Saturday, July 14, 2012

උසස් අධ්‍යාපන ගැටලු සොයන්න ජනපති කොමිසමක්

Dinamina, 14/07/2012


සමන්මලී ප්‍රියශාන්ති
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසන් සභාවක් පත් කිරිමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා සිය ප්‍රධානත්වයෙන් පෙ‍රේදා පැවැති හමුවේදී කමිටු සාමාජිකයන් අමතා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මේ බව අනාවරණය කර තිබේ.
මෙම කොමිසන් සභාව කඩිනමින් පත් කර විශ්වවිද්‍යාලවල පවත්නා ගැටලු පිළිබදව සොයා බලන බවද ලේකම්වරයා ආචාර්යවරුන්ට දන්වා තිබේ.
තම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීම මිත්‍රශීලි හා සුහද ප්‍රවේශයක් ගත් බවත් මේ නිසා ම ගැටලු විසදා ගැනීමට තමන්ට හැකියාව ලැබෙනු ඇති බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය ටෙරන්ස් මදුජිත් දිනමිණ ට පැවසීය.
මෙම කොමිසම මඟින් ආචාර්යවරුන්ගේ ගැටලු විසඳීමට කාලයක් ගත වන බැවින් එම ගැටලු විසඳීමට කෙටිකාලීන පියවරක් ගන්නැයි මෙහිදි ආචාර්යවරුන් ඉල්ලීමක් කර ඇත.
‍මින් පෙර ආචාර්යවරුන් ලේකම්වරයාට ලබා දී ඇති යෝජනාමාලාව සම්බන්ධයෙන් තව දුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බවද ඒ සඳහා තවත් දින කිහිපයක් අවශ්‍ය බවද ලේකම්වරයා ආචාර්යවරුන්ට දන්වා ඇත.
මෙම සාකච්ඡාවට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ උප සභාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.
වැටුප් වැඩි කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ දිනවල ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල කටයුතු සම්පුර්ණයෙන් නතර වී තිබේ.
කමිටුව ලබන සතියේ දී යළි රැස්වීමට නියමිතය.

No comments: