Tuesday, December 6, 2011

ජෝකර්ලා උපකුලපතීන් වූ විට

Gad Fly Zone, 05/12/2011
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් තම අධ්‍යාපන කටයුතු සඳහා මහාචාර්ය ඒකකයක් දෙන මෙන් ඉල්ලා කරන සටන තුල පසුගිය සතියේදී සිසුන් හය දෙනෙකුට පංති තහනම් විය.ඒ එහි උපකුලපති මහාචාර්ය නන්දසේන ප්‍රාණ ඇපයට ගත්තා යැයි කියමිනි.
ඇත්තෙන්ම සිසුන් එසේ කලා නම් වැරදිය. වැ‍රැදි දෙයට වැ‍රැදි යැයි කීමට අප පසු බට නොවමු. මහාචාර්ය නන්දසේන ප්‍රාණ ඇපයට ගෙන හෝ නොගෙන ඔහුගෙන් මහාචාර්ය ඒකක හෝ වෙන යම් දෙයක් හෝ ඉල්ලීම වැරදිය.ඔහුගෙන් යමක් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලීමක් බඳුය. ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලීම වැ‍රැද්දක් පමණක් නොව ජෝක් එකක්ද වෙයි.
පේරාදෙණිය කෘෂිවිද්‍යා පීඨයේ ගුරුවරයෙකු වන මහාචාර්ය නන්දසේන රජරට උපකුලපති ධූරය ලබා ගන්නේ ඉහලම තැන සිට පහලම තැන දක්වා වූ දේශපාලකයින් රොත්තක් පසුපස බඩගා යමින් ,ඔවුනගේ පා ලෙව කමින්, ඔවුනට සකලවිධ දාසකම් කරමිනි.ඔහු මේ දේශපාලකයින්ට පමණක් නොව ඔවුන්ගේ ඈතින් නෑයනට, හිතමිත්‍රාදින්ට , නිවෙස්වල මෙහෙකරුවන්ට පවා තෑගි බෝග පිදුවේය. බෝජන සංග්‍රහ පැවත්වුයේය. ඔහු තනතුර ලබා ගත්තේ එලෙසය.
එසේ කඹුරා උපකුලපති තනතුර ලබා ගත් දා සිට උග්‍ර රාජපක්ෂ වාදියෙක් විය,සුවච කීකරු සේවකයෙක් විය. රයන්නක් දු‍ටුවත් අසුනෙන් නැගිට වැඳ වැටෙන තරම් රාජපක්ෂ බැතිමතෙක් විය. ඔහු නිරන්තරයෙන්ම කල්පනා කරන්නේ තම හාම්පුතුන් සතු‍ටු කරන්නේ කෙසේද යන්නයි.ඒ නීතියට බාහිරව වැඩිපුර මාස කිහිපයක් හෝ තනතුරේ ‍රැඳී සිටීම සඳහා ය.
රාජපක්ෂ රෙජිමය තම පසුගිය අයවැයෙන් රටේ අධ්‍යාපනයට වෙන් කර තිබූ මුදල තව දුරටත් කප්පාදු කලේය. ඔවුනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නගා සි‍ටුවීම සඳහා ඇම්මක් නැත. ආණ්ඩුවේ සියලු පිඹුරු පත් සැකසෙන්නේ අධ්‍යාපනය විකිණීම වෙනුවෙනි. එහෙව් වූ ආණ්ඩුවකට රජරට වෛද්‍ය ශිෂ්‍ය්‍යයන්ට මහාචාර්ය ඒකක දීමට තදියමක් නැත. දුන්නත් නමට මහාචාර්ය ඒකකයක් මිස වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියට ගැලපෙන අංග සම්පූර්ණ එකක් නම් නොවේ.
ඒ නිසා ආණ්ඩුවට අවශ්‍ය සිසුන්ගේ ඉල්ලීමසපුරන, ඒවා සිසුන් හා එක්ව තමන්ට ඉද්‍රිරිපත් කරමින් කරදර කරන සරසවි පාලකයින් නොව ,එම ඉල්ලීම ගෙන එන සිසුන් දංගෙඩියට දක්කන නිවටයින්ය. තම තනතුරු ‍රැක ගැනීමට නම් ආණ්ඩුව කියන පරිදි කටයුතු කළ යුතු බව ඔවුන් දනී. එසේ නොකළහොත් සිසුන් සමග තම බෙල්ලත් දංගෙඩියට තැබීමට සිදු වන බවත් ඔවුන් හොඳාකාරවම දනී.අනික් අතට නන්දසේනලා බඳු මිනිසුන් සිසුන් වෙනුවෙන් එවැනි කැප කිරීම් කරනු ඇතයි සිතීමද විහිලුවකි.
තම ඉල්ලීම් මහාචාර්ය නන්දසේනලා වෙතින් දිනා ගත හැකි වේ යැයි සිතීම ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලීමක් බඳු යැයි අප කියන්නේ එබැවිනි.

No comments: