Saturday, August 25, 2012

අර්බුදය නිම වුණත් පඹගාල ලිහේවිද?




අන් කෙදිනක හෝ නොවූ විරූ ලෙස ජාතික කතිකාවතක්‌ ඉස්‌මතු වී තිබේ. ඒ.... රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අදාළවය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් නිර්මාණය කරනු ලැබ ඇති සටන් බිමට දිනෙන් දින එකතු වන පිරිස විශාලය. ඊට කදිම නිදසුන "රාජ්‍ය අධ්‍යාපනය රැක ගනිමු" යන තේමාව යටතේ ආචාර්යවරු කොළඹදී පැවැත්වූ විරෝධතා පා ගමනය.

විශ්වවිද්‍යාල ආචාර්යවරු පසුගිය වසරේද අරගලයක නිරත වූහ. එම වසරේ මාර්තු මස 15 වැනිදා සංකේත වැඩවර්ජනයක්‌ පවත්වා මැයි මස 9 වැනිදා තමන් දරන ස්‌වේච්ඡා තනතුරු වලින් ද ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිසියේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සුරක්‍ෂා කර ගැනීමේ පරම අභිලාෂයෙනි. දිගින් දිගටම ක්‍රියාවට නැගුණු වෘත්තීය ක්‍රියාමාර්ග ජුලි මස 21 වැනිදා සිට අත්හිටුවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒවාට විසඳුම් ලබා දීමට බලධාරීන් ගත් අවංක උත්සාහය නිසා නොව සිසුසිසුවියන්ට සිදුවන අපහසුතාව සලකා බලාය යන්න පැහැදිලි විය. ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට ඉක්‌මනින් විසඳුම් ද ජාතික කාර්යභාරයක්‌ ඉටු කිරීමේ වගකීම වෙනුවට ඉන් මිදුනු නිද්‍රාශීලී ප්‍රතිපත්තියක සිටි බලධාරීන්ගේ ඇල්මැරුණු ප්‍රතිචාරය හමුවේ සිය ක්‍රියාමාර්ග තාවකාලිකව හෝ හකුළා ගැනීමේ වුවමනාව ආචාර්යවරුන්ගෙන් එදා මතු නොවූයේ නම් සිසුන්ට සිදුවීමට පාඩුව මකාලනු නොහැකි වන්නට ඉඩ තිබිණි. පසුගිය වසරේ ජුලි මස 11 වැනිදා සිය වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවමින් සම්මේලනය අනතුරු අඟවා සිටියේ ඉදිරි කාලයේදී ඉල්ලීම් සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක්‌ නොලැබෙන්නේ නම් යළි අරගල කිරීමට පසුබට නොවන බවය. වෘත්තීය ක්‍රියා මාර්ග අත්හිටුවීමේදී උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය භාරදුන් අන්තර්කාලීන යෝජනාවලියේ දී පැහැදිලි කරන ලද ඉල්ලීම් සපුරාලීම සම්බන්ධයෙන් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව මෙන්ම මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා වට ගණනාවක්‌ පැවැති නමුත් නිශ්චිත පිළිගත හැකි විසඳුම් දිනා ගැනීමට ආචාර්යවරුන්ට අවකාශය නොලැබිණි.

ආචාර්යවරු යළි සටන් මගට තල්ලු කිරීමට පැහැදිලි අඩිතාලම දමන්නේ ගැටලු විසඳීම පසෙකලා ඉන් ලෙස්‌සා යැමට බලධාරින් ගත් ඇල්මැරුණු ක්‍රියාමාර්ගයන් බව කිව යුතුය.

ආචාර්යවරුන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ ඉදිරි වසර දෙකේදී දළ ජාතික නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කරන වියදම සියයට 6 දක්‌වා වැඩි කිරීමය. අධ්‍යාපනයට සම්බන්ධ සියලු කොටස්‌කරුවන් සහ මහජනයා සමග සාකච්ඡා කර අදහස්‌ හුවමාරු කර ගැනීමේ ක්‍රියාදාමයක්‌ ඇතිවන තෙක්‌ සියලු උසස්‌ අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ නතර කිරීම දෙවැන්නය. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්‍ෂා කිරීම සඳහා මානව හා භෞතික සම්පත් දියුණු කිරීමට පියවර ගැනීම තෙවැනි ඉල්ලීම වන්නේය.

එමෙන්ම ආචාර්ය සම්මේලනය සිය වැටුප් සම්බන්ධයෙන් ඉල්ලීමක්‌ ඉදිරිපත් කරයි. එනම් පසුගිය වසරේ ජුලි මස 7 වැනිදා ඉදිරිපත් කරන ලද අන්තර් කාලීන යෝජනාවල ඇතුළත් 2012 අය-වැය මගින් ක්‍රියාත්මක විය යුතුව තිබූ වැටුප් පියවරයන් වහාම ක්‍රියාත්මක කිරීමය. විශ්වවිද්‍යාල නිර්දේශපාලනීකරණය කළ යුතු බවද ඔවුන්ගේ තවත් ඉල්ලීමක්‌ වන අතර තමන් විශේෂ සේවාවකට අයත් පිරිසක්‌ ලෙස සලකන්නැයිද ඔවුහු ඉල්ලා සිටිති. එලෙස ඉල්ලා සිටින්නේ රටෙහි මානව සම්පත දියුණු කිරීමට ආචාර්යවරුන් කරන සේවය සහ සේවයට බඳවා ගැනීමේ දී මෙන්ම උසස්‌වීම් දීමේ දී අනුගමනය කරන දැඩි ක්‍රමවේදයද අනුවය.

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක්‌ අධ්‍යාපනයට වෙන් කරන ලෙස කරන ඉල්ලීම 2011 වසරේ ද ආචාර්යවරුන්ගේ සටන් පාඨයක්‌ වූ නමුත් එය එතරම් ඉස්‌මතු වූ ස්‌වභාවයක්‌ දක්‌නට නොලැබිණි. වසරක්‌ ඇවෑමෙන් එම ඉල්ලීම අද ප්‍රධානම සටන් පාඨය බවට පෙරළාගන්නට හැකිවීමම එක්‌ අතකින් ආචාර්යවරුන් ලද ජයග්‍රහණයකි. මන්ද ඒ හරහා ජනනය වෙමින් පවතින සමාජ කතිකාවත මෙන්ම රැල්ලද මහා පවුරු වුව බිඳලන්නට තරම් සුවිශාල වන හෙයිනි. එහි පුරෝගාමියා වීමේ භාග්‍යය, එවන් ගැඹුරු සාකච්ඡාවකට මුලපිරීමේ හැකියාව ආචාර්ය සමිති සම්මේලනයට හිමි වී ඇත. "රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පනත" සකස්‌ කරමින් හොර රහසේ එය අනුමත කර ගැනීමට උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ගත් උත්සාහය ඉහත සාකච්ඡාවට පදනම සකස්‌ කළාට සැක නැත. පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමේ අරමුණින් මෙම පනත සකස්‌ කරන බව ප්‍රකාශ කළද එහි අන්තර්ගත වූයේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වෙන් කරන මුදල් ක්‍රමයෙන් කපා හැරීමේ වුවමනාවය.

උසස්‌ අධ්‍යාපන ප්‍රජාව සුළුකොට නොතැකිය යුතු බව ආණ්‌ඩුවට පෙන්නා දෙමින් අන් කවරදාක වත් නොවූ තරම් සුවිශේෂී අයුරින් සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධතියම මේ අරමුණ කරා මෙහෙයවීමට ආචාර්ය සමිති සම්මේලනයට හැකි වූ බව අනිවාර්යයෙන්ම පිළිගත යුත්තකි. පෞද්ගලික වුවමනාවන් අතික්‍රමණය කළ සමාජයේ පොදු අභිලාෂය හමුවේ පෙනී සිටින සරසවි ආචාර්යවරුන්ගේ සියයට හයේ ඉල්ලීම පිළිබඳ වගකිවයුතු රජයක්‌ නම් කළ යුතු වන්නේ ඒ සඳහා බැරෑරුම් සංවාදයකට මුල පිරීමය. එහෙත් එවන් වූ වුවමනාවක්‌ වෙනුවට එස්‌. බී. දිසානායක ඇමැතිවරයාගේ ප්‍රතිචාර ගැටලු විසඳීමේ දිසාවට පිටුපෑමය. වැඩවර්ජිත ක්‍රියාමාර්ගය දින පනහකට අධික කාලයක්‌ පසුකර තවදුරටත් ඇදී යමින් පවතින්නේ ඒ පිටුපෑම නිසාය.

විශ්වවිද්‍යාල නිර්දේශපාලනීකරණය කිරීමේ සැබෑ වුවමනාවද ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අතර වෙයි. මෑත ඉතිහාසයේ තරම් විශ්වවිද්‍යාල දේශපාලනීකරණය වූ යුගයක්‌ තවත් නැතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිනි මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය ද පසුගියදා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියාය. ඒ... ඇත්ත ඇති සැටියෙන් ඔවුන් දකින සැටිය. විශ්වවිද්‍යාල දේශපාලනීකරණය වෙමින් එහි ස්‌වාධීනත්වය කෙළෙසමින් පවතින බව ආණ්‌ඩුව වෙනුවෙන් පෙනී සිටින ආචාර්යවරු පවා පිළිගන්නවාට සැක නැත. සරල නිදසුනක්‌ ගෙනහැර දක්‌වන්නේ නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පාලක සභාව සඳහා එක්‌ සුළු ජාතිකයකු හෝ පත් කිරීම මෙතෙක්‌ පැවැති සම්ප්‍රදායයි. නමුත් මෙවර පත් කරන ලද පාලක සභාව එම සම්ප්‍රදායෙන් පරිබාහිර විය. මෙවර පාලක සභාවේ නියෝජිතයන් කිහිප දෙනකුට උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාගේ මැතිවරණ කොට්‌ඨාසයෙන් පත් කිරීම පමණක්‌ම ආචාර්යවරුන්ගේ නිර්දේශපාලනීකරණ ඉල්ලීමේ සුජාත බව මොනවට පැහැදිලි වෙයි. මෙවර උපකුලපතිවරයා තෝරා පත්කර ගැනීමේ දී ක්‍රියා කළ යුතු ආකාරය ගැන පාලක සභා නියෝජිතයන්ට එස්‌. බී. දිසානායක මහතා උපදෙස්‌ දුන් බව නොරහසකි. විශ්වවිද්‍යාල ස්‌වාධීන ආයතන බවට පත් කරන්නැයි ඉල්ලා ආචාර්යවරුන් සටන් මගට පිවිස සිටින අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද ඊට එරෙහි ක්‍රියාමාර්ගවල නියෑලීම එක්‌තරා ලෙසකින් පුදුමයක්‌ නොවේ. ප්‍රතිපාදන කොමිෂන් සභාව අංක 991 දරන නව චක්‍රලේඛයක්‌ මගින් සියලු උපකුලපතිවරුන්ට උසස්‌ අධ්‍යාපන ආයතන ප්‍රධානීන්ට දන්වා ඇත්තේ අධ්‍යයන කාර්ය මණ්‌ඩල බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මණ්‌ඩල සඳහා ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජිතයන් දෙදෙනකු පත්කරන බවය. එම නියෝජිතයන් දෙදෙනා එකඟ නොවන්නේ නම් අධ්‍යයන කාර්ය මණ්‌ඩල බඳවා ගැනීම් නිර්දේශ නොකළ යුතු යෑයිද එහි සඳහන්ව තිබේ. ප්‍රතිපාදන කොමිෂන් සභාව මුළුමනින්ම දේශපාලන අතකොලුවක්‌ බවට පත්ව ඇතැයි මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මිය ප්‍රසිද්ධියේ කී කතාව ඇස්‌ ඉදිරිපිට ම සත්‍යයක්‌ වී ඇත්තේ එලෙසිනි.

සිය වැටුප් සම්බන්ධයෙන් ආචාර්යවරුන් කරන ඉල්ලීම අසාධාරණ යෑයි කිවහැකි නොවේ. මන්ද ඔවුන්ගේ ඉල්ලීම වන්නේ පසුගිය වසරේ ජුලි මස 7 වැනිදා ඉදිරිපත් කරන ලද යෝජනාවල ඇතුළත් 2012 අය-වැය මගින් ක්‍රියාත්මක විය යුතුව තිබූ වැටුප් පියවරයන් ය.

සම්මේලනයේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා වාර දහයක්‌ පැවැත්වූ නමුත් ආචාර්යවරුන්ට අවශ්‍ය වී ඇත්තේ අර්බුදය තවත් දිග් ගැස්‌සීමට යෑයි කියමින් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා විශ්වවිද්‍යාල වසා දැමුවේය. මෙලෙස විශ්වවිද්‍යාල වසා දැමෙන්නේ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාද මැදිහත් වී කටයුතු කරමින් සිටින අවස්‌ථාවක වීම විශේෂත්වයකි.

බැසිල් රාජපක්‍ෂ මහතාගේ මැදිහත් වීම සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සුබවාදී අපේක්‍ෂා දැල්වීමට හේතුවක්‌ බව මේ වනවිට ප්‍රකාශ වී ඇත. ඉදිරි දින කිහිපය ඇතුළත වැඩවර්ජනය නිම වීමටද ද ඉඩ තිබේ. ඒ සුබවාදී බලාපොරොත්තුවේ අපිද හිඳිමු. නැතහොත් උසස්‌ පෙළ උත්තර පත්‍ර ගොඩගැසීමේ තර්ජනයද රට හමුවේ පවතී. නොයෙක්‌ අභියෝග හා තර්ජන හමුවේ සිය අයිතිවාසිකම් වෙනුවෙන් සෘජුව නැගී සිටිය හැකි බලවේගයක්‌ වශයෙන් ආචාර්යවරු මෙම අරගලයේ දී මතු වූ බව අවිවාදිතය. ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන විසඳුම් යෝජනා යථාර්ථවාදී නොවනතාක්‌ අර්බුදය තාවකාලිකව නිම වුවත් පඹගාල නොලිහෙන වග සටහන් කරමු.

- නිලන්ත මදුරාවල
ඡායාරූප - කමල් බෝගොඩ

No comments: