Friday, August 31, 2012

සරසවි ඇදුරු වර්ජනය දිගටම කැබිනට්‌ යෝජනා පිළිගත නොහැකි බව දැනුම් දෙති

Divaina, 31/08/2012

අජිත් අලහකෝන් සහ නිලන්ත මදුරාවල

ඇමැති මණ්‌ඩල අනුමැතිය ප්‍රොaඩාවක්‌ බැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තවදුරටත් සිය ඉල්ලීම් සඳහා වැඩ වර්ජනයේ නිරත වන බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ "දිවයින"ට පැවැසූහ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා අරලියගහ මන්දිරයේ පැවැති කැබිනට්‌ රැස්‌වීමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අර්බුදය විසඳන යෝජනා අටට අනුමැතිය ලබාදුන් බවට දැක්‌වෙන ලිඛිත ලියෑවිල්ල ඊයේ (31 දා) පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට භාරදී තිබූ බවද උන්වහන්සේ කීහ. එකී ලියවිල්ල සත පහකටවත් ගණන් ගත නොහැකි බවද සිය ඉල්ලීම් නොසලකා හරිමින් ඒවා සඟවා දමමින් කැබිනට්‌ අනුමැතිය ලබාදී තිබෙන්නේ වෙනත් කාරණා කිහිපයක්‌ සම්බන්ධයෙන් බවද දඹර අමිල හිමියෝ පැවැසූහ.

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක මුදලක්‌ වාර්ෂිකව රටේ අධ්‍යාපනය සඳහා වෙන් කරන ලෙසට ආචාර්යවරුන්ගේ සංගමයේ ප්‍රධාන ඉල්ලීම වූ අතර කැබිනට්‌ අනුමැතිය ඊට ලබාදී නැතැයි උන්වහන්සේ ප්‍රාථමික, ද්විතියික, තෘතීයික, වැඩිහිටි, තාක්‍ෂණික හා උසස්‌ අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව මුදල් වෙන්කරන බවට ඇමැති මණ්‌ඩලය තීරණය කර තිබෙන බව කීහ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශේෂ වර්ගීකරණයකට ලක්‌කර බඳවා ගැනීමේ සහ රඳවා ගැනීමේ දුෂ්කරතාවට පිළියමක්‌ ලෙස ඉහළ වැටුප් තලයක පිහිටුවන ලෙසද ආචාර්යවරුන් ඉල්ලා සිටිමුත් විශේෂ වර්ගීකරණය පිළිගෙන ඇති ඇමැති මණ්‌ඩලය වැටුප් වැඩිකිරීම පිළිබඳ කිසිදු සඳහනක්‌ කර නැතැයිද උන්වහන්සේ කීහ.

එකී වර්ගීකරණය සඳහා වන කමිටුවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයෙක්‌ද ඇතුළත් කළ යුතු බවට කළ යෝජනාවද ඇමැති මණ්‌ඩලය නොසලකා හැර ඇතැයි කී දඹර අමිල හිමියෝ එම කමිටුවට විශ්වවිද්‍යාල ප්‍රජාවේ සාමාජිකයෙක්‌ සම්බන්ධ කරවන බව ඇමැති මණ්‌ඩලය ප්‍රකාශ කර තිබෙන බවද කීහ. ඒ අනුව එම කමිටුවට තමන් කැමැති ඕනෑම පුද්ගලයකු ඇතුළත් කිරීමට ආණ්‌ඩුවට හැකි වන බව කී උන්වහන්සේ තම යෝජනා සියල්ලම ඇමැති මණ්‌ඩලය විසින් නොසලකා හැර ඇතැයි ද කීහ.

එනිසා ඇමැති මණ්‌ඩල අනුමැතිය සඳහන් ලියවිල්ල සත පහකටවත් ගණන් ගත නොහැකි බව කී දඹර අමිල හිමියෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් එය ප්‍රතික්‍ෂේප කළ බවද කීහ.

ඒ බැව් ආර්ථික සංවර්ධන ඇමැතිවරයාට දැනුම් දෙන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අදාළ නිලධාරීන්ට දැනුම්දුන් බවද උන්වහන්සේ කීහ.

සිය ඉල්ලීම්වලට අදාළව කැබිනට්‌ මණ්‌ඩලය අනුමත කළ යෝජනා පිළිගත හැකි මට්‌ටමේ නොපවතින බව විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, රජයට ඊයේ (30 දා) දැනුම් දුන්නේය.

විශ්වවිද්‍යාලවල ස්‌වාධීනත්වය සම්බන්ධයෙන් සම්මේලනය ඉදිරිපත් කර ඇති කරුණු අවධානයට ලක්‌කර නැතැයි සඳහන් කළ එහි සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය වැටුප් වැඩිකිරීමේ යෝජනාව ගැන කිසිදු සඳහනක්‌ නැතැයිද පැවැසීය.

එමෙන්ම සම්මේලනය ඉදිරිපත් කළ ලියවිල්ලේ සඳහන් කරුණු ගැන නිශ්චිත වශයෙන් අවධානය යොමු කළ බවක්‌ පෙනෙන්නට නැතැයිද අවශ්‍ය වන්නේ එම ලියවිල්ලේ සඳහන් කරුණු මත පදනම් වන විසඳුමක්‌ යෑයි ද සභාපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

No comments: