Sunday, June 24, 2012

පෞ. වෛද්‍ය විද්‍යාල පනතට ආණ්‌ඩුව ඇතුළේත් විවිධ මත

Divaina, 24/06/2012

රනිල් ධර්මසේන, අනුර බාලසූරිය

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සම්බන්ධයෙන් ආණ්‌ඩු පක්‍ෂය තුළින්ම විරෝධයක්‌ මතුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙය නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන් පටහැනි ක්‍රියාවක්‌ බව පවසමින් ආණ්‌ඩු පක්‍ෂයේ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ සහ මන්ත්‍රීවරුන් පිරිසක්‌ මෙයට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.

පසුගියදා පැවැති ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී මේ සම්බන්ධව සාකච්ඡාවට ගැනුණු අවස්‌ථාවේ රාජ්‍ය භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර මහතා මෙය නිදහස්‌ අධ්‍යාපනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්‌ බව සඳහන් කරමින් ඊට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.

මහජන එක්‌සත් පෙරමුණ, ජාතික හෙළ උරුමය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් පිරිසක්‌ද ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී මේ සම්බන්ධයෙන් විරුද්ධ මත ප්‍රකාශ කර ඇති බව දැනගන්නට ඇත.

පීලි පැන තිබෙන මේ අධ්‍යාපන ප්‍රතිපත්ති පොදු ජනතාවගේ උවමනාවන්ට අනුව නැවත පරිවර්තනය විය යුතු බව ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසුමකදී සඳහන් කළේය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට ක්‍රියාත්මක වුවහොත් එය මේ රටේ පොදු ජනතාවගේ දරුවන්ට එල්ලවන මරු පහරක්‌ බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

No comments: