි. මෙය ශ්‍රී ලංකාවට සමාන පොදු ලක්‍ෂණවලින් හෙබි රටවල් සමූහයක්‌ අතුරින් අධ්‍යාපනය විෂයෙහි අඩුම රාජ්‍ය ආයෝජන ප්‍රමාණයයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා වන රාජ්‍ය ආයෝජනය දකුණු කොරියාව, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව වැනි නැගෙනහිර ආසියාතික රටවල මට්‌ටමද, ආර්ජන්ටිනා, බ්‍රසීලය, බොලිවියා, කොළොම්බියා, කොස්‌ටාරිකා වැනි ලතින් ඇමරිකානු රටවල මට්‌ටටම් ද, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්‌ථානය වැනි අනෙකුත් දකුණු ආසියානු රටවල මට්‌ටමට ද වඩා පහළින් පවතී. සමස්‌තයක්‌ ලෙස එය මැදි ආදායම් ලබන රටවල තත්ත්වයට වඩා බෙහෙවින් ම පහළය. සැබැවින්ම මැදි ආදායම් ලබන රටවල් සාමාන්‍යයක්‌ වශයෙන් ජාතික ආදායමෙන් 4.6% ක්‌ අධ්‍යාපනය සඳහා ආයෝජනය කරනු ලබන අතර එය ශ්‍රී ලංකාව යොදවන ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා වැඩිය. (ලෝක බැංකු වාර්තාව, 22 පිටුව)

මේ අනුව පෙනී යන පැහැදිලි කරුණක්‌ වනුයේ අනාගත ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගය වන මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම සඳහා වර්තමාන රජය අධ්‍යාපනය සම්බන්ධව දරන ආස්‌ථානය උපකාරී නොවන බවයි. මානව ප්‍රාග්ධනය සංවර්ධනයේ පදනම පාසල් අධ්‍යාපනයයි. උසස්‌ අධ්‍යාපනයට, වෘත්තීය අධ්‍යාපනයට සහ සෘජුව ම ශ්‍රම බළකායට ඇතුළත් වන සිසුන්ගේ හැකියාවන් මූලික ලෙසම ගුණාත්මක පාසල් අධ්‍යාපනයක්‌ පැවැතීම මගින් තීරණය වෙයි. එය රටක සංවර්ධනයට සෘජු බලපෑම් ඇති කරයි.

මෙම සන්දර්භය තුළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය වනාහි ශ්‍රී ලාංකික ජාතියට යහපත් අනාගතයක්‌ උදාකර දීම උදෙසා ඔවුන්ට පැවරී ඇති වගකීමක්‌ ඉටු කිරීමකි. එබැවින් එය යුක්‌තිසහගත අරගලයකි. එහෙත් රජය පවසනුයේ ආචාර්යවරුන් ඉල්ලා සිටින පරිදි ද. දේ. නි. යෙන් 6% දක්‌වා වැඩි කිරීමට නොහැකි බවයි. එසේ වුවද ආචාර්යවරුන් විසින් ඉතා නිවැරැදිව ඉල්ලා සිටිනු ලබන්නේ 2005 වසරේදී රජයේ මුළු පිරිවැයේ ප්‍රතිශතයක්‌ ලෙස අධ්‍යාපනය සඳහා වෙන් කළ 10.74% (ද. දේ. නි. යෙන් 2.9%) නැවත 2013 වසර සඳහා වෙන් කර ඉන් ඉදිරියට සෑම වසරකම යම් ප්‍රතිශතයකින් එම ප්‍රතිපාදන ඉහළ දමමින් ඉහත ඉලක්‌කය කරා ළඟාවන ලෙසයි. ද. දේ. නි. යෙන් අධ්‍යාපනය සඳහා 6% ක්‌ වෙන් කරන ලෙස ඉන්දියාවේ බුද්ධිමතුන් එරට රජයෙන් ඉල්ලා සිටි විට රජය එයට මැදිහත් වූයේ එය අත්‍යවශ්‍යයෙන් ම විසඳිය යුතු බරපතල ජාතික ප්‍රශ්නයක්‌ ලෙස සලකාය. අධ්‍යාපනය සඳහා දෙනු ලබන ප්‍රමුඛතාව පහළ මට්‌ටමක පවතින තාක්‌ අනාගතයේ දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක්‌ බවට පත් කිරීමේ වෑයමට එය ප්‍රබල බාධාවක්‌ වනු නියත ය. ඒ මන්දයත්, මානව ප්‍රාග්ධනය රටක සංවර්ධනයේ පදනම වන හෙයිනි. අනෙක්‌ අතට රජය එසේ අධ්‍යාපනයට ලබා දෙන ප්‍රමුඛතාව අඩු කරන විට සමාජ ව්‍යqහය විනාශ වීමට මග පාදන බොහෝ ගැටලු ද නිර්මාණය වනු ඇත. මෙසේ අධ්‍යාපනය නොසලකා හැරීම ඉහළ යන අපරාධ සඳහා සෘජුව හෝ වක්‍රව බලනොපාන්නේ යෑයි කාට නම් කිව හැකිද?

කථිකාචාර්ය චන්දික ගුණසිංහ
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය
රුහුණ විශ්වවිද්‍යාලය

No comments: