Sunday, July 29, 2012

අපේ ඉල්ලීම් පිළිබඳ ඇමතිවරයාගේ අර්ථකථනය වැරදියි


දන්ත වෛද්‍යපීඨ ආචාර්ය සංගමයේ ලේකම් - පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ප‍්‍රසාද් එන්. වික‍්‍රමසිංහ [Sunday, July 29, 2012]
ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අතර සාධාරණ එකකටතියෙන්නේ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් කළ යුතුයි කියන කොන්දේසිය විතරක් බවයි උසස් අධ්‍යාපන ඇමතිවරයා ප‍්‍රකාශ කරන්නේ. ඔහුට අනුව ලංකාව අද ඒ ආසන්නයටම, එහෙමත් නැත්තම් දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට පහක් අධ්‍යාපනයට වියදම් කරන තරම් දුරට ඇවිත් ඉන්නවා. ඒ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ මගින් වෙන් කරන මුදලට අමතරව වෙනත් ආයතන සහ තම දරුවන්ගේ අධ්‍යාපනයට දෙමව්පියන් වියදම් කරන මුදලත් එකතු කරද්දී?

රටක අධ්‍යාපනය සඳහා රජය වෙන් කළ යුතු මුදල ගැන සාමාන්‍යයෙන් ලෝකයේ පිළිගත් නිර්ණායක දෙකක් තියෙනවා. ඒ නිර්ණායක දෙකෙන් එකක් තමයි ආණ්ඩුවක් අධ්‍යාපනය සඳහා දල ජාතික නිෂ්පාදනයෙන් වෙන් කරන මුදලේ ප‍්‍රතිශතය. අනික් කරුණ රජයේ මුළු වැයකිරීම්වලින් අධ්‍යාපනය සඳහා ආණ්ඩුවක් වෙන් කරන මුදලේ ප‍්‍රතිශතය කියන එක. ඒ හැරෙන්න ඇමතිවරයා කියනවා වගේ අමතර වැයකිරීම් එතනදී ගණනය වෙන්නේ නෑ.

තවත් අතකට උසස් අධ්‍යාපන ඇමතිවරයා මෙහෙම සංඛ්‍යා කිව්වත් ඔය කියන අමතර වියදම ගණනය කරලා තියෙන්නේ කොහොමද කියලා ගැටලූවකුත් තියෙනවානෙ. ඒ වගේ කිසි වියදමක් නිවැරදි විදිහට ගණනය කෙරෙන්නේ නෑ. අනික තමයි, අධ්‍යාපනය සඳහා සෙසු ආයතන විශාල වියදමක් දරනවා කිව්වත් ඒ ආයතන මොනවාද, ඒ ආයතන ඒ සඳහා වියදම් කරන්නේ කොහොමද කියලවත් මේ අය පෙන්නලා දෙන්නේ නෑ.

අද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉතා පැහැදිලිව සමාජයට ඉදිරිපත් කරලා තියෙනවා අධ්‍යාපනය සඳහා ආණ්ඩුව වෙන් කරන මුදල දල ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් විදිහටත්, ආණ්ඩුවේ සමස්ත වියදමෙහි ප‍්‍රතිශතයක් විදිහටත් තියෙන්නේ ඉතාමත් පහත අඩියක කියලා. වෙන එකක් තියා, ලෝකයේ දියුණු රටවලට සාපේක්ෂව බැලූවත් ඉතාමත් නොදියුණු රටවලූත් ඇතුලත්ව කලාපයේ අනික් ඕනෑම රටකටම සාපේක්ෂව බැලූවත් ඒ සඳහා ලංකාව වැයකරන මුදල ඉතාමත්ම අඩුයි.

අධ්‍යාපනය සඳහා වැයවෙන අනික් මුදල ආණ්ඩුව වැයකරන එකට එකතු කළාම ඒක සියයට පහක් විතර වෙනවා කියන එක පිළිගත්තා කියලා හිතමුකෝ. ඒ වුණත් ඒත් එක්ක ඉතාමත්ම කැපී පේන විෂමතාවක් ඉස්මතු වෙනවා. ඒ තමයි මේ කියන අමතර මුදල බහුල වශයෙන් බෙදී යන්නේ ග‍්‍රාමීය දුප්පත් ඉස්කෝලවලටවත් දුප්පත් ළමයින්ටවත් නෙමෙයි කියන එක. ඒවා බෙදී යන්නේ නාගරික වැඩි පහසුකම් තියෙන පාසැල්වලට. එහෙමත් නැත්නම් නගරයේම තියෙන පුද්ගලික අධ්‍යාපන ආයතන වලට. කොටින්ම කිව්වොත් මේවා බෙදී යන්නේ අතමිට සරු දෙමව්පියන්ගේ දරුවන් අතර විතරයි. අන්තිමට ඒකෙන් වෙන්නෙ අධ්‍යාපනය තුළ අද තියෙන විෂමතාවන් තවදුරටත් වැඩි වෙන එක විතරයි.

එක පැත්තකින් මෙහෙම කියන ගමන් තවත් පැත්තකින් පාසල් නඩත්තු කටයුතු තවදුරටත් දෙමව්පියන් සහ ආදි ශිෂ්‍යයින් හට, එහෙමත් නැත්තම් පාසල් සංවර්ධන කමිටු මතම පටවන ක‍්‍රියාමාර්ග කිහිපයක් ආණ්ඩුව විසින් ගනිමින් ඉන්නවා. මේ තත්ත්වය මේ කියන විෂමතාව තව දුරටත් උග‍්‍ර කරන්නටත් අතිරේක ගැටලූ රාශියකට මුලපුරන්නටත් හේතු වෙනවා නේද?

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ පාසැල් නගාසිටුවීමේ පාර්ශ්වකරුවන් සඳහා අත්පොත කියලා පොතක් මට ළඟකදී කියවන්න ලැබුනා. ඒ පොතෙන් කියවෙන්නේ ඉස්කෝලවලට දෙමව්පියන් ලබා දෙන මුදල් කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක. අද පාසැල් අධ්‍යාපනය නඩත්තු වෙන්නෙ දෙමව්පියන්ගෙන් කියලා ඒකෙන්ම පේනවා. රටේ නාගරික ග‍්‍රාමීය යන දෙකොටසේම ඉන්න දෙමව්පියන්ට දුප්පත් පොහොසත් භේදයකින් තොරව එක වගේ තම දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් සල්ලි වියදම් කරන්න පුළුවන්නම් මේ වගේ දේක ලොකු ගැටලූවක් නෑ. නමුත් ගැටලූව තියෙන්නේ ඇත්ත තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් හින්දා.

රටේ තියෙන ඉස්කෝලවලින් සියයට හතළිස් නවයකට විතර නිසි සනීපාරක්ෂක පහසුකම් සහ ජල පහසුකම් නෑ කියලා මහ බැංකුව කියනවා. ඒ අතරින් සියයට දහයත් දහ අටත් අතර ඉස්කෝල ප‍්‍රමාණයකට ඒ පහසුකම් කොහෙත්ම නෑ. වෛද්‍ය විද්‍යාව සහ ඉංජිනේරු ශිල්පය සඳහා සිසුන් යොමු කළ හැකි ඉස්කෝල තියෙන්නේ රටේ මුළු පාසල් වලින් සියයට දහයක් විතර. අද ග‍්‍රාමීය පාසල්වලින් බහුතරය වැහිලා. තවත් ඒවා වැහෙමින් යනවා. නගරබද ජනප‍්‍රිය පාසල් කිහිපයක් සඳහා විශාල තරගකාරීත්වයක් ඇතිවෙලා තියෙන්නේ අධ්‍යාපනයේ තියෙන මේ විෂමතාව නිසා.

අධ්‍යාපනය සඳහා සම්පත් බෙදී යන විදිහ නිවැරදිනම්, ඒක අසාධාරණ නැත්නම්, කවදාවත් මේ වගේ දෙයක් වෙන්නෙ නෑනෙ. ජනප‍්‍රිය පාසල්වල පළමුවෙනි වසරවලට තමන්ගේ දරුවා ඇතුල් කරන්න දෙමව්පියන් අතර මේ වගේ සටනක් ඇතිවෙලා තියෙන්නේ ඒ නිසා. ශිෂ්‍යත්ව විභාගය වගේ, හොඳ ඉස්කෝලවලට ළමයින් තෝරන විභාග සඳහා අද උග‍්‍ර සටනක් ඇතිවෙලා තියෙන්නෙත් ඒකයි. අන්තිමේට වෙන්නේ විදුහල්පති වරයාටවත් පාලනය කරන්න බැරි තරමට මේ කියන ජනප‍්‍රිය පාසල් විශාල වෙන එක. තමන්ගේ පාසලේ ඉගනගන්න සිසුන් කවුද කියන එක විදුහල්පති වරයාත් ගුරුවරුනුත් නොදන්න තරමට සිසුන් සහ ගුරුවරුන් අතර තියෙන සම්බන්ධය ඈත් වෙන එක.

මේත් එක්ක සිදුවන තවත් දෙයක් තමයි හැතැප්ම තිහ හතළිහක දුර ඉඳන් ළමයි නගරයේ පාසල්වලට ඇදිලා එන එක. ඒකට තමයි දැන් පාසල් වෑන් රථ ක‍්‍රමය ඇතිවෙලා තියෙන්නේ. තමන්ගේ දරුවාව පාසල් වෑන් රථයක යවන්න වුණත් දෙමව්පියෙක් මාසිකව විශාල මුදලක් වියදම් කරන්න ඕනෙ. ඒත් එක්කම තවත් අතිරේක ගැටලූ රාශියක් ඒ මගින් සිදුවෙනවා. නගරවල තදබදය වැඩි වෙන එකයි වායු දූෂණය වගේ දේවල් වැඩි වෙන එකයි ඒ අතර ප‍්‍රධානයිි.

මොන දේ වුණත් තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනෙ කියලා දෙමව්පියන් කල්පනා කරනවා. ඒ හින්දා තමයි මොන හෝ විදිහකින් සල්ලි හොයලා ඒ සඳහා වියදම් කරන්න ඔවුන් පෙළඹෙන්නෙ. දේශපාලන දැන හැඳුනුම්කම් ආදිය භාවිත කරමින් ළමයි හොඳ ඉස්කෝලවලට දාගන්න ඔවුන් උත්සාහ කරන්නෙත්. කුමන හෝ විදිහකින් සල්ලි වියදම් කරන්න දෙමව්පියන් පෙළඹුණා කියලා ඒ දේ පවත්වාගෙන යන එක නෙමෙයි වගකීම් සහගත ආණ්ඩුවක් කරන්න ඕනෙ. රටේ තිරසාර සංවර්ධනය සඳහා ඒ තුළින් හොඳක් වෙන්නෙත් නෑ.

මේ ව්‍යාකූල ක‍්‍රමවේදය තුළ ඉස්සරහට යන්න පුළුවන් යමක්කමක් තියෙන දෙමව්පියන්ගෙ දරුවන්ට විතරයි. ඇති නැති පරතරය නැති කරන්න බැරිනම් අධ්‍යාපනය වගේ දේවල් තුළ සමානත්වයක් ඇතිකරන්න රජයම මැදිහත් වෙන්න ඕනෙ කියලා අපි කියන්නේ මේ හින්දා. දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.86ක් අධ්‍යාපනය සඳහා වියදම් කරලා මේ දේ කරන්න බෑ.

ඇමතිවරයාගේ ප‍්‍රකාශයේ තියෙන අර්ථය, ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ඔක්කොම අසාධාරණයි. සාධාරණනම් ඒ අධ්‍යාපනය සඳහා වැයකරන මුදල වැඩි කරන්න කියන ඉල්ලීම විතරයි. ඒකත් අද වනවිට සම්පූර්ණ නිසා තමනුත් ආණ්ඩුවත් අලූතින් කිසිම දෙයක් කරන්න අවශ්‍ය නෑ කියන එකනෙ. මේ වගේ තත්ත්වයක් තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය ඉදිරියට ගෙනයන්න හැකියාවක් තියෙනවාද?

මූලික දේ තමයි, ආචාර්යවරුන්ගේ ඉල්ලීම් කියලා උසස් අධ්‍යාපන ඇමති වරයා රටට ප‍්‍රකාශ කරමින් ඉන්න ගොඩක් දේවල් වැරදියි. ඔහු වෙලාවක කියනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කියනවාලූ තමන්ගේ ළමයින්ට ශිෂ්‍යත්ව දෙකක් දෙන්න කියලා. අපි ඇමතිවරයාගෙන් අහන්නේ අපි කවද්ද කොහේදිද ඔහොම දෙයක් කියලා තියෙන්නේ කියලා. මේවා සම්පූර්ණයෙන් වැරදි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉතාමත් පැහැදිලිව සහ සරලව තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ඇමතිවරයා රටට කියන මේ බොරු ඔහු අනවබෝධයෙන් කියන ඒවා කියලා හිතන්නත් බෑ.

අද ඇමතිවරයා කරන්නේ තමන්ගේම අමාත්‍යාංශයේ සේවය කරන ආචාර්යවරු අවඥාවට ලක් කරන එක. හරිනම් ඔහු කරන්න ඕනෙ ආචාර්යවරුන් ආරක්ෂා කරන ගමන් තමනුත් ආරක්ෂා වෙන එක. ඇමතිවරයාගේ මේ ක‍්‍රියා පටිපාටිය හොඳට දන්න නිසා තමයි ආචාර්යවරු මේ අරගලයේදී ජනාධිපති ලේකම්වරයා කෙරේ වැඩි විශ්වාසයත් තිබ්බෙත්. ඇමතිවරයා එක්ක තිබුණු සාකච්ඡාවලට වඩා ඒ සාකච්ඡා සාර්ථකත් වුණා. එක පැත්තකින් ආචාර්යවරුන් ඉල්ලන හැම දෙයක්ම මහින්ද චින්තනය ඇතුළෙ තියෙන දේවල්. තවත් අතකින් මේ දේවල් කරලා රටේ අධ්‍යාපනය දියුණු කළොත් ඒ ප‍්‍රසංශාවත් ආණ්ඩුවටමයි. මොන හේතුවක් නිසා හරි ජනාධිපති ලේකම්වරයා මේ ප‍්‍රශ්නය ගැන දැක්වූ සැලකිල්ල මේ වනවිට ටික ටික අඩුවෙමින් තියෙනබව පේනවා. කොහොම වුණත් ආචාර්යවරු මේ අරගලයට එළඹුනේ ලොකු විශ්වාසයකින් හා ශක්තියකින් යුතුව. ඒ නිසා මේ අරගලය නිිසි විසඳුමක් ලැබෙනතුරු ඉදිරියට ගෙනයන්නයි අපි කල්පනා කරන්නේ.

අධ්‍යාපනය සඳහා වෙන් කරන ප‍්‍රතිපාදන දිනෙන් දින අඩු වෙද්දි ආචාර්යවරුන් කල්පනා කරන්න ගත්තා මෙහෙම වෙන්නේ ඇයි කියන එකත් ලැබෙන ප‍්‍රතිපාදන පවා යන්නෙ කොහෙටද කියන එකත් ගැන. මොකද ආණ්ඩුව කියන්නේ තමන් විශ්වවිද්‍යාල සඳහා වෙන්කරන මුදල වැඩි කළා කියලනේ. ආණ්ඩුව වියදම් කරන මුදල සමහරවිට රුපියල්වලින් ඉතා සුළු වශයෙන් වැඩි වෙන්න පුළුවන්. ඒත් මේ අවුරුදු කිහිපය තුළ රුපියලේ වටිනාකම දවසින් දවස අඩු වුණා. ඒ වගේ තත්ත්වයක රුපියල පහතවැටීමට සාපේක්ෂව මේ ප‍්‍රතිපාදන වැඩි නොවුනොත් වෙන්නෙ තිබුණාටත් වඩා ප‍්‍රශ්නය උග‍්‍ර වන එක. අනික් කරුණ තමයි මේ කාලය තුළ විශ්වවිද්‍යාලවලට බඳවාගත් සිසුන් ප‍්‍රමාණය අවුරුද්දෙන් අවුරුද්දට විශාලවශයෙන් වැඩි වී තිබීම. මේත් එක්ක ඉතා පැහැදිලිව දකින්න තියෙන කරුණක් තමයි, එක් ශිෂ්‍යයෙක්ගේ අධ්‍යාපනය සඳහා ආණ්ඩුව වැය කරන මුදල හැම අවුරුද්දකම ශීඝ‍්‍රයෙන් පහත වැටෙමින් තිබීම.

ආචාර්යවරයෙක්ට ලැබෙන වැටුප පාසල් ගුරුවරයෙක්ට හරි තවත් සමහර රජයේ සේවකයෙක්ට හරි ලැබෙන වැටුපට වඩා වැඩි වෙන්න පුළුවන්. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ මේ විදිහට ගියොත් ගුණාත්මක අතින් ඉහළ ගුරුවරයෙක් බඳවාගන්නවත් ඒ වගේ කෙනෙක් රඳවාගන්නවත් බැරි වෙන එක. මොකද මේ අය ඊට සාපේක්ෂව ඉතාම විශාල වැටුපක් හම්බවෙන ලංකාවේම පෞද්ගලික ආයතනයකට හරි එහෙමත් නැතිනම් මහ බැංකුව වගේ ආයතනයකට හරි විදේශ රැුකියාවකට හරි යන්න පෙළඹෙන නිසා. පාසල් ගුරුවරුන්ගේ තත්ත්වයත් ඕකයි. තමන්ට ලැබෙන පඩිය ජීවත් වෙන්න මදිවෙද්දි ඒ අය ගොඩක් වෙලාවට කරන්නේ අමතර පංති පවත්වන එක. මේත් එක්ක තමන්ගේ දැනුම දියුණු කර ගන්නත්, පහුවදා කරන්න තියෙන පාඩම් සඳහා ලැහැත්ති වෙන්නත් ගුරුවරයාට තියෙන කාලය අහිමි වෙනවා විතරක් නෙමෙයි ඔහුගේ එදිනෙදා ජීවිතයත් වෙහෙසකාරී වෙනවා. අන්තිමට වෙන්නෙ ඔහුට පාසැලට ගිහින් නිවැරදි විදිහට උගන්නන්න පවා නොහැකි වන එක.

අනික තමයි, අධ්‍යාපනය සම්පූර්ණවශයෙන් ටියුෂනී කරණය වීමත් එක්ක පරිපූර්ණ ශිෂ්‍යයෙක් හැටියට දියුණුවෙන්න ශිෂ්‍යයාට තියෙන අවස්ථාත් අහිමි වෙනවා. මොකද මේ විදිහට අහිමිවන්නේ ඔහුට පොතපත කියවා, ලෝකය විමර්ෂණය කරමින්, හිතා මතා ස්ව්‍යංඅධ්‍යනය මගින් දැනුම ගොඩනගාගන්න තියෙන අවස්ථාවන්. ඒ විතරක් නෙමෙයි ශාරීරික සෞඛ්‍ය යහපත් ලෙස නඩත්තු කර ගනිමින් ක‍්‍රීීඩාශීලීව ගතකරන්න ඔහුට අවස්ථාවක් ශිෂ්‍යයින්ට නැති වෙනවා.

සමස්ත අධ්‍යාපනය තුළ තියෙන මේ අවුල සුළුවෙන් හරි ලිහාගන්න අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරණත් යම්තාක් දුරට වැදගත් වෙනවා නේද?

ඒකත් වැදගත් දෙයක් තමයි. ඒත් ඒ ඔක්කොටම කලින් කරන්න ඕනෙ අධ්‍යාපනය තුළ අවුලක් තියෙනවා කියලා පිළිගන්න එක.

විශේෂයෙන් මූලික අධ්‍යාපනයේ පරමාර්ථය වෙන්න ඕනෙ හොඳින් ලෝකය දකින දක්ෂ පුරවැසියන් ගොඩ නගන එක. එහෙම නැතිව වෛද්‍ය වරයෙක්වත් ඉංජිනේරුවෙක්වත් ගොඩනගන එක නෙමෙයි. ඉතින් ඒ අධ්‍යාපනයේදී ඉගනගන්න ඕනෙත් ලෝකයේ ඕනෑම දෙයක් දිහා පුළුල් විදිහට බලන්න පුළුවන් මූලික දේවල්. ඒ අතර වැදගත් වෙන්නේ මූලික විද්‍යාව, මූලික ගණිතය, තොරතුරු තාක්ෂණය, කළමනාකරණය, සංවිධාන කරණය, මූලික නීතිය, ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යාව, ආගම, කලාව, සංස්කෘතිය, ලලිතකලා වගේ දේවල මූලික පදනම්. ඒත් අද අපි උගන්නන්නේ මොනවාද.

නවය වසර ශිෂ්‍යකුගෙ පොතක් ඇරන් බැලූවොත් පෙනෙයි ඔහු ඉගනගන්නේ මං කියූ දේවල් නෙවෙයි, පටක විද්‍යාව වගේ දේවල් කියලා. මේ ළමයින්ගෙන් උසස්පෙළ විද්‍යා විෂයන් තෝරගන්නෙත්, විද්‍යා විෂයන් පදනම් කරගත් විශ්වවිද්‍යාල පීඨයකට යන්න පුළුවන් වෙන්නෙත් කීයෙන් කීදෙනෙකුටද? අනික් ඔක්කොම එක්කෝ බැංකු රස්සාවලට, තොරතුරු තාක්ෂණ රක්ෂාවලට ආර්ථික කළමනාකරණය, ව්‍යාපාරික ක්ෂේත‍්‍රය වගේ නොයෙක් පැතිවලට යනවා. ඉතින් පටකවිද්‍යාව පිළිබඳ ඉගනගත්තු දේවල් විතරක් නෙමෙයි ඒවා ඉගනගන්න ඒ ළමයි යොදවපු කාලය ශ‍්‍රමය සහ මුදල් නිකරුණේ අපතේ යන එකයි වෙන්නේ. යමෙක්ට පටක විද්‍යාව ඉගනගන්න ඕනෙනම් ඒක විශ්වවිද්‍යාල තුළින් ද්විතීය අධ්‍යාපනයේදී ඉගනගන්න පුළුවන්. ඒ හැරෙන්ඩ මූලික අධ්‍යාපනයේදී ඒ වගේ දේවල් උගන්නන්න ඕනෙ නෑ.

සමාජය ඵලදායී, තිරසාර සංවර්ධනයක් කරා ගෙනියනවානම් ඒක පටන්ගන්න ඕනෙ මූලික අධ්‍යාපනය තුළින්මයි. ඒ නිසා මූලික අධ්‍යාපනය හදන එක ඉතාම වැදගත්. විෂයමාලා පිළිබඳ ආපසු සිතාබැලීම එතනදි ඉතා වැදගත් පියවරක් තමයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරයකු විදිහට ඔබ සේවය කරන්නේ ලංකාවේ එකම දන්ත වෛද්‍ය පීඨය තුළනෙ. මේ වගේ සුවිශේෂී තැනක තිබිය හැකි ගැටලූ ඉතාමත් අවම වෙන්න ඕනෙ කියලා තමයි අපිට සාමාන්‍යයෙන් හිතෙන්නෙ. අඩුම ගණනේ භෞතික හා මානව සම්පත් පිළිබඳවවත් සෑහීමකට පත්වෙන්න පුළුවන් පසුබිමක් තියෙයි කියලා කල්පනා කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පෙන්වාදෙන ගැටලූ ඔබේ පීඨයට බලපාන්නෙ කොහොමද?

ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පෙන්වාදෙන සියලූම ගැටලූ මේ පීඨයටත් ඒ විදිහටම බලපානවා. ඒ විතරක් නෙමෙයි, සමහර වෙලාවට ඒ ගැටලූවලින් ඇතැම් ඒවා අනෙක් පීඨවලටත් වඩා තදින් බලපාලා තියෙනවා. හොඳම උදාහරණය තමයි අවශ්‍ය තරම් ආචාර්යවරුන් නැතිකම. වෙන එකක් ඕනෙ නෑ, මගේ අධ්‍යයන අංශයේ ආචාර්යවරුන් පස් දෙනෙක් කලින් හිටියා. ඒත් දැන් ඉන්නේ දෙන්නයි. අනික් අය රට ගියාට පස්සේ ආපහු ලංකාවට ආවෙ නෑ. ඉතිං අපේ දෙපාර්තමේන්තුවෙන් ඉගනගන්න ඉතා විශාල ශිෂ්‍යයින් සංඛ්‍යාවකට අද උගන්නන්න වෙලා තියෙන්නේ අපි දෙන්නෙක්ට විතරයි. අනෙක් අංශවල තත්ත්වයත් ඔය වගේ තමයි.

දන්තවෛද්‍ය පීඨයේ ඉන්න බොහෝමයක් ආචාර්යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයට බැඳිලා සේවය කරන්න පෙළඹෙනවා. මොකද ඒ යටතේ ඔවුන්ට ලැබෙන වරප‍්‍රසාද හොඳයි. ඒ අයට තමන් විසින් මෙහෙයවන ඒකකයක විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට ඉන්න පුළුවන්. ඊටත් අමතරව පෞද්ගලික සායනයන් පවත්වලා තවත් අතිරේක මුදලක් උපයන්නත් පුළුවන්. ඒ නිසා පළපුරුදු අය විශ්වවිද්‍යාල සේවයට එන්නෙත් නෑ. ආවත් ඉන්නෙත් නෑ. මගේ දෙපාර්තමේන්තුවේ තියෙන ප‍්‍රශ්නය සඳහා අපි ආචාර්යවරයෙක් බඳවාගන්න පහුගියදා උත්සාහ කළා. ඒත් ඒකට ඉල්ලූම් කරලා තිබුණේ එකම එක අයදුම්කරුවෙක් විතරයි. ඒ අයදුම්කරුවාටත් ඒ සඳහා අවශ්‍ය අවම සුදුසුකම්වත් තිබුණෙ නෑ. ඉතින් අපි ඒ නිසා ඔහු බඳවාගත්තෙත් නෑ. විශේෂයෙන් පේරාදෙණිය වගේ විශ්වවිද්‍යාලයක, ලංකාවේ එකම දන්ත වෛද්‍යපීඨයට ආචාර්යවරයෙක් බඳවාගන්න බැරිනම් අනික් ඒවා ගැන කතා කරන එකත් තේරුමක් නෑ.

No comments: