Tuesday, December 27, 2011

දිස්‌ත්‍රික්‌ කුසලතාව අවුල් සහගතයි - පාසල්වලට උ/පෙළ ප්‍රතිඵල දීම අත්හිටුවයි - විශ්වවිද්‍යාල ප්‍රවේශයට බලපෑමක්‌ නෑ

Divaina, 27/12/2011, නිලන්ත මදුරාවල උසස්‌ පෙළ ප්‍රතිඵලවල දිස්‌ත්‍රික්‌ කුසලතාව (District Rank) අවුල් සහගත හෙයින් ප්‍රතිඵල ලේඛන පාසල්වලට ලබාදීම විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (26 වැනිදා) අත්හිටුවනු ලැබිණි. අන්තර්ජාලයට නිකුත් කර ඇති දිස්‌ත්‍රික්‌ කුසලතා සංශෝධනය කිරීමට ද දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ප්‍රතිඵලවලට අදාළ ඉසඩ් ලකුණු ශ්‍රේණි මෙන්ම දිවයින කුසලතාවේ (Island Rank) කිසිදු වෙනසක්‌ හෝ ගැටලුවක්‌ නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. දිස්‌ත්‍රික්‌ කුසලතා අවුල් සහගත වීමට හේතු වී ඇත්තේ විභාගයට පෙනී සිටි දිස්‌ත්‍රික්‌කය වෙනුවට ඇතැම් අයදුම්කරුවන් වෙනත් දිස්‌ත්‍රික්‌කයකින් පෙනී සිටියා සේ සලකා ප්‍රතිඵල නිකුත් කිරීමය. ප්‍රතිඵලවලට අදාළ දත්ත පරිගණකගත කිරීමේදී මෙම දෝෂය ඇති වී ඇත. මීට අමතරව පසුගිය වසරේ අගෝස්‌තු මාසයේ මෙම අයදුම්කරුවන්ම පෙනී සිටි සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගයේ විභාග අංක මෙවර උසස්‌ පෙළ විභාගයේ ඇතැම් අංක සමඟ ගැලපීම ද සිසුන්ට ගැටලුවක්‌ වී තිබේ. ඇතැම් සිසුන් එම විභාගයේ අංකය පරිගණකයට ඇතුළත් කළ පසු වෙනත් ප්‍රතිඵලයක්‌ ලැබීම නිසා ඒ සම්බන්ධයෙන් ද විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. අවුල් සහගත තත්ත්වයට පත්ව ඇති දිස්‌ත්‍රික්‌ කුසලතාව විශ්වවිද්‍යාල ප්‍රවේශයට හෝ වෙනත් කිසිදු කාර්යයකට අදාළ නොවන බව ද ඒ බව ප්‍රතිඵල ලේඛනයේ සඳහන් කර ඇති බව ද විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා "දිවයින" ට ඊයේ (26 වැනිදා) පැවසීය. දිස්‌ත්‍රික්‌ කුසලතාව නිකුත් කෙරෙන්නේ තාවකාලිකව යෑයි ද ඉන් අපේක්‍ෂා කරන්නේ අදාළ දිස්‌ත්‍රික්‌කයේ එම අයදුම්කරුවා පසුවන ස්‌ථානය බලා ගැනීම පමණක්‌ යෑයි ද ඒ මහතා සඳහන් කළේය. කෙසේ වුවද දැනට අන්තර්ජාලයට එක්‌කර ඇති සියලුම දිස්‌ත්‍රික්‌ කුසලතාවන් ඉක්‌මණින්ම සංශෝධනය කර පාසල්වලට ප්‍රතිඵල ලේඛන ලබාදීමට පියවර ගන්නා බව ද අනුර එදිරිසිංහ මහතා පැවසීය. උසස්‌ පෙළ පළමු වසරේ සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගය වෙනුවෙන් සිසුන්ට ලබාදෙන ප්‍රවේශ පත්‍රයේ "ජනවර්ගය" යනුවෙන් සඳහන් කර ඇතැයි ද එලෙස සඳහන් කරන්නේ උසස්‌ පෙළ විභාග ප්‍රවේශ පත්‍රය වෙනම හඳුනා ගැනීම සඳහා යෑයි ද කී විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගයේ විභාග අංකය පාවිච්චි කිරීම පිළිබඳ තමන්ට කළ හැකි දෙයක්‌ නැතැයි ද සඳහන් කර සිටියේය.

No comments: