Friday, June 15, 2012

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ආණ්‌ඩුවෙන් කුඩම්මාගේ සැලකිලි - සරසවි ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපති

www.divaina.com, 15/06/2012

නිලන්ත මදුරාවල

ආණ්‌ඩුව අද රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට දක්‌වන්නේ කුඩම්මාගේ සැලකිල්ලක්‌ යෑයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය. එලෙස අඩු සැලකිල්ලක්‌ දැක්‌වීම පිටුපස උපාධි කඩ ආරම්භ කිරීම වැනි වෙනත් න්‍යාය පත්‍රයන් තිබිය හැකි යෑයි ද ඒ මහතා සඳහන් කළේය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ලබන මස 4 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත අඛණ්‌ඩ වැඩවර්ජනය සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ ඊයේ (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මේ වන විට පාලනය කළ නොහැකි මට්‌ටමකට පත්ව ඇතැයි ද පාලකයන් විශ්වවිද්‍යාලවල පවතින අර්බුදය ගැන සොයා නොබැලීම ඊට හේතුව යෑයි ද කී දේවසිරි මහතා මෙම තත්ත්වය යටතේ විශ්වවිද්‍යාල දැඩි අර්බුදයකට ලක්‌වීම නොවැළැක්‌විය හැකි යෑයි ද සඳහන් කළේය.

අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් වැය කරන ප්‍රමාණය සියයට හය දක්‌වා වැඩි කිරීම, විශ්වවිද්‍යාල දේශපාලන බලපෑම්වලින් තොරව තීන්දු ගත හැකි ස්‌ථාන බවට පත් කිරීම හා මීට සිව් වසරකට පෙර එකඟ වූ වැටුප් වර්ධකයන් ලබාදීම යන ප්‍රධාන ඉල්ලීම් මුල්කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බව ද, මෙය හුදෙක්‌ වැටුප් පමණක්‌ ඉල්ලා කරන වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ නොවන බව ද ඒ මහතා පැවසීය.

ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයෝ රැසක්‌ මෙම මාධ්‍ය හමුවට එක්‌වූහ.

No comments: