Wednesday, August 1, 2012

කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්ට මහාචාර්ය නලින් ද සිල්වා අභිමුඛ වීම


Ramachandrage adaviya, 27/07/2012


විශ්ව විද්‍යාලයිය ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට දිවයිනේ අති බහුතරයක් විශ්ව විද්‍යාල වල කටයුතු නතර වී තිබේ.මෙය මෙරට විශ්ව විද්‍යාල  "මුදා නොගත් කලාප" බවට පත්ව ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා නිතර පුනරුච්චාරනය කරන ප්‍රකාශය සනාථ කරන නිදර්ශනයක් ලෙස දැක්විය හැක.මෙරට විශ්ව විද්‍යාල එක්තරා ආකාරයකින් ආන්ඩුවේ අන්තනෝමතිකභාවයට එරෙහි විරෝධය පෑමේ කලාපයක් ( zone of resistance) බවට මේ වනවිට පත්ව තිබේ.මිලිටරි පන්න‍යේ නායකත්ව පුහුනු,බිය වැද්දීම්,සිසුන් අත්අඩංගුට ගැනීම් යනාදී ක්‍රමෝපායන් සියල්ල අවසානයේත් ආන්ඩුවට මෙරට  සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය හීලෑ කරගත‍ නොහැකි වී තිබේ.
එබදුම තවත් කුලකයක් ලෙස සරසවි ආචාර්යවරුන්ගේ ක්‍රියාකාරීත්වය මේ වනවිට වර්ධනය වෙමින් තිබේ යැයි යෝජනා කල හැක.

ආචාර්යවරුන්ගේ වැඩවර්ජනයේදී මතු කෙරී තිබෙන ඉල්ලීම් වල ස්වභාවය විසින් එය  සාමාන්‍ය වෘත්තිය සමිති සටනකට එහා ගිය වඩා බැරෑරුම් සටනක් බවට පත් කෙරී තිබේ.පොදු අධ්‍යාපනය සදහා කෙරෙන රාජ්‍ය ආයෝජනය ඉදිරි වසර කිහිපය තුල නැංවිය යුතුය යන්න ඔවුන්ගේ මූලික සටන්පාඨයකි.

පොදු අධ්‍යාපනය පිලිබද සටන්පාඨය පවතින අධිපති නව ලිබරල් ආර්ථික සැකැස්මේ සුජාතභාවය ප්‍රශ්න කිරීමේ විභවය සහිත ඉල්ලිමකි.මෙවැනි ඉල්ලීමක් අනුව කටයුතු කිරීමට නම් රජයට සිය ආර්ථික උපාය මාර්ගය සම්පූර්නයෙන්ම කන පිට හැරවීමට සිදුවනු ඇත. පසුගිය දිනෙක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් තවත් නය වාරිකයක් අනුමත කල අතර රජයේ ආර්ථික වැඩපිලිවෙල ගෝලීය ධනවාදය සමග පවත්වා ගන්නා මෙම සන්ධානය මත රැදී පවතී.අධ්‍යාපනය සදහා කරන වැය ඇතුලු රාජ්‍ය සුබසාධන වියදම් අනවශ්‍ය බරක් ලෙස දකින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බදු ආයතන ඒවා කප්පාදු කිරීමේ අවශ්‍යතාවය දැඩිව අවධාරනය කරයි.ඔවුන් නය අනුමත කරන්නේ එම නිර්දේශ බලාත්මක කරන රාජ්‍යයන්ටය.රජය අනුගමනය කරන ආර්ථික චින්තනයේ තාර්කික ආනුශංගයන් වනුයේ පොදු අධ්‍යාපනයට කෙරෙන වැය කපා දමමින් අධ්‍යාපන පෞද්ගලිකකරනය සදහා වැඩි බරක් තැබීමයි.

අධ්‍යාපන පුද්ගලිකකරනය පිලිබද විවාදයේ දී පුද්ගලිකකරනයට එරෙහි පාර්ශවය නියෝජනය කිරීමට වසර කිහිපයකට පෙර සිටියේ ස්වල්ප බලවේග ප්‍රමානයකි.උදාහරනයක් ලෙස මේ දිනවල නිතර උපුටා දැක්වෙන අධ්‍යාපනය සදහා දල දේශීය නිෂ්පාදිතයෙන් 6% වෙන් කල යුතු බවට වූ සටන්පාඨය වසර කිහිපයකට පෙර දක්නට ලැබුනේ ශිෂ්‍ය සංවිධාන විසින් කෙරෙන ප්‍රකාශනයන් තුල පමනි.එහෙත් දැන් ක්‍රමයෙන් එම සටන්පාඨය සදහා වන පිලිගැනීම වර්ධනය වෙමින් තිබේ.මෙය ඉදිරියටත් වර්ධනය වුවහොත් එබදු සටන්පාඨයක් හුදෙක් කැම්පස් කොල්ලන්ගේ සිතලුවක් ලෙස සමාජය ඉදිරියේ අර්ථනිරූපනය කොට ලිස්සා යාමට රජයට තිබෙන හැකියාව බරපතල ලෙස සීමා වනු ඇත.

පොදු අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන ඕනෑම උද්‍ඝෝෂනයක්,අරගලයක් සමාජ ආර්ථික පදනමක් මත සිදුකෙරෙන අරගලයකි.යුද්ධය පැවති යුගයේ දීත් පසුගිය දිනෙක දඹුල්ලේදීත් අප දුටු ලෙස මහජන පරිකල්පනයන් සහ පෙලගැසීම් මූලික වශයෙන් භ්‍රමනය වනු දක්නට ලැබුනේ වාර්ගික අක්ෂයක් වටාය.සමාජ ආර්ථික පසමිතුරුතා වෙනුවට වාර්ගික පසමිතුරුතා අධිනිශ්චය වීම පාලක ප්‍රභූවේ පැත්තෙන් ගත් කල වාසිදායක තත්වයකි.වාර්ගික අක්ෂය වෙනුවට දේශපාලන කතිකාවත සමාජ ආර්ථික අක්ෂයක් මත වූ බෙදීමකට ලක්කිරීමේ හැකියාව ආචාර්යවරුන්ගේ අරගලය විසින් පෙන්නුම් කරයි.

මේ සම්බන්ධ සිත්ගන්නා සුලු නිදසුනක් පසුගිය දිනෙක රූපවාහිනි විවාදයක දී දැකගන්නට ලැබුනි.එම විවාදයට සහභාගී වූ මහාචාර්ය නලින් ද සිල්වා සෘජුව ප්‍රකාශ කරනු ලැබූයේ මෙවැනි වැඩවර්ජන මගින් පවතින ආන්ඩුව අපහසුතාවයට පත්වන බවත් මේ මොහොතේ ජාතියේ ප්‍රමුඛතාවය ලැබිය යුත්තා රනවිරුවා මිස ‍අධ්‍යාපනය නොවන බවත්ය.නලින් ද සිල්වාට විපක්ෂව එදින හෙල උරුමයේ සාමාජිකයෙක් වන අනුරුද්ධ ප්‍රදීප් වාඩි වී සිටි අතර එහිදී ජාතිකවාදී ප්‍රදීප් ජාතිකවාදී සිල්වාගේ කටුක වාග් ප්‍රහාරයකට ගොදුරු වූයේය.

ඇත්තෙන්ම නලින් ද සිල්වා එහිදී නිවැරදිය.මෙබදු සමාජ ආර්ථික සටනක් පාලක ප්‍රභූවේ පැවැත්ම ආරක්ෂා කර දෙන රනවිරු දෘෂ්ටිවාදය සමග පැහැදිලිවම විසංවාදී වේ.වාර්ගික ජාතිකවාදය නඩත්තු කිරීම සදහා මිලියන ගනනින් යුද වියදම් සම්මත කිරීමට සිදුව තිබෙන සන්දර්භයක් තුල අධ්‍යාපනය සදහා වියදම් වැඩි කරන්නේ කෙසේද?මෙහිදී අනුරුද්ධ ප්‍රදීප්ලාට එක්කෝ රනවිරුවා ( අධිපති සිංහල ජාතිකවාදය)  නැතිනම් අධ්‍යාපනය යන දෙකෙන් එකක් තෝරාගැනීමට සිදුවනු ඇත.මලී ටෙලිනාට්‍යයේ නිර්මාල් මහතාට මෙන් ගැමි මලීටත් නාගරික මධුරංගීටත් දෙදෙනාටම පෙම් කිරීම ප්‍රදීප්ලාට දිගටම සිදුකල නොහැක.

දැන් අවශ්‍යව තිබෙනුයේ අධ්‍යාපන අයිතිය පිලිබද අරගලය ආචාර්යවරුන්ගේ සටන නැමැති සීමාවෙන් ඔබ්බට ගිය සමාජ සටනක් බවට පරිවර්තනය කර ගැනීමය.මෙබදු අරගල වටා මහජන පරිකල්පනය පෙලගැසෙන තරමට අවුල් වන්නේ ආන්ඩුව අනුදත් නව ලිබරල් ආර්ථික උපාය මාර්ගයයි.එහිදී ආන්ඩුව අර්බුදයට යන්නේ මෙය කිසිවෙකුගේ දුෂ්ට කුමන්ත්‍රනයක් නිසා නොව ආන්ඩුව යනු එම නව ලිබරල් ආර්ථික උපාය මාර්ගයේ පරම ආරක්ෂකයා වන නිසාය.

No comments: