Saturday, January 14, 2012

විශ්ව විද්‍යාල ගිනිතබා සුරුට්‌ටු පත්තු කිරීම!


රටේ බුද්ධිමය තෝතැන්න සසල වී ගිනියම් වෙමින් පවතින සෙයකි. මෑත කාලයේ නොවූ විරූ ලෙස විශ්වවිද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂණ උත්සන්න වී ඇත. ශ්‍රී ජයවර්ධනපුර, රජරට, කැලණිය, පේරාදෙණිය, රුහුණ, සබරගමුව යන විශ්වවිද්‍යාලයන්හි තත්ත්වය බරපතලය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිකර ඇති විරු සිසු ස්‌මාරකයට අද්භූත ලෙස එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් පසු සිසු අරගල තීව්‍ර වෙමින් තිබේ. සිසුන්ගේ ඉල්ලීම වන්නේ උපකුලපති ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න මහතා ඉවත් කිරීමය. ඔහු ඉවත් කළ යුතු බවට බලකරමින් සිසුන් පාරට බැස සිටින්නේ විරු සිසු ස්‌මාරකයට බෝම්බ ගැසූ මොහොතින් පසුව ම නොවේ. ඊට පෙර සිට ද සිසුන්ගේ ඒ ඉල්ලීම එලෙසම විය. විශ්වවිද්‍යාලයීය පිහිනුම් තටාකය අසල කතාකරමින් සිටි සිසුන් සිව්දෙනකු අයුතු ජනරාශිය යන චෝදනාව යටතේ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණාරත්න මහතාට අධිකරණයෙන්ම අපූරු ප්‍රතිචාරයක්‌ ලැබිණි. එනම් ඉදිරියේදීත් මෙවැනි චෝදනා එල්ල කර සිසුන් අධිකරණයට ඉදිරිපත් කළහොත් උපකුලපතිවරයා මානසික රෝගියකු වෙත යවන බවය. කරුණාරත්න මහතා යළිත් එවැනි ක්‍රියාවක්‌ නොකරන්නට ඇත. එසේ කළේ නම් ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතාට මෙන් මොළේ පරීක්‍ෂාවක්‌ කරගැනීමට හැකියාව තිබිණි.

කෙසේ වුවද අධිකරණයෙන් ද අවවාද ලද ඒ උපකුලපතිවරයා යළි දෙවැනි වරටත් එම ධුරයටම පත් කරනු ලැබ සිටියි. මේ කාගෙ වුවමනාවක්‌ දැයි ප්‍රශ්න කළ යුතුය. එම විශ්වවිද්‍යාලයේම තවත් මහාචාර්යවරුන් දෙපළකගේ නම් පාලක සභාව මගින් තෝරා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යවා තිබූ නමුත් අවසානයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ තේරීම වූයේ කරුණාරත්න මහතාය. දේශපාලනයට සුවච කීකරු වූ පමණින් විශ්වවිද්‍යාලයක්‌ පාලනයට, මේ බුද්ධිමය කේJද්‍රස්‌ථානයක්‌ පාලනයට ඒ සුවච කීකරු සේවකයා සුදුසු ද යන්න දෙවරක්‌ කල්පනා කළ යුතුය යන්න අපගේ හැඟීමය. සිසුන් පාරට බැස උද්ඝෝෂණය කරන්නේ ඔහු ඉවත් කරන්නැයි බලකරමිනි. පෙම්බස්‌ දොඩමින් සිටි සිසු සිසුවියන්ද මේ උපකුලපතිවරයා පොලිසියට භාර දුන්නා මතකය. විශ්වවිද්‍යාල භූමියේ ඇවිද ගිය සිසුන් ද උපකුලපතිවරයාට අවශ්‍ය වුවහොත් පොලිසියට අල්ලා දීමට බැරි නැත. සිසුහුද ඒ බව දනිති. විරු සිසු ස්‌මාරකයට බෝම්බ ප්‍රහාරය එල්ල වීමෙන් පසු කොළඹ විරෝධතා පා ගමනක යෙදුණු සිසුන් පසුව විශ්වවිද්‍යාල භූමියේ අඛණ්‌ඩ සත්‍යග්‍රහයක්‌ ආරම්භ කළේ ද උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමිනි. වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ වසා දැමීමෙන් පසුවත් සිසුන් බලහත්කාරයෙන් රැඳී සිටිමින් සත්‍යග්‍රහය නතර නොකළ අතර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මැදිහත් නොවන්නට උපවාසකරුවන් ඉවත් කිරීමේදී බරපතල ව්‍යසනයක්‌ උද්ගත වන්නට හොඳටම ඉඩකඩ තිබිණි. බලහත්කාරයෙන් රැඳී සිටි සියලු සිසුන්ට අධිකරණ නියෝගයෙන් පසුව නිරුපද්‍රිතව විශ්වවිද්‍යාලයෙන් ඉවත් වීමට හැකි වූයේ එම දෙදෙනාගේ මැදිහත් වීම නිසාය. දෙවැනි වරටත් පත් කරනු ලැබූ උපකුලපතිවරයා විශ්වවිද්‍යාලය වසා දැමීමේ තීරණය ගෙන තිබුණේද පීඨාධිපතිවරුන් සමග සිය නිවසේ පැවැති සාකච්ඡාවකින් පසුවය. කුමන ආකාරයේ විරෝධතා එල්ල කළ ද සිසුන් සිටින්නේ උපකුලපතිවරයාගේ භාරයේය. සිසුන් ආරක්‍ෂා කිරීමේ වගකීම ඇත්තේ ද ඔහුටය. වෙනත් ආචාර්යවරුන්ට සිසු ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින්නට සිදුවීමෙන් පෙනී යන්නේ උපකුලපතිවරයා සිය වගකීම ඉටුකිරීමේ පරිමාවය.

රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ද දින නියමයකින් තොරව වසා දමා ඇත. එහි පළමු වසර සිසුන්ට නවකවධය දුන් බවට චෝදනා කරමින් දෙවැනි වසර සිසුන් හයදෙනකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවීම වෛද පීඨය වසා දැමීමට හේතු වී තිබේ. මෙවර එම වෛද්‍ය පීඨයේ පළමු වසරට ඇතුළත් වූ නවකයන් සංඛ්‍යාව 180 දෙනෙකි. තමන් නවකවධයට ලක්‌ කළ බවට චෝදනා කරමින් ජ්‍යෙෂ්ඨ සිසුන්ට දඬුවම් කිරීම ගැන ඔවුහු වික්‍ෂිප්තව සිටිති. තමන් කිසිදු ආකාරයකින් නවකවධයට ලක්‌ නොවූ බව ඔවුහු එකහෙළාම ප්‍රකාශ කරති. සියලු දෙනාගේ අත්සන් ද සහිතව ඒ බව ලිතව පරිපාලන අංශවලට ද ඉදිරිපත් කරනු ලැබ ඇත. එහෙත් උපකුලපති මහාචාර්ය කේ. ඒ. නන්දසේන මහතා ඒ බව පිළිගන්නට සූදානම් නැත. ඔහු ප්‍රකාශ කරන්නේම නවක සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් නවකවධය දුන් බවය. ආචාර්ය රිචඩ් පතිරණ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාව සිටි සමයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නවකවධ පනතට අනුව නවකවධයට ලක්‌වූ හෝ නවකවධය දුන් කෙනෙක්‌ සිටියහොත් දඬුවම් කළ යුතුය. රජරට වෛද්‍ය පීඨයේ නවකවධ සිද්ධිය කවරාකාර දැයි තේරුම් කර ගැනීම මඳක්‌ අපහසුය. දේශපාලනයේ අවශ්‍යතාව මත එම චෝදනා නිර්මාණය වූයේද යන්න සැක සහිතය. නැතහොත් අනාගතයේ ලද හැකි උසස්‌වීම් වෙනුවෙන් යොදාගත හැකි කදිම උපක්‍රමය ලෙස ඇතැම් අය මේ චෝදනා නිර්මාණය කරනවාද විය හැකිය. කෙසේ වුවද අවසානයේ සියල්ල බැර වන්නේ සිසුන්ටය. විඳවන්නට සිදුවන්නේ ඔවුන්ටය. වෛද්‍ය පීඨය වසා දැමීමෙන් පසුව සිසුන් ඉවත් කිරීමට දෙවරක්‌ම අධිකරණ නියෝග ගැනීමට පරිපාලන අංශවලට සිදුවිය. මේ වන විට වෛද්‍ය පීඨය වසා දමා ඇත්තේ දින නියමයකින් තොරවය.

සබරගමුව විශ්වවිද්‍යාලය ද දැඩි අර්බුදයකට ලක්‌ව ඇත. එහි ආචාර්යවරු අධ්‍යාපන කටයුතුවලින් ඉවත් වී සිටිති. ඊට හේතු වූයේ කවරාකාරයකින්වත් පිළිගත නොහැකි සිද්ධියකි. කිසියම් පිරිසක්‌ සිසුන් තිදෙනකුට පහර දුන් බව පවසමින් ශිෂ්‍ය ක්‍රියාකාරීහු සෙසු සිසුන් මෙහෙයවමින් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක වෛද්‍ය සංජීව ජයවීර මහතාගේ නිල නිවසට හා මෝටර් රථයට දැඩි ප්‍රහාරයක්‌ එල්ල කළහ. ගල් මුල් පමණක්‌ නොව නිවසේ වූ මල් පෝච්චිද උපයෝගී කර ගනිමින් කළ පහර දීමෙන් නිවසේ වීදුරු කුඩු වූ අතර වාහනයට ද බරපතල අලාභ හානි සිදුවිය. ඇඟ ලොමුදැහැගන්වන කරුණ නම් සිසුන් තුන්හාරසියයක පමණ පිරිසක්‌ ඝෝෂා කරමින් පැයක පමණ කාලයක්‌ ගල් මුල්වලින් ප්‍රහාරය එල්ල කරන අවස්‌ථාවේ සිය අට හැවිරිදි දරුවාත් බිරිඳත් සමග ශිෂ්‍ය උපදේශකවරයා නිවසේ සිටීමය. එම ප්‍රහාරය අවස්‌ථාවේ පැහැදිලිවම ජයවීර මහතා ජීවිත තර්ජනයකට ලක්‌ව සිටි බව සබරගමුව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය ඒ. ඩබ්ලිව්. විඡේරත්න මහතා ද සඳහන් කර සිටියේය. ආචාර්යවරුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වූයේ කලහකාරී ලෙස හැසිරෙමින් මේ ප්‍රහාරය එල්ල කළ සිසුන් නීතිය හමුවට පමුණුවන්නැයි ඉල්ලමිනි. සිද්ධියට සම්බන්ධ සිසුන් පස්‌දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට හැකි වී ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාපීඨය හැර සෙසු පීඨයන්හි සිසුහුද පන්ති වර්ජනයක්‌ ආරම්භ කර ඇත. නවක සිසුන් බලහත්කාරයෙන් නේවාසිකාගාරයකට රැගෙන ගොස්‌ රඳවා තබා ගැනීම හා ඔවුන්ට පහරදීම යන චෝදනා මත සිසුන් 17 දෙනකුට පනවා ඇති පන්ති තහනමට එරෙහිව සිසුහු මෙම ක්‍රියාමාර්ගයේ යෙදී සිටිති. නවක සිසුවියන්ට කිරිබත් කැවුම්වලින් සංග්‍රහ කිරීමේ "වරදට" සිසු සිසුවියන් 45 දෙනකුට විනය පරීක්‍ෂණ සිදු කිරීම ද පන්ති වර්ජනයට තවත් හේතුවකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පශු වෛද්‍ය පීඨ සිසුහුද එහි සිසුන් දෙදෙනකුගේ පන්ති තහනමට එරෙහිව සටනට බැස සිටිති.

රුහුණ විශ්වවිද්‍යාලයීය සිසුන් පාරට බැස උද්ඝෝෂණය කළේ පන්ති තහනම් කිරීමට එරෙහිව නොවේ. ඔවුන් උද්ඝෝෂණය කළේ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස්‌ කරන ලද පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමට හා නියාමනය කිරීමට අදාළ පනත් කෙටුම්පතට එරෙහිවය. මෙම පනත් කෙටුම්පතට එරෙහිවය. මෙම පනත් කෙටුම්පතට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් මහනුවර සිට කොළඹ දක්‌වා පා ගමනක්‌ සංවිධානය කළ අතර අධිකරණ නියෝගයක්‌ ලබාගනිමින් එම පා ගමන අත්හිටුවීමට පරිපාලන අංශ කටයුතු කළේය. එම තහනම් කිරීමෙන් පසුව ඇතිවූ සිද්ධීන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමටද හේතු විය. එම පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා පා ගමනේ යෙදුණු රුහුණ විශ්වවිද්‍යාලයීය සිසුන්ට කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කර පළවා හරින්නට පොලිසිය කටයුතු කළේය.

එක්‌ විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයා ඉවත් කරන්නැයි බලකරමින් සත්‍යග්‍රහ කරන විට තවත් විශ්වවිද්‍යාලයක සිසුහු ආචාර්යවරුන්ගේ නිවෙස්‌වලට පහර දෙන්නට පෙළඹී සිටිති. පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි විරෝධතා පා ගමන් අධිකරණ නියෝගයෙන් පවත්වනු ලබන විට තවත් තැනෙක එම පනත් කෙටුම්පතට එරෙහිව පාරට බැස ගත් සිසුන් කඳුළු ගෑස්‌ ගසා පන්නති. විශ්වවිද්‍යාල වසා දැමුවත් ඉවත් නොවන සිසුන් අධිකරණය ලවා ඉවත් කරන්නට ඇතැම් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට සිදු වී තිබේ. විශ්වවිද්‍යාල පද්ධතියම දැඩි නොසන්සුන්තාවට ලක්‌ව ඇතැයි පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවේ.

පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳ සමාජයේ දැඩි විරෝධයක්‌ එල්ල වීමට හේතු වූයේ හොර රහසේ එය සකස්‌ කිරීමය. හොර රහසේ සකස්‌ කළ එම පනත් කෙටුම්පත හොර රහසේම එළියට ආවේය. සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් එය සකස්‌ කළේ නම් විරෝධතාවන් මතු නොවන වග අවබෝධ කර ගන්නට තරම් උසස්‌ යෑයි කියන පුද්ගලයෝ ළාමක වැඩිය. පෞද්ගලික විශ්වවිද්‍යාල කියූ සැනින් ඊට එරෙහිව මහා විරෝධයක්‌ මතුවීම සාමාන්‍ය තත්ත්වයකි. එය එතරම්ම සංවේදී කාරණයකි. එතරම් සංවේදී කාරණයක්‌ සම්බන්ධයෙන් වගකිවයුත්තන් වගකීමෙන් කටයුතු කළා නම් එය ආපස්‌සට ගැනීම සඳහා සාකච්ඡා පවත්වන්නට සිදුවන්නේ නැත. සිසුන් පාරට බසින්නේද නැත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඊට එරෙහිව වැඩ වර්ජන කැඳවන්නේද නැත. එම පනත් කෙටුම්පතට එරෙහිව ලබන 17 වැනිදා සංකේත වැඩ වර්ජනයක්‌ පැවැත්වීමට ආචාර්යවරු සූදානම් වී සිටිති. සියලුම ආචාර්යවරු ඒ සඳහා පෙළගැසෙන්නේ ඉන් නිදහස්‌ අධ්‍යාපනයට බරපතල තර්ජනයක්‌ එල්ල වන බව පවසමිනි. විශේෂයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ වනු ඇත යන්න ආචාර්යවරුන්ගේ අදහසය. එවන් සංවේදී කාරණයකදී උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ක්‍රියා කළ ආකාරය කෙතරම් නිවැරැදිද? පසුගිය දෙසැම්බර් මස පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේ පනත් කෙටුම්පතට කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් හැකි ඉක්‌මනින්ම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්ය. එහෙත් ඊට මේ වන විට ඇතැම් ඇමැතිවරුද විරෝධය දක්‌වති. සිසුහු ද විරෝධය පළ කරති. විශ්වවිද්‍යාල ආචාර්යවරුද එසේමය. මෙම විරෝධය හමුවේ එය යළි සලකා බලන තත්ත්වයකට ආණ්‌ඩුව යොමු වීම ප්‍රමාද වී හෝ කළ හොඳ වැඩකි. පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත හකුළා ගන්නට ආණ්‌ඩුව කටයුතු කළේ නිදහස්‌ වෙළෙඳ කලාපයේ රොෂෙන් චානක සොයුරාගේ ජීවිතය උදුරා ගැනීමෙන් පසුව බව සටහන් කළ යුතුය. එවන් තත්ත්වයක්‌ උද්ගත වන්නට පෙර එම පනත් කෙටුම්පත ගැන යළි සලකා බලන්නට සිතා බැලීම නැති වෙන්නට ඉඩ තිබූ ජීවිතයකට සාධාරණය ඉටු කිරීමකි. 

විශ්වවිද්‍යාල පද්ධතියේ මතු නොව සිසුන්ට ද මුහුණ දීමට සිදුවී ඇති අර්බුදය ගැන පැහැදිලි අවබෝධ්‍යක්‌ අපට තිබේ. එය වූ කලී මේ රටේ ජනතාවගේ මුදල් අධ්‍යාපනයට වෙන් කරන ප්‍රමාණයේ සිටම පැවතෙන්නකි. එය වෙනම සාකච්ඡා කළ යුතුය. මුළු රටම කිසිදු විනයක්‌ නොමැතිව ගහල දේශපාලනයේ කරවටක්‌ ගිලී ඇති කල්හී විශ්වවිද්‍යාල සිසුන්ගෙන් පමණක්‌ විනයක්‌, සදාචාරයක්‌, හික්‌මීමක්‌ අපේක්‍ෂා කිරීම සාධාරණද යන ප්‍රශ්නය අපට ද තිබේ. එහෙත් විශ්වවිද්‍යාලය යනු බුද්ධිමය කේJද්‍රස්‌ථානයකි. එය විනය හා සදාචාරයේ පිළිබිඹුවක්‌ විය යුතුය. අභාග්‍යයකට මෙරටේ විශ්වවිද්‍යාල විනයක්‌ හෝ නීතියක්‌ නොතකන හිතුවක්‌කාර පුතුන්ගේ පාරාදීසයක්‌ වැන්න. සබරගමුව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය උපදේශකවරයාගේ නිල නිවසට පහරදීම සිසු විනය පිරිහීමේ පරිමාව කෙබඳු දැයි අනාවරණය කරයි. නවකවදය, ප්‍රචණ්‌ඩත්වය මගින් යුක්‌තිය හා සාධාරණය ඉටු කළ හැකිය යන මානසිකත්වය ඇති පිරිස්‌ බුද්ධිමතුන්ගේ ගණයට අයත් නොවෙති. ඔවුන්ගේ නියෝජනය පාදඩ සංස්‌කෘතිය විනා සාරසංස්‌කෘතිය නොවන වග අපි විශ්වාස කරමු. උමතු සහගත ඔවුන්ගේ හැසිරීම අපි හෙළා දකිමු. ශිෂ්ට සම්පන්න මෙන්ම අහිංසාව මත පදනම් වූ ක්‍රියාමාර්ග වුවමනාය. උමතු හැසිරීම යුතු නොවේ. අප ජීවත් වන්නේ ප්‍රචණ්‌ඩත්වය හා සාහසිකත්වය විසින් යුක්‌තියේ හඬ වසා දමනු ලැබ ඇති යුගයක බවද අමතක නොකළ යුතුය. සරසවි සිසුන්ගේ ක්‍රියාකලාපයන්ද එබඳු වියරු හැසිරීමකි. ඔව්හු ශක්‌තිය පෙන්වා යුක්‌තිය වෙනුවෙන් බලහත්කාරකම් කරති.

විශ්වවිද්‍යාලයන්හි ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරෙන්නෝ සුළු පිරිසකි. මේ සුළු පිරිස ඇතැම් දේශපාලන පක්‍ෂවල රූකඩ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්‌ද?

අනෙක්‌ අතට දේශපාලනය විසින් හිරිකිතයකින් තොරවම නින්දිත අයුරින් විශ්වවිද්‍යාල පද්ධතිය සිය ග්‍රහණයට නතුකර ගනු ලැබ ඇත. "ඔහෙ හිටු" කියන විට නැවතීමෙන් පමණක්‌ නොනැවතී කොන්ද නමා දේශපාලනයේ දෙකකුල් ස්‌පර්ශ කරන මට්‌ටමට ඇතැම් විශ්වවිද්‍යාල බලධාරීන් පත්ව ඇතැයි පැවසීම අසත්‍යයක්‌ නොවේ. දේශපාලකයන් තමන්ට අවැසි ආකාරයට එක පදයක්‌ ගැසූ කල වන්නමක්‌ නටා අවසන් කරන උපකුලපතිවරුන් අප රටේ නැතැයි කිව හැක්‌කේ කාටද? 

ඇතැම් උපකුලපතිවරුන් තනතුරට සුදුසු නොවේ. එහෙත් දේශපාලනයේ වුවමනාව විසින් කදිමට ස්‌ථානගත කරනු ලැබ ඇත.

විශ්වවිද්‍යාල උපරිම අයුරින් දේශපාලනීකරණයට නතුවූ යුගයක්‌ තවත් ඇතැයි නොසිතේ. 

විශ්වවිද්‍යාලවල උත්සන්න වෙමින් පවතින අර්බුද පිළිබඳ අදහස්‌ දක්‌වමින් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා අපූරු ප්‍රකාශයක්‌ කර තිබිණි. එනම් උතුරේ විශ්වවිද්‍යාල සිසුන් ද සම්බන්ධ කර ගනිමින් යළි සන්නද්ධ අරගලයකට අර ඇදිමේ සූදානමක්‌ ඇතිය යන්නය. ඇමැතිවරයාගේ මේ ප්‍රකාශය ගැන අවධානය යොමු කළ යුත්තේ අතීත ප්‍රකාශයන් ගැනද සිහිපත් කරමිනි.

රුහුණ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ශිෂ්‍ය උද්ඝෝෂණයකදී පොලිස්‌ පහර දීමකින් මියගිය සුසන්ත බණ්‌ඩාර ශිෂ්‍යයාගේ මරණයට බස්‌නායක හෙවත් බස්‌සා වගකිව යුතු යෑයි දිසානායක මහතා පුන පුනා ප්‍රසිද්ධියේ කියා සිටියේය. සුසන්ත බණ්‌ඩාර තමන්ට පොලිසිය පහර දුන් බව සිය කටඋත්තරයේ සඳහන් කර තිබියදීත් ඇමැතිවරයා උත්සාහ කළේ එය වෙනතකට හරවන්නටය. සිද්ධිය ගැන විමර්ශනයට කමිටුවක්‌ද පත් කළ අතර කමිටු වාර්තාව අදටත් නැත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් රුපියල් දෙලක්‍ෂය දක්‌වා ඉහළ නංවන බව පාර්ලිමේන්තුවේදී එස්‌. බී. දිසානායක මහතා කීවේය. වැටුප් අරගලයට යළි ප්‍රවිෂ්ට වීමට ආචාර්යවරුන්ට සිදුව ඇත්තේ දිසානායක මහතාගේ ප්‍රකාශයන්හි හරසුන් බව කියාපන්නට මෙනි. රටම කැළඹූ උසස්‌ පෙළ ප්‍රතිපල ගැටලුවේදී ඔහු කීවේ සිසුන්ට දශමයක අසාධාරණයක්‌ නොවන අයුරින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය ක්‍රමවේදය සකසා ඇති බවය. නමුත් ඒ ක්‍රමවේදය මේ වන විට සැකයට තුඩුදී තිබේ. ප්‍රතිඵල සැක දරුවන්ට පිළිතුරු පත්‍රය අතට දී සැකය දුරු කරන බව ඇමැතිවරයා වරෙක සඳහන් කළේය. එහෙත් විභාග පනත අනුව එය කළ නොහැකි බව ඔහු නොදැන සිටියේය. 

තමන්ගේ ක්‍ෂේත්‍රයේ යම් ගැටලුවක්‌ උද්ගත වූ විට කුමක්‌ හෝ ප්‍රකාශ කර පවතින තත්ත්වය යටපත් කරන්නට දිසානායක මහතා දක්‍ෂය. සන්නද්ධ අරගල කතාවේ හරය මැන බැලිය යුත්තේ එතැන සිට යෑයි අපි විශ්වාස කරමු. ඇමැතිවරයාගේ මේ ප්‍රකාශය ද කලින් ප්‍රකාශයන්හි යථාර්ථයම විය හැකිය. කෙසේ වුවද ඒ හා සමාන අදහස්‌ ඉදිරියටත් ගලා ඒමට ඇති ඉඩකඩ වැඩිය. මන්ද අහිගුණ්‌ඨිකයාගේ කෙවිට මානයේ සිටින රිලවා කෙවිටි පහරට බියෙන් නටන්නාක්‌ මෙන් දේශපාලන තන්ත්‍රයේ මානයට විශ්වවිද්‍යාල පද්ධතිය ද නතු වී රඟන හෙයිනි. යථාර්ථය එය ය.

නිලන්ත මදුරාවල

No comments: