Thursday, December 22, 2011

ඊයේ පාගමනටත් උසාවියෙන් තහනමක්‌ - පේරාදෙණියේ ශිෂ්‍ය සංගම් අත්හිටුවයි

Divaina, 22/12/2011

නිලන්ත මදුරාවල - සිරිල් විමලසුරේන්ද්‍ර සහ තිවංක අභයරත්න




පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ සියලු පීඨ ශිෂ්‍ය සංගම් ඊයේ (21 වැනිදා) සිට තාවකාලිකව අත්හිටුවීමට උපකුලපති මහාචාර්ය එස්‌. බී. එන්. අබයකෝන් මහතා පියවර ගෙන ඇත.

විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට හානිකර අයුරින් ක්‍රියා කිරීම සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අනාරක්‍ෂිත තත්ත්වයට පත් කිරීමට ක්‍රියාකිරීම හේතුකොටගෙන මෙම තීරණය ගත් බව උපකුලපතිවරයා පවසයි.

නියෝජ්‍ය උපකුලපති, පීඨාධිපතිවරුන්, ලේඛකාධිකාරී සහ මූල්‍යාධිකාරීගෙන් සමන්විත උපකුලපති උපදේශක කමිටුවේ නිර්දේශ මත ගනු ලැබූ මෙම තීරණයට අනුව අදාළ සංගම් ඊයේ (21 දා) සවස 

2.00 සිට තාවකාලිකව තහනම් කරනු ලැබ ඇත. එම ශිෂ්‍ය සංගම් කාර්යාලවල යතුරු සහකාර ලේඛකාධිකාරී වෙත බාර දිය යුතු බවට එම ශිෂ්‍ය සංගම්වලට දැනුම්දී තිබේ.

මේ අතර පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා පනත් සම්මත කර ගැනීමටත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මර්දනයටත් එරෙහිව පේරාදෙණියේ සිට කොළඹ දක්‌වා සැලසුම් කර තිබුණ පාගමන අධිකරණය මගින් තහනම් කර තිබීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සීමාවට පමණක්‌ සීමාවූ උද්ඝෝෂණයක්‌ පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් විසින් ඊයේ (21 දා) පවත්වන ලදී.

පේරාදෙණිය සරසවි භූමියේ සිට ගලහ මංසන්ධිය දක්‌වා උද්ඝෝෂණ පෙළපාලියක යෙදුණු සරසවි ශිෂ්‍යයෝ පසුව රැස්‌වීමක්‌ පවත්වා උද්ඝෝෂණ වැඩසටහන නිමාවට පත් කළහ.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ පනත අත්හිටුවීමත්, ශිෂ්‍ය මර්දනය හා අත්අඩංගුවට ගැනීමත්, අත්අඩංගුවට ගන්න වුන් මුදාහරින ලෙසත් ඉල්ලා සිටින බව ගලහ හංදියේ පැවැත්වුණු රැස්‌වීම අමතමින් පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මහේෂ් ප්‍රභාෂ්වර ලංකා සහ අන්තර් විශ්වවිද්‍යාල බලමණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර පැවසූහ. 

ඊයේ (21 දා) පෙරවරුවේ පේරාදෙණිය සිට කොළඹ දක්‌වා යැමට සංවිධානය කර තිබුණු ශිෂ්‍ය පාගමන පොලිසිය මගින් අත්හිටුවන ලදී.

මහනුවර අතිරේක මහෙස්‌ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් නිකුත් කළ තහනම් නියෝගයක්‌ අනුව පේරාදෙණිය පොලිසිය ශිෂ්‍ය පාගමන තහනම් කර තිබිණි.

පේරාදෙණිය පොලිසිය මගින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක්‌ අනුව මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරන ලදී.

මහනුවර කොළඹ මාර්ගය රථවාහන ධාවනයටත්, මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට බාධා ඇතිවීමත්, විශ්ව විද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයෙන් ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිවීමට ඉඩ තිබෙන බැවින් පොලිසිය අධිකරණය නියෝගය ලබාගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල මහතා පැවසීය.

ඊයේ (21 දා) අලුයම් වේලේ සිටම යුද හමුදාව සහ පොලිසිය පේරාදෙණිය පාර, ගලහ වටරවුම ඇතුළු ප්‍රදේශයේ රැකවල්ලා තිබිණි.

මාර්ගයේ ඇතැම් ස්‌ථානවල සහ ගලහ හන්දිය ප්‍රදේශය මාර්ග බාධක හා කම්බි ආදිය යොදා රැකවල්ලා තිබිණ.

සරසවි සිසුන් තුන් දහසක්‌ පමණ උද්ඝෝෂණයට සහභාගි වී සිටි අතර පොලිසිය හා යුද හමුදාව පන්සියයක්‌ පමණ ආරක්‍ෂක කටයුතුවල නිරතවී සිටියහ.

No comments: