Saturday, January 14, 2012

ඔය කියන කන්‍යා ටෙස්‌ට්‌ ගැන මම දන්නෙ නෑ! - ජයවර්ධනපුර සරසවියේ උපකුලපති ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න

Divaina, 15/01/2012

සමස්‌ත විශ්වවිද්‍යාලයන්හි පවතින අර්බුද උද්ඝෝෂණයන්හි උච්චතම මොහොත සටහන් කළේ පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විරු සිසු සමරුව පුපුරුවා හැරීමත් සමගම උපකුලපතිවරයාට එරෙහිව ඇරඹි උද්ඝෝෂණ හා සත්‍යග්‍රහයයි.

උපකුලපතිවරයා හිටපු කුලපතිවරයකු නෙරපා හැරීමේ කටයුත්තක ප්‍රමුඛයකු වුවද, මේ මොහොතේ එම අත්දැකීමටම ඔහුට මුහුණපාන්නට සිදුව ඇත්තේ දෛවෝපගත ලෙසය. එමෙන්ම ඊටත් වඩා දරුණු ලෙසය. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපකුලපති ආචාර්ය එන්. එල් ඒ. කරුණාරත්න සමග මේ උණුසුම් සංවාදය ඒ සියලු තැන් ලිහාගන්නට ගත් වෑයමේදීය.

ප්‍රශ්නය - මුලින්ම කියන්න, ඔබ කියන විදිහට, ඔබ "සෝවාන් ඵලයට" පත් වූ කෙනෙක්‌ බවයි අපිට ආරංචි. ඒක ඇත්තද? අපි මේ අර්බුදය ඒ ඇසින් දකින්න කැමැතියි.

පිළිතුර (සිනාසෙමින්)....... මම බොහෝම ආදරයෙන්, ගෞරවයෙන් ඉල්ලනවා විශ්වවිද්‍යාල ප්‍රශ්න එක්‌ක, බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ ඒ උසස්‌ දේවල් එක්‌ක ගාව ගන්න එපා කියලා. මම එහෙම තත්ත්වයකට පත් වුණු කෙනෙක්‌ කියලා මම දන්නෙත් නෑ. නමුත් බුදු හාමුදුරුවන් කෙරෙහි මගේ තිබුණු ශ්‍රද්ධාව එන්න එන්නම වැඩි වෙන බව නම් මම දන්නවා. එපමණයි මට කියන්න පුළුවන්.

ප්‍රශ්නය - මීට ටික කාලයකට පෙර මේ රටේ ජනතාව, මාධ්‍ය ඔබ හඳුනාගත්තේ හිටපු උපකුලපති එපිටවත්ත නෙරපා හරින්න සුමංගල ශාලාව ඉදිරියේ වාඩි වී සිටි රැවුල වැවූ ආචාර්යවරයකු ලෙසයි. අද වෙනකොට ඔබ ඔය කියන ධර්මානුකූල ජීවිතයට අනුව "දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය" ඵල දීමක්‌ද මේ සිද්ධ වෙන්නේ.

පිළිතුර - එදා සහ අද තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්‌. එදා තත්ත්වය අද නෑ. ආචාර්යවරු, සේවකයෝ, ශිෂ්‍යයෝ මේ සියලු දෙනා ඉතාමත් භයානක ආකාරයේ වද වේදනාවන්ට පාත්‍ර වුණා. මම එකල අපේ ආචාර්ය සංගමයේ සභාපති. මට සිද්ධ වුණා. අපේ ආචාර්යවරු විශාල සංඛ්‍යාවක්‌ වෛද්‍යවරු ළඟට රැගෙන යන්න. හේතුව ඔවුන්ට එල්ල කර තිබුණු බොරු චෝදනා නිසා ඔවුන් කම්පනයට පත් වෙලා සිටියා. සමහරුන්ට නින්ද යන්නෙ නෑ. මගේ කාලයේදී මම පංති තහනමක්‌ පැනවූයේ දැඩි ලෙස විනය විරෝධී කටයුත්තක්‌ කළොත් පමණයි.

ප්‍රශ්නය - කෙසේ හෝ ඔබ උපකුලපති පුටුවේ ඉඳගත්තා. අපි අහන්නේ එපිටවත්ත මහතා මුහුණ දුන් අත්දැකීම්මද ඔබ මේ මොහොතේ මුහුණ දෙන්නේ.

පිළිතුර - කිසිසේත්ම නෑ. මම පසුගියදා විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයට කළා. ඊළඟට ආචාර්ය මණ්‌ඩලයට කතා කළා.

හැකි සෑම කෙනෙකුටම මම කතා කළා. අපි කිසිවෙකුගෙන් පළිගන්නේ නෑ. විශ්වවිද්‍යාලයක පවතින මූලිකම දේ තමයි නිදහස. ඒ නිදහස නැති වූ පසු විශ්වවිද්‍යාල පවතින්නේ නෑ. අපිට කිසිවෙකු හෝ මර්දනය කරන්න බලාපොරොත්තුවක්‌ නෑ. මගේ කාලයේ තමයි වැඩිපුරම මහාචාර්යවරු සංඛ්‍යාවක්‌ බිහි වුණේ.

ප්‍රශ්නය - සමහර ආචාර්යවරුන්ගේ නොසුදුසුකම් මතම "මහාචාර්ය" පදවි ලැබිලා තියෙන්නෙත් ඔබතුමාගේ කාලයේ.

පිළිතුර - කිසිම කෙනෙකුට එහෙම දෙන්න බෑ. හේතුව මේක උපකුලපති දෙන නිර්දේශයක්‌ නෙමෙයි. නමුත් කාට හරි ඕන නම් කැපිල්ලක්‌ කෙටිල්ලක්‌ දාන්න ඒකටත් කටයුතු කළ හැකියි. යමකුගේ විමර්ශන ලිපි ලේඛන අපි යවන්නේ පිටස්‌තර අයෙකුටයි. එතකොට හිතන්න අපි ඒවා අදාළ පුද්ගලයාගේ තරහාකාරයෙකුට යෑව්වා කියලා. එතකොට ඒ මහාචාර්ය පදවිය ලැබෙයිද? කිසිසේත්ම නෑ. අපි හිතාමතාවත් එහෙම කරන්නේ නෑ. අපි කරන දේ බොහොම විනිවිදයි.

ප්‍රශ්නය - නමුත් මහාචාර්ය මයුර සමරකෝන් සම්බන්ධයෙන් පැහැදිළිවම එහෙම චෝදනාවක්‌ එල්ලවෙලා තියෙනවා. ඔහු ඔබේ කිට්‌ටු හිතෛෂිවන්තයෙක්‌.

පිළිතුර - කවුරුත් මගේ හිතවත්තු. මම බුදු හාමුදුරුවන්ගේ ධර්මය පිළිපදින කෙනෙක්‌. මම කාටවත් වෛර කරන්නේ නෑ.

ප්‍රශ්නය - නමුත් අපිට දැනගන්න ලැබුණා ඔහුට මහාචාර්ය පදවිය හිමිවීම ගැන ඔබ දැන් පශ්චාත්තාප වෙනවා කියලා.

පිළිතුර - නෑ. මම පසුතැවෙන්න කිසි දෙයක්‌ කරලා නෑ.

ප්‍රශ්නය - එපිටවත්ත මහතා උපකුලපති ධුරයේ සිටියදී සිසු අරගල අර්බුද ඝාතන සිද්ධ වුණා. ඊට පසුව උපකුලපතිවරුන් ලෙස චන්දිම විජයබණ්‌ඩාර හා නාරද වර්ණසූරිය මහත්වරු කටයුතු කළා නමුත් නැවත මේ අර්බුද පැන නැගුණේ, ජ, පුර වල් වදින්නේ ඔබේ කාලයේ කියන කාරණයට ඔබ එකඟ ද?

පිළිතුර - කිසිසේත්ම නෑ, මම ඒකට එකඟ නෑ. චන්දිම විජය බණ්‌ඩාර මහතාගේ වසර එකහමාරක ධුර කාලයේදී සිසුවෙක්‌ ඝාතනය වෙනවා. නාරද වර්ණසූරිය සම්පූර්ණ ධුර කාලය නොඉඳ මාස තුනකින් ඉල්ලා අස්‌වුණා. මේ විශ්වවිද්‍යාලයේ වයස අවුරුදු 52 යි. උපකුලපතිවරයෙක්‌ගේ ධුර කාලය වසර තුනයි. එතකොට මේ වයසට ඉන්න ඕන උපකුලපතිවරු සංඛ්‍යාව 17 යි. නමුත් මේ වෙනකොට උපකුලපතිවරු තිස්‌ ගණනකට කිට්‌ටුයි. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් පවා හිටියේ මාස තුනයි.

ඉතිහාසයේ පළමු වතාවටයි උපකුලපතිවරයෙක්‌ දෙවන වතාවටත් මේ විශ්වවිද්‍යාලයට ආවේ. කවුරුත් එහෙම ඉන්නේ නෑ. මොකද මේක ඒ තරම් භයානක තැනක්‌ විදිහටයි හැඳින්වෙන්නේ. අපි මේ විශ්වවිද්‍යාලයේ සංවර්ධනය වගේම විනය වර්ධනය කරන්න කටයුතු කළා. මේ තුළ දැන් නවක වධය නෑ.

අලුත් ළමයි ඇවිත් විශ්වවිද්‍යාල පටන් අරන් දැන් සති දහයයි. මේ අය දැන් කරන්නේ වෙන වෙන දේශපාලන වැඩ. නවක වධය දෙන්නේ නෑ. මම ආවාට පස්‌සේ අර්බුද පටන් ගත්තේ නෑ. අවුරුදු ගාණක්‌ තිබ්බ අර්බුද මම අවසන් කළා.

නිකමට බලන්න කොපමණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමාණයක්‌ අධ්‍යාපන කටයුතු අත් හරිනවාද කියලා. ඒවා නැවත හරි මාර්ගයට ගැනීම වරදක්‌ද? අපි විශ්වවිද්‍යාලයට යන කාලයේ පුස්‌තකාලයේ පෝලිම බොහෝ දිගයි. පොත් අරගෙන යන්නත්, භාර දෙන්නත් විශාල පෝලිමක්‌ ඉන්නවා. අද තත්ත්වය එහෙමද?

ප්‍රශ්නය - නමුත්, ඔබ මේ විශ්වවිද්‍යාලයේ උපකුලපති වූ පසු බරපතල මර්දනයක්‌ දියත් කරන බවයි කියන්නේ. ඔබට ඔබේ බිරිඳ පවා මුණගැහෙන්නේ මේ විශ්වවිද්‍යාලයේ දී, ප්‍රේම සම්බන්ධයකින් වුණත්, සිසුවෙකුට සිසුවියකට කතාබහ කරමින් සිටින්න බැරි තරමට....

පිළිතුර - (ප්‍රශ්නය අසා නිමවීමට පෙර පිළිතුර ආරම්භ කරයි) අමු බොරුනේ.... අමු බොරුවක්‌... මගේ රාජකාරිය ඒවා නොවෙයි....

ප්‍රශ්නය - ඒත් එහෙම චෝදනාවක්‌ තියෙනවා... රෑට ඇවිත් "ටෝච්" ගහමින් සිසු සිසුවියන්....

පිළිතුර - මම ටෝච් ගහලත් නෑ... ඔය කියන වැඩ එකක්‌වත් කරලත් නෑ.... ඔබ දෙපළ දැන්වත් තේරුම්ගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විනය හසුරුවන්න ගියාම වෙන දේවල්.... පැහැදිලිව කිව්වොත් ඉතාම දරුණු විදිහට පාතාල පුහුණුව ලැබුණු කොටසක්‌ තමයි මේ විශ්වවිද්‍යාලය මෙහෙයවන්නේ. මම නිතරම කියන්නේ විශ්වවිද්‍යාලයේ දරුවන්ගෙන් සියයට අනූනවයයි දශම පහක්‌ම හොඳයි. සියයට දශම පහක්‌ ඉන්නවා කිරි කලේ ගොම බිංදුව වගේ. මේ කණ්‌ඩායමට ඕන, ඕන විදියට තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. මේ අය කිසිම දෙයක්‌ කරන්න අපෙන් අවසර ගන්නේ නෑ, සතියේ දවස්‌ වලමයි වර්ජන පවා කරන්නේ.

ඇහුවොත් කියන්නේ ආණ්‌ඩුවට දන්නන්න ඕන කියලයි. දැන් මේ කරන උද්ඝෝෂණ - අර්බුද වලින් ආණ්‌ඩුවට දැනෙනවද, එයාලටමයි පාඩු. විශ්වවිද්‍යාලය දවසක්‌ වැහුවොත් රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ පාඩුයි. මේ ශිෂ්‍ය සංගම් කාණ්‌ඩ කියන්නේ පහසුකම් අවශ්‍ය නෑ කියලයි. මේ පහසුකම් දුන්නොත් එයාලට කතාකරන්න දෙයක්‌ නැති නිසයි එහෙම කියන්නේ. කාල් මාක්‌ස්‌ගේ දර්ශනය අද ඒ රටවලවත් පිළිගන්නේ නෑ·

ප්‍රශ්නය - ඔබට තියෙනවා චෝදනාවක්‌, සිසුවියන්ගේ කන්‍යාභාවය පරීක්‍ෂා කිරීම ගැන. අත්දැකීම් ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ගෙන් එවැන්නක්‌ බලාපොරොත්තු විය නොහැකියි. මේ අර්බුදය පටන්ගන්නෙත් එතැනින්....

පිළිතුර - ඒකනේ මම කිව්වේ... මේ විශ්වවිද්‍යාලයේ වයස හා උපකුලපතිවරු ප්‍රමාණය ගැන. ඒ අය හිටියේ නෑ.... මොකද මේ වගේ චෝදනා දරන්න බෑ· ඔය "කන්‍යා ටෙස්‌ට්‌" පවා අමූලික බොරු... බුදු හාමුදුරුවන්ගේ මස්‌සිනා දෙව්දත් පවා උන්වහන්සේට කළ දේවල් එක්‌ක ගත්තම, මේ අය උගත්... ආචාර්ය මණ්‌ඩලයේ පවා සමහර එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ දෙව්දත්ලා වීම පුදුමයක්‌ නොවෙයි.

ප්‍රශ්නය - ඔබ විසින් සිසුන් කිහිප දෙනෙක්‌ කතාකරමින් සිටියදී "අයුතු ජනරාශීය" ක්‌ ලෙස උසාවියට ඉදිරිපත් කළ පසු, චෝදනාව ඔප්පු කළ නොහැකිව, එම විනිසුරුවරයා විසින් "එහෙමනම් මේ ළමයින්ට පුරුෂ ලිංගය ඇති නිසා අනාගතයේ වැරදි කරන්න හැකි යෑයි" චෝදනා කරන්ඩ පුළුවන් නේදැයි විමසමින් ඔබට අවවාද කළ බව කියනවා.... මේ චෝදනාවත් බොරුද?

පිළිතුර - ඕක වෙබ් අඩවියක ගිය කතාවක්‌නේ.... ඒගොල්ලෝ හිතනවද පිළිගත් විනිසුරුවරයෙක්‌ එවැනි පිස්‌සු ආකාරයට කතාකරයි කියලා. ඒකම මට ඇති අපහාස නඩුවක්‌ දාන්න. ලොකු වන්දියක්‌ ගන්න පුළුවන්. මොකද එය කිසිසේත්ම උසාවියක භාවිත කරන භාෂාවක්‌ නොවෙයි. මම නඩු ගියානම් ඒ අහිංසක විනිසුරු තුමාටත් මහා ප්‍රශ්නයක්‌ වෙනවනේ....

දරුවෙක්‌ ඉගෙන ගන්න කොට විනය කියන එක ඉතාම වැදගත් කාරණයක්‌. දැන් මේ අය ඇවිත් "වරෙල්ලා යන්න වටරවුමට" කියනකොට ඔක්‌කොම යන්න ඕන. මේ අයගේ සංඛ්‍යාව සියයට දශම පහයි.

පහුගිය දා ඔයගොල්ලෝ දකින්න ඇති අපි පිටවෙන්න කිව්වම විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටිය පිරිස 250 ටත් අඩුයි. විශ්වවිද්‍යාලය තුළ සිසු සිසුවියන් දොලොස්‌දහසක්‌ පමණ සිටිනවා. ඔය ගෑනු ළමයින්ව තියාගන්න ක්‍රම සහ විධි තියෙනවා. එයාලාට යන්න බෑ මේගොල්ලෝ දාලා. මම කැමැති නෑ ඒ කණ්‌ඩායම කරලා තියෙන වැඩ එහෙමම කියන්න. ඔය කන්‍යා ටෙස්‌ට්‌ ගැන මම දන්නෙ නෑ·

ප්‍රශ්නය - අපි ඇහුවා ඔබට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ කල්ලියක්‌ තියෙනවද කියලා... ඔබ නෑ කිව්වා!

පිළිතුර - අවංකව... එහෙම නෑ!

ප්‍රශ්නය - දරුවන්ගේ සුබසාධන කටයුතු වැඩි කරලා තියෙනවා කිව්වා· ඔබ තුමා ඉවසීම ප්‍රගුණ කරලා තියෙනවා කිව්වා.... ඉතිං එහෙම තියෙද්දීත් අද වෙනකොට විශ්වවිද්‍යාලය වහලනේ.

පිළිතුර - ඔය ඕගොල්ලෝ දකින ආකාරය. මේ බලන්න ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක වල්පොල පියනන්ද හාමුදුරුවෝ එවලා තියෙන ඊ මේල් එක (පිටපත් කීපයක්‌ බෙදා දෙයි) මේකේ තියෙනවා මේ කණ්‌ඩායම ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ වෙන ආකාරය.....

මේ විශ්වවිද්‍යාලයේ ඉන්න ශිෂ්‍ය නායකයන් මෙහෙයවන්නේ බාහිර බලවේග....

සම්පූර්ණයෙන්ම බෞද්ධ සංස්‌කෘතිය රකින්නයි මේ විශ්වවිද්‍යාල ඇති කළේ. මම පළවෙනි වතාවට විග්‍රහයක්‌ ගේනවා මේ අපි කරන්නේ බෞද්ධ වැඩද නැද්ද කියලා. ඕක ඉදිරියේ මේ කණ්‌ඩායමේ දාර්ශනික පසුබිම, දේශපාලනික පසුබිම - ඒ අදහස්‌ උදහස්‌වල තිබෙන නිරර්ථක බව හෙළිදරවු වෙනවා. බුදු දහමේ නිර්වාණ අවබෝධයට යන මාර්ගය හරියට කියලා තියෙනවා. බුදු දහමේ සංක්‍ෂිප්තයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම කියන තුනයි. ඒක හරියට අවබෝධ කරගත්තම නිර්වාණය අවබෝධ වෙනවා. මේක සම්පූර්ණ කරගන්න කුසල් කළ යුතුයි. ලෝබ, ද්වේශ, මෝහය නැති සිතුවිලි වලින් ක්‍රියාකළ යුතුයි. ඒ බුදු දහම.... අපි ගත්තොත් මාක්‌ස්‌ දහම... කාල් මාක්‌ස්‌ට 84,000 ක්‌ ධර්මස්‌කන්ධ නෑ හැබැයි මාක්‌ස්‌ වාදයේ තිබෙනවා සිය ගණනක්‌ කරුණු කාරණා. ඒකත් මම කරුණු තුනකට සංක්‍ෂිප්ත කරනවා. ඒ තමයි "පංති සටන", ආයුධ සන්නද්ධ අරගලය. "නිර්දන පංති ආඥදායකත්වය. මේ තුනේම තිබෙන්නේ කුසල් ද? අකුසල් ද?.... අකුසල් ඒ කියන්නේ ලෝබය - ද්වේශය - මෝහය.... එකකොට මාක්‌ස්‌ දහම කියන්නේ කුසල් කරන ආගමක්‌ද, අකුසල් කරන ආගමක්‌ද? අකුසල් කරන ආගමක්‌... එතකොට මට කියන්න බෞද්ධ සංස්‌කෘතිය ඇතිකරන්න ආරම්භ කරපු විශ්වවිද්‍යාලයේ... මාක්‌ස්‌වාදයට හාමුදුරුවරු එනවා කියන්නේ අති විශාල අකුසලයක්‌ නෙ. අද වෙනකොට බොහෝ හාමුදුරුවරු එතැන නෑ! ඒත් මුල් කාලයේ ඊට වඩා ඉඳලා කියෙනවා. 71' කැරැල්ල වෙනකොට එය මෙහෙයවන්න හාමුදුරුවරු එනවා.... 71 කැරැල්ලට අණ දෙන්නේ සංඝාවාසයේ ඉඳලා

ප්‍රශ්නය - දැන් ඔබ කියන්නේ... ඔබතුමාගේ කාලයේ ප්‍රශ්න ඇතිවුණේ එළියේ හිටපු මාක්‌ස්‌වාදී කල්ලි ඇතුළට බලපෑම් කරලා ඒ මාක්‌ස්‌වාදී "සුළු ශිෂ්‍ය ප්‍රජාව" කළ කලබැගෑනිය නිසා කියලද?

පිළිතුර - ඒක හරි.... ඒ කණ්‌ඩායම තමයි මේකට මැදිහත් වෙලා මේ අර්බුදය ඇති කළේ.

ප්‍රශ්නය - මේ දේශපාලන ප්‍රවාහය කවුද?

පිළිතුර - මාක්‌ස්‌වාදය කිව්වම ලංකාවේ බොහෝ දේශපාලන කණ්‌ඩායම් ඉන්නවා....

ප්‍රශ්නය - සමසමාජයත් මාක්‌ස්‌වාදී පක්‍ෂයක්‌ හැබැයි ඒ අය.....

පිළිතුර - (ප්‍රශ්නය අසා නිම වීමට පෙර පිළිතුර ලබාදේ).... ඒක තමයි මම කියන්නේ... මාක්‌ස්‌ ආගම අදහන ඕන කෙනෙකුට මම මේ කියන්නේ. බුද්ධාගම ගත්තම රටේ කොච්චර ඉන්නවද බෞද්ධයෝ... (සිනහවේ) මොන ක්‍රමයකින් ආවත් මාක්‌ස්‌ දහම මට පව්කාර ආගමක්‌... දැන් ළමයි මේ කාරණයට සංවේදී නෑ. ඒ අය එතැනින් ඈත් වෙලයි ඉන්නේ. නමුත් "අර කණ්‌ඩායමට" ඒක දරන්න බෑ!

ප්‍රශ්නය - මේකට හේතු වෙලා නැද්ද ඔබේ රාජපක්‍ෂවාදය.....

පිළිතුර - මතක තියාගන්න මහත්වරුනේ ඕනෑ කෙනෙකුට ඕනෑ චෝදනාවක්‌ කරන්න පුළුවන්... මම රාජපක්‍ෂවාදියෙක්‌ නොවෙයි... ඕනෑම රාජ්‍ය ආයතනයක ප්‍රධානියාට කරන්න වෙන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. මට පුළුවන්ද එතැනින් පිට පැනලා "මාක්‌ස්‌වාදය" ක්‍රියාත්මක කරන්න... මේ වෙනකොට රාජ්‍ය ප්‍රතිපත්ති මොනවද... "මහින්ද චින්තනය", ඊළඟට "මහින්ද චින්තනයේ ඉදිරි දැක්‌ම" ඒවායේ තිබෙන සංකල්ප වල උසස්‌ අධ්‍යාපනයට අදාළ කොටස්‌ මම ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය - රාජපක්‍ෂ වාදී කියන එකෙන් අපි ඊට වඩා වැඩි යමක්‌ අපේක්‍ෂා කරනවා. නාමල් රාජපක්‍ෂ ශාස්‌ත්‍රපති උපාධිය සඳහා මේ විශ්වවිද්‍යාලයට එනවා... අපරාධ විද්‍යාවයි ඔහුගේ විෂය පථය. ඔබ බලෙන්ම ඔහුගේ උපදේශකවරයා හැටියට කටයුතු කිරීම භාරගන්නවා.. නමුත් ඔබට තිබෙන්නේ භූගෝල විද්‍යාව පිළිබඳ උපාධියක්‌... ඒ එක චෝදනාවක්‌... ඒ අර්ථයෙනුයි අපි කියන්නේ ඔබ රාජපක්‍ෂවාදියෙක්‌ කියලා.

පිළිතුර - මේ කාරණය හොඳින් අවබෝධ කරගන්න. උසස්‌ විභාග සඳහා උපදෙස්‌ දෙනවා කියන එක... ලෙහෙසි පහසු නෑ.... ඒ අයගේ අවශ්‍යතාව ජාත්‍යන්තර අත්දැකීම් තියෙන අයයි. මම එංගලන්තයේ අවුරුදු හතක්‌, කැනඩාවේ අවුරුදු 2 1/2 ක්‌ විසිටින් ප්‍රොෙµසර් කෙනෙක්‌... එංගලන්තයේ පී.එච්.ඩී. එක කළා. දැන් මේ රටේ නායකයාගේ පුතා මෙයා එන්නෙත් එංගලන්තයේ ඉගෙන ගෙන... ජීවිතයට මේ රටෙන් එළියට නොගිය, සිංහල විතරක්‌ කතා කරන ලියන ආචාර්යවරයෙක්‌ නාමල් රාජපක්‍ෂව "සුපර්වයිස්‌" කරන්න ගියොත් මොකද වෙන්නේ... මෙන්න මේ විශ්වවිද්‍යාලයේ තත්ත්වය, කෙරුවාව, ආචාර්යවරුන්ගේ තත්ත්වය කියයි.

ප්‍රශ්නය - සමාජ විද්‍යා පීඨයේ ඒ සුදුසුකම් තියෙන ආචාර්යවරු ඉන්නවනේ...

පිළිතුර - නෑ.. නෑ... නෑ.... නමුත් ඒ ලෙවල් එකේ අයට ඕන ආකාරයේ ගැඹුරු පුහුණුවක්‌ ඒ ආචාර්යවරුන්ට ලබාදිය යුතුයි... මම එංගලන්තයේ ඉන්න කොට එහෙම විෂයය පිළිබඳ වෙනසක්‌ නෑ! ඒ වැඩේ හොඳටම කරන්න පුළුවන් කෙනාට දෙන්නේ. මම... පරිගණක පිළිබඳව.... පර්යේෂණ ක්‍රම පිළිබඳව.... ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳ හා මේ රටේ වෙන දේවල් ගැන ඉතාම ගැඹුරින් අධ්‍යයනය කළ අවධානයෙන් ඉන්න කෙනෙක්‌. ඒක හින්දා ඒක ගැන මට කිසි ප්‍රශ්නයක්‌ නෑ! ඒ කණ්‌ඩායමට ඕන දෙයක්‌ කියන්න පුළුවන්.....

ප්‍රශ්නය - අපි අද මේ සාකච්ඡාවට හේතුව "විරු සිසු සමරුව" කඩා බිඳ දැමීමේ කතාන්දර යයි. රක්‌නා ලංකා ආරක්‍ෂක සේවය විරුසිසු සමාධියට බෝම්බ ගැහුවේ ඔබේ අනුදැනුම ඇතුව කියන එකයි ඔය කියන "කණ්‌ඩායම්" කියන්නේ.... ඔබ කියන්නේ කඩාකප්පල්කාරීන් කියලයි. ඇත්තටම ඔබතුමාට අනුව ඒ කතාව මොකක්‌ද?

පිළිතුර - දැන් ඔය පිළිමේ කැඩුවේ බ්‍රහස්‌පතින්දා පාන්දර, නත්තලෙන් පසු විශ්වවිද්‍යාලය අපි පටන්ගත් දවසේ ඉඳලා ඔය "කණ්‌ඩායම" මේ විදිහේ වැඩ කොටසක්‌ කරන්න කියලා අලුත් ළමයින්ට කිව්වා... මොකක්‌ද වැඩ කොටස... මොකක්‌ද මේ දේශනයේ හරය.... "මේ විශ්වවිද්‍යාලයේ හදවත මොකක්‌ද?" ඒ අය අහනවා... ඕනෑ කෙනෙක්‌ගෙන් ඔය ප්‍රශ්නය ඇහුවොත් දෙන උත්තරේ "පුස්‌තකාලය" කියන එකයි... හැබැයි මේ "කණ්‌ඩායම" කියන්නේ "විරු සිසු ප්‍රතිමාව" කියලයි. ඒකට වන්දනා කරන්න ඕන... මේක තමයි අපේ වීරත්වය. මේක නැතිවුණොත් අපි ඉවරයි කියලයි. මේකට කවුරු හරි අත තිබ්බොත් එයාව මරාගෙන මැරෙන්න ඕන කියන එකයි ඒ අය කියන්නේ. අපි දන්නේ නෑ එතකොටත් මේ "බෝම්බ" තියන්න යන කතාව. බෝම්බය තිබ්බට පස්‌සේ එතැනට මේ බලහත්කාරයෙන් ළමයි අරගෙන යන කතාව ආරංචි වුණාම අපි ගියා. එතැනට ගිහින් මම කිව්වා "පුතාලා යන්න" කියලා. එතකොට එකපාරටම මේ ළමයි කෑගැහුවා. "මේකා කවුද? මේකා කිව්වට අපි යන්නේ නෑ" කියලා. ඉතිං අපට සිද්ධවුණා ඒ අයට විරුද්ධව විනායානුකූලව කටයුතු කරන්න. ඒ හැර "බෝම්බයට" ඔය කියන අපි කොහෙත්ම සම්බන්ධ නෑ!

ප්‍රශ්නය - නමුත් මේ ප්‍රශ්නය, මේ අර්බුදය විසඳීමෙහි ඔබ අසමත් නිසා නොවෙයිද මෙය විඡේරාමයේ සිට අරලියගහ මැදුර දක්‌වා යන්නේ....

පිළිතුර - අසමත්කම නොවෙයි... බෝම්බය පුපුරවලා ඒ අය ප්‍රශ්නය දුරදිග ගෙනිච්චා... පුපුරවන මිනිහෙක්‌ සම්පූර්ණ ප්‍රතිමාව පුපුරවනවා වෙනුවට කකුල විතරක්‌ යන්තම් සූරයිද? එපිටවත්ත යුගයේ මෙය ඉවත් කළා. මා පැමිණි පසුවයි, එය නැවත ස්‌ථාපිත කළේ.

සාකච්ඡා කළේ
මනෝජ් අබයදීර උදේශ සංජීව ගමගේ
ඡායාරූප - උදේනි චන්ද්‍රසිරි

No comments: