Monday, January 9, 2012

වෛද්‍ය පීඨය පමණක්‌ විවෘතයි දින නියමයක්‌ නැතිව ජ"පුර සරසවිය වැසේ - නියෝගය නොතකා සිසුහු උපවාසයේ

Divaina, 09/01/2012, නිලන්ත මදුරාවල, චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සිසු විරෝධතා උත්සන්න වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ තුන දින නියමයක්‌ නොමැතිව ඊයේ (08 වැනිදා) සිට වසා දමන ලදී. කළමනාකරණ අධ්‍යයන, ව්‍යවහාරික විද්‍යා සහ ශාස්‌ත්‍ර යන පීඨ මෙලෙස වසා දමා නේවාසිකාගාරවලින් ද ඉවත් වන ලෙස සිසුන්ට දැනුම් දුන්න ද උපකුලපති ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න මහතා ඉවත් කරන්නැයි බල කරමින් අඛණ්‌ඩ උපවාසයේ යෙදී සිටින සිසුහු ඉවත් නොවූහ. විශ්වවිද්‍යාලය අවට පොලිසිය මෙන්ම යුද හමුදා සාමාජිකයන් ද යොදවා සිටිනු දක්‌නට ලැබිණි. සිසුන්ගේ විරෝධතා ක්‍රියාමාර්ග නිසා විශ්වවිද්‍යාලය වසා දැමීමේ තීරණය ගෙන ඇත්තේ උපකුලපතිවරයාගේ නිවසේ පැවැති සාකච්ඡාවකින් පසුවය. පසුගිය 05 වැනිදා අලුයම විරු සිසු ස්‌මාරකයට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සිද්ධියෙන් පසුව සිසුන්ගේ විරෝධතා ක්‍රියාමාර්ග උත්සන්න වූ අතර වාහනයකින් පැමිණි කීපදෙනකු විසින් සිසුන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියක්‌ ද වාර්තා විය. එහිදී සිසුන් චෝදනා කර සිටියේ විශ්වවිද්‍යාලයේ පෞද්ගලික ආරක්‍ෂක අංශ සාමාජිකයන් මෙම පහරදීමට සම්බන්ධ බවය. එම චෝදනාව ආරක්‍ෂක අංශ ප්‍රතික්‍ෂේප කළ නමුත් දෙපාර්ශ්වය අතර යළිත් ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිවීමට ගිය අවස්‌ථාවේ යුද හමුදා සාමාජිකයන් පැමිණීම නිසා එය වැළකී ගොස්‌ තිබේ. එම අවස්‌ථාවේ සිසුන්ගේ පහරදීමකින් ආරක්‍ෂක අංශ සාමාජිකයකුට සුළු තුවාල සිදුවී ඇත. සිසු සිසුවියන් මෙලෙස බලහත්කාරයෙන් විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම බරපතළ අනාරක්‍ෂිත තත්ත්වයක්‌ යෑයි ද එහෙයින් අධිකරණ නියෝගයක්‌ හෝ ගෙන සිසුන් ඉවත් කිරීමට සිදුවන බව ද විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට ඊයේ සවස පැවසීය. උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විමසීම සඳහා උපකුලපති ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සාහය අසාර්ථක විය.

No comments: