Thursday, December 29, 2011

විභාග ප්‍රතිඵල නිවැරැදි නොකළොත් නීති මගට යනවා ලංකා ගුරු සේවා සංගමය කියයි

Divaina, 29/12/2011, නිලන්ත මදුරාවල උසස්‌ පෙළ ප්‍රතිඵල නිවැරැදි නොකළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවැසීය. විෂය නිර්දේශ දෙකක්‌ යටතේ විභාග දෙකකට පෙනී සිටි සිසුන් එක්‌ විභාගයකට පෙනී සිටියා සේ සලකා ඉසඩ් ලකුණු නිකුත් කිරීමට යොදා ගත් සූත්‍රය හෙළි කළ යුතු යෑයිද ඒ මහතා කීවේය.උසස්‌ පෙළ ප්‍රතිඵල සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ ඊයේ (28 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ ජයසිංහ මහතා විභාග දෙපාර්තමේන්තුව උසස්‌ පෙළ ප්‍රතිඵල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දුන් පසු කුමක්‌ සිදු වූයේද යන්න ගැටලුවක්‌ යෑයිද ප්‍රකාශ කළේය. පිළිතුරු පත්‍ර ඇගයීම් කර ප්‍රතිඵල නිකුත් කිරීම විභාග දෙපාර්තමේන්තුවේ කාර්යය යෑයිද මෙවර ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර තවත් පාර්ශ්වයකට ලබා දීමෙන් දෙපාර්තමේන්තුව සිය රාජකාරිය උල්ලංඝනය කර ඇතැයිද ප්‍රධාන ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේය. ඉසඩ් ලකුණු සකස්‌ කිරීම සඳහා සූත්‍රය නිර්මාණය කළේ කවුරුන්ද යන්න ප්‍රසිද්ධ කළ යුතු බවත් එය තවදුරටත් රහසක්‌ ලෙස තබා ගැනීමේ අවශ්‍යතාවක්‌ නොමැති බවත් කී ජයසිංහ මහතා අයදුම්කරුවන්ගේ දිස්‌ත්‍රික්‌ කුසලතා වෙනස්‌ වූයේ නම් ප්‍රතිඵල ඉසඩ් ලකුණු පමණක්‌ නොව දිවයින කුසලතාව වෙනස්‌ විය යුතු යෑයිද පැවසීය. ප්‍රතිඵල පිළිබඳව පවතින ගැටලු සහගත තත්ත්වය නිවැරැදි කිරීම සඳහා පිළිතුරු පත්‍ර අයදුම්කරුවන් අතට ලබාදීම සඳහා වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතු බවත් හෙතෙම කීවේය.

1 comment:

Tharu said...

Yeah.... We are always with you... Please NEVER GIVE UP...!! Go ahead... Good Luck...!!!