Friday, June 22, 2012

හිට්ලර්ලාටත් වඩා ඉහළින් වත්මන් හිට්ලර්ලා කටයුතු කරනවා - දඹර අමිල හිමි


Lankatruth.com, 2012 ජූනි 22 වෙනි සිකුරාදා, 16:17

එදා සිටි හිට්ලර්ලාටත් වඩා ඉහළින් මෙම වත්මන් හිට්ලර්ලා කටයුතු කරමින් සිටින බවත් වත්මන් ආණ්ඩුව යන ඒකාධිපති ගමන්මග සම්බන්ධයෙන් ඕනාවටත් වඩා උදාහරණ හැටහුටාමාරක් ඇති බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිත් සම්මේලනයේ උප සභාපති පූජ්‍ය දඹර අමිල හිමියන් අද (22) කොළඹ ජාතික පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියහ.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපතිආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට එල්ල වී ඇති තර්ජන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර එහිදී අදහස් දැක්වූ පූජ්‍ය දඹර අමිල හිමියන් මෙසේ සඳහන් කර සිටියහ.
මෙම සිදුවීම හුදෙක් විශ්ව විද්‍යාලයීය ආචාර්යවරයෙකුට හෝ පුද්ගලිකව කිසියම් කෙනෙකුට හෝ කළ බියවැද්දීමක් ලෙස නොව සමාජයක් ලෙස අප මුහුණ දී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පිළිබඳ ගැටලුවක් බව ද තවදුරටත් මිනීවලට කරගසාගෙන යාමට හෝ සුදු කොඩි දමන්නට පමණක් මග බලා නොසිට මෙම ක්‍රියාදාමය නැවැත්වීම සඳහා කටයුතු කළ යුතු බව ද එම හිමියෝ පෙන්වා දුන්හ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ආරම්භ කිරීමට නියමිත අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීමට හා එහි ක්‍රියාකාරීකයින් බියවැද්දීමට බලධාරීන් ක්‍රියා කරමින් සිටින බවද සිය වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හුදු වැටුප් වැඩි කිරීම සඳහා ගෙනයන ක්‍රියාමාර්ගයක් නොව අධ්‍යාපන නිදහස හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීම සඳහා වූ දැවැන්ත අරගලයක කොටසක් පමණක් බවත් එම හිමියන් අවධාරණය කර සිටියේය. එබැවින් සුදු වෑන් රථ එවීමෙන් හෝ චරිත ඝාතනය කිරීමෙන් හෝ බියවැද්දීම් තුළින් රටේ ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් ගෙනයන අරගලය කිසිසේත්ම නැවැත්විය නොහැකි බව පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ නවකවද සිදුවීම් වැනි කාරනා සම්බන්ධයෙන් ප්‍රවෘත්ති මවමින්විශ්වවිද්‍යාලය අපකීර්තිමත් ආයතන බව හුවා දැක්වීමටත් ඒ හරහා අධ්‍යාපණ පෞද්ගලීකරණ ක්‍රියාවලිය තීව්‍ර කිරීමටත් බවය. ඊට එරෙහිව තමන් වහන්සේ ඇතුළු විශවවිද්‍යල ආචාර්ය සමිති සම්මේලනය විසින් අඛණ්ඩව අරගල කරනබවත් පැවසූහ.
මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සභාපති නිර්මාල් රංජිත් දේවසිරි සමහතාද මාධ්‍ය හමුව ඇමතූ අතර එම සමිති සම්මේලනයේ සාමාජිකයින් 15 දෙනෙකු පමණ එයට සහභාගීවී සිටිහය.

No comments: