Friday, August 3, 2012

අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි නොකළොත් අවුල් ජාලාවක්‌ ඇතිවේවි

www.divaina.com, 03/08/2012

- විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති

අධ්‍යාපනයට වෙන් කරන මුදල 1970 සිට ක්‍රම ක්‍රමයෙන් අඩුකළා
- ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්‌ටාලින්

සිරිමන්ත රත්නසේකර

මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රය මුහුණදී ඇති දැවැන්ත අර්බුදයෙන් යම්තම් හෝ ගොඩඒමට නම් අධ්‍යාපනය සඳහා වැය කරන ආයෝජන මීට වඩා ඉහළ දැමිය යුතු බවත් එසේ නොවුනහොත් අධ්‍යාපන ක්‍ෂේත්‍රය අවුලෙන් අවුලට යැම කිසිවකුට වැළැක්‌විය නොහැකිවනු ඇති බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවැසීය.

දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක්‌ අධ්‍යාපනය සඳහා වෙන් කිරීමට රජය කටයුතු කළ යුතු බවත් අනෙක්‌ රටවල්වලට සාපේක්‍ෂව අප රට අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත්තේ සොච්චම් මුදලක්‌ බවත් හෙතෙම පැවැසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා එම අදහස්‌ පළ කළේ ඊයේ (2 දා) කොළඹ පිහිටි මහජන පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවනාගාරයේ පැවැති ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධාන සභා හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක්‌ අධ්‍යාපනය සඳහා වෙන් කරන්නැයි රජයට බලකිරීම සහ අදාළ යෝජනාව සමාජගත කිරීම සඳහා මෙම වෘත්තීය සමිති සංවිධානය පිහිටුවාගෙන තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මෙසේ ද කීවේය.

අධ්‍යාපනය සඳහා වෙන් කරන ආයෝජනවල අඩු කිරීමේ නියම ප්‍රතිඵල අපට දැකිය හැකි වන්නේ තව වසර කිහිපයකදීයි. ඒ නිසා මෙම තත්ත්වය වහා නතර කළ යුතුයි. ඒ සඳහා පුළුල් හඬක්‌ නැගිය යුතුයි. පුළුල් වේදිකාවක්‌ තැනිය යුතුයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන යන වැඩ වර්ජනය කෙටිකාලීන ව්‍යාපාරයක්‌ පමණයි. අධ්‍යාපනය සඳහා වැඩි මුදලක්‌ වෙන්කර ගැනීමට පුළුල් කතිකාවක්‌ ඇති කළ යුතු වෙනවා. අපි උත්සාහ ගන්නේ ආණ්‌ඩුව පෙරලීමට හෝ ආණ්‌ඩුව අපහසුතාවට පත් කිරීමට නොවෙයි. අපට සැබෑ ලෙසම අවශ්‍ය අධ්‍යාපනය සඳහා ඉහළ ආයෝජනයක්‌ රජය මගින් ලබා ගැනීමයි.

දළ දේශීය නිෂ්පාදනයේ සියයට හයක්‌ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමේ යෝජනාව ඇතැම් පුද්ගලයන් උපහාසයට ලක්‌කරනවා. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අප දෙන පණිවිඩය නිසි ලෙස භාරගන්න කියලයි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්‌ටාලින් මහතා - 1970 වසරේ සිට අධ්‍යාපනය සඳහා කරන වියදම් ක්‍රම ක්‍රමයෙන් කපාහැර තිබෙනවා. අධ්‍යාපනය කඩාවැටී ඇත්තේ ඒ නිසයි. අධ්‍යාපනයට ලබාදෙන මුදල් කපාහැර ඇති නිසා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දූෂණය රජවී තිබෙනවා. මෙම තත්ත්වය වෙනස්‌ කළ යුතුයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ කරගෙන යන වැඩපිළිවෙළ ඉතා විශිෂ්ටයි. මෙහි ඇති බැරෑරුම්කම අප කඩිනමින් සමාජගත කළ යුතුයි.

නිදහස්‌ අධ්‍යාපනය රකින්න නම් අධ්‍යාපනය සඳහා ලබාදෙන මුදල් ඉහළ දැමිය යුතුයි. එසේ නොමැතිව නිදහස්‌ අධ්‍යාපනය රැකගැනීමට හැකි වන්නේ නැහැ. නිදහස්‌ අධ්‍යාපනයෙන් ඉහළට ආ උදවිය මෙය තේරුම් ගත යුතුයි.

මෙම ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය සඳහා ලංකා ගුරු සංගමය, ස්‌වාධීන, ආචාර්යවරුන්ගේ සංගමය, ජාතික විදුහල්පතිවරුන්ගේ සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා එක්‌සත් ගුරු සංගමය, වෘත්තීය අධ්‍යාපනඥයන්ගේ සංගමය, සියනෑ අධ්‍යාපන සංගමය, විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධතා සංගමය, විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය, පොදු ගුරු වෘත්තීය සංගමය, ලංකා දෙමළ ගුරු සංගමය, සමස්‌ත ලංකා උපාධිධාරී සංගමය, ලංකා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයෝ එක්‌වූහ.

No comments: