Saturday, July 14, 2012

රටටත් ජනතාවටත් ආචාර්යවරුන්ටත් සෙතක් වෙන විදියට ප්‍රශ්නය විසඳා ගත යුතුයි

Silumina, 15/07/2012

 

»
»
»
»
»


රටටත් ජනතාවටත් ආචාර්යවරුන්ටත් සෙතක් වෙන විදියට ප්‍රශ්නය විසඳා ගත යුතුයි

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති
ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැක්කේ වර්ජනවලින් නොව සාකච්ඡාවෙන් බවත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩ දුන්නත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට රජයෙන් ලබාදෙන ප්‍රතිපාදන තවත් වැඩි කිරීම මිස අඩු නොකළ යුතු බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය ගැන කතා කරමින් විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන්ම නීතිවේදියකු ද වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.
හැට ගණන්වල සිටම නීති පීඨවලත් රෝම ලන්දේසි නීතිය උගන්වමින් සිටිනු වෙනුවට දැන්වත් ඒ පාඨමාලා වෙනස් විය යුතුව ඇතැයිද අපේ විශ්වවිද්‍යාල ලෝකයේ අන්තර්ජාතික විශ්වවිද්‍යාල අතරට නැවත ගෙන ඒමට කටයුතු කළ යුතුව ඇති බවද ආචාර්යවරයා පැවැසීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙනයන වර්ජනය පිළිබඳව ආචාර්යවරයා සිළුමිණට කරුණු දක්වා සිටියේ මෙසේය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය සාකච්ඡාවෙන් නොව වර්ජන ක්‍රියා මාර්ගයකින් විසඳීමට යාම ගැන කියන්නේ කුමක්ද?
මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන්ම විසඳා ගැනීමට හැකිවුණා නම් ඉතාම හොඳයි. අවසාන ක්‍රියා මාර්ගය විදියටයි වර්ජන ක්‍රියාමාර්ගයක් ගත යුතු වන්නේ. අවසානයේ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිටියක් ඉදිරියේ මේ ප්‍රශ්නය සාකච්ඡාවට භාජන වුණා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්න වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණ ප්‍රශ්න ලෙසයි පවතින්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නයේ සිට නොවිසඳුන ප්‍රශ්න ගණනාවක් ගැන අවධානය යොමු කර තිබෙනවා.
මෙතනදි වැටුප් ප්‍රශ්නයම ගත්තත් ආචාර්යවරුන්ගේ පැත්තෙන් කියන්නේ 2011 පොරොන්දු වැටුප් වැඩිවීම්වත් නොගෙවන බවයි. ආචාර්ය සංගමය කියන්නේ පොරොන්දු ඉටු කරන්න කියලයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම රජය පැත්තෙන් කියන්නේ සීයට 73 සීයට 37 දක්වා වැටුප් වැඩිවීම් මේ මස හා ඔක්තෝබර් මස සිට ලබාදෙන බවයි. මෙතන තිබෙන ප්‍රශ්නය රටේ විශ්වවිද්‍යාලවලට පැමිණෙන හොඳම පිරිස අතරින් තෝරාගත් ක්‍රීම් එක වගේ පිරිස මේ තනතුªරුවලට රඳවා ගැනීමට තරම් මේ වැටුප් වැඩිවීම් ප්‍රමාණවත් විය යුතු බවයි.
සමහර ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් නම් කියන්නේ ලැබුණ වැටුප් වැඩිවීම් ප්‍රමාණවත් කියලයි?
මෙතනදි සාමූහික එකඟත්වයකට පැමිණීමට සාකච්ඡාව වැදගත්. එක යුගයක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප මහ බැංකුව, ටෙලිකොම්, ජල සම්පාදන මණ්ඩලය හා රාජ්‍ය බැංකුවල ඒ හා සමාන තනතුරුවලට බඳවා ගැනීමට ගෙවන වැටුප් හා සමාන වුණා.
අද මහබැංකුව ගත්තොත් එහි විශාල අසමානතාවක් ආරම්භක වැටුපේ සිටම තිබෙනවා. හැබැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සේවය ඔවුන්ගේ තරාතිරම වැටුප්වලින්ම මනින්න බැහැ. විශ්වවිද්‍යාල විභාගවලින් ඉහළම ප්‍රතිඵල පළමු හෝ දෙවන ඉහළ පෙළ උපාධි ගත් පිරිසක් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නේ. ඔවුන්ට විශාල නිදහසක් ශාස්ත්‍රීය ගවේෂණ, පර්යේෂණ සඳහා විශ්වවිද්‍යාලවලින් ලැබෙනවා. ඔවුන්ගෙන් උදේ 8 සවස 4 1/2 පැය අටක සේවයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ නිදහස වෙන කොහේවත් ඇති කියලා මා හිතන්නේ නැහැ. ඔවුනට ඉදිරි උසස් අධ්‍යාපනය ආචාර්ය උපාධි ලබා ගැනීමට ශිෂ්‍යත්ව පිරිනැමීම ඇතුළු සියලු අනුබල විශ්වවිද්‍යාලයෙන් ලබාදෙනවා.
මෙතනදි මට කියන්න තියෙන්නේ මේ වැදගත් පිරිස මේ තනතුරුවල රඳවා ගන්න නම් ඒ ගෙවන වැටුප් සන්සන්ධනාත්මකව ප්‍රමාණවත් විය යුතුයි.
දැනටමත් විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ 1600 ක පමණ හිඟයක් තිබෙන බව කියනවා.
ප්‍රමාණවත් වැටුප් නොගෙවන්නේ නම් එතෙර යන ආචාර්යවරුන් නැවත ගෙන්වා ගන්න අපහසු වෙනවා මෙන් ම සුදුසුකම් තිබෙන අය බඳවාගෙන දිගටම රඳවා ගැනීමද අපහසු වෙනවා. මේ කරුණු සලකා බලලයි පෙරදිත් සරසවි ආචාර්යවරුන්ට ඉහළ වැටුප් තලයක් නියම කර තිබෙන්නේ.
මේ ඉහළ වැටුප් ඉල්ලීම රටට ඔරොත්තු දෙන එකක් ද විය යුතුයි?
ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. මේ රටේ සංවර්ධිත රටවල වගේ ගෙවන්න බැරිවෙන්න පුළුවන්. තවමත් මේ රටේ ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් ඉන්නේ යැපුම් මට්ටමේ දුප්පත් ජනතාවක්. නමුත් මේ සුවිශේෂ කණ්ඩායමට අනෙක් සේවා හා සන්සන්ධනය කරමින් ප්‍රමාණාත්මකව ඉහළ වැටුපක් ගෙවිය යුතු බව කවුරුත් පිළිගන්නවනේ. එය සාකච්ඡා මාර්ගයෙන් තවත් දුරදිග යාමට නොදී විසඳාගත යුතුයි. මේක ෂයිලොක් මස්රාත්තලම ඉල්ලනව වගේ කතාවක් නොවෙයිනේ. පාලක ආචාර්ය දෙපැත්තම නම්‍යශීලී වුණොත් ප්‍රශ්නය විසඳා ගැනීමේ ගැටලුවක් නැහැ.
වැටුප් නොවන ඉල්ලීම් කීපයකුත් ආචාර්ය සංගමය ඉදිරිපත් කර තිබෙනවා?
රටක් වශයෙන් අධ්‍යාපනයට වැය කරන මුදල වැඩි කරන්න ඔවුන් ඉල්ලනවා. මෙතන රටක් ගත්තම මූලික වශයෙන් සමාජ, ආර්ථික මට්ටම ඉහළ නංවන්න අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න නම් අධ්‍යාපනයට කරන වෙන් කිරීම හැකි ආකාරයෙන් ඉහළ නංවා ගත යුතුයි. මේ ජාතික ආදායමෙන් අධ්‍යාපනයටත් උසස් අධ්‍යාපනයටත් කරන වෙන් කිරීම ජාතික ප්‍රමුඛත්ව කාරණාවේදී සාධාරණව සලකා බැලිය යුතුයි. එය බංග්ලාදේශය ඉන්දියාව වැනි රටක් අධ්‍යාපනය සඳහා වැය කරන ප්‍රමාණයටවත් සමාන විය යුතුයි. කැනඩාව වැනි රටවල් විශාල වශයෙන් අධ්‍යාපනයට වෙන් කිරීම් වැඩි කරල තියෙනවා. අධ්‍යාපනයට කරන වෙන් කිරීම වියදමක් විදියට නොව ආයෝජනයක් විදියටයි සැලකිය යුත්තේ. මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තමන්ගේ වැටුපට වැඩි දෙයක් තම දක්ෂතා තුළින් උපයා ගන්න අවස්ථාව මම නම් හිතන්නේ තියනවා. අමතර ආදායම් ඉපැයීමට වගේම තම සේවාව තුළත් සහකාර කථිකාචාර්යවරයකුගේ සිට මහාචාර්ය ධුරය දක්වා ඉහළට යන්න අවස්ථාව තියනවා. සෑම කථිකාචාර්යවරයකුටම උසස් අධ්‍යාපනය සඳහා අවුරුදු 4 යි මාස 9 දක්වා වැටුප් සහිත නිවාඩු දෙනවා වාගේම ශිෂ්‍යත්වත් ලබා දෙනවා.
පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම ගැන කියන්නේ කුමක්ද?
මේක විවාදයට තුඩු දුන්නත් මේ වෙනකොට පිටරට විශ්වවිද්‍යාල ශාඛා 200 කට වැඩිය මේ රටේ ආරම්භ කරලා තියනවා.
හැබැයි මෙතන තියන කොන්දේසිය නම් රාජ්‍ය විශ්වවිද්‍යාල කිසිසේත් දුර්වල වෙන්න ඉඩ නොදිය යුතු බවයි. මුදල් ගෙවා ඉගෙන ගන්න බැරි පිරිස සඳහා සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා ඇරඹූ නිදහස් අධ්‍යාපනය කිසිසේත් කප්පාදු නොකළ යුතුයි. නිදහස් අධ්‍යාපනය ජනතාවගේ අයිතියක්. දැනට උසස් අධ්‍යාපනය සඳහා බඳවා ගන්නා 23000 සිසු පිරිස තවත් වැඩි කරන්න වගකිව යුත්තන් උත්සහා දැරිය යුතුයි. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ වීම තුළත් රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ටත් ඉගැන්වීමට වැඩි අවස්ථාවක් ලැබීම අනිවාර්යයයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට නිවාස ණය පහසුකම්, දැනටමත් දෙන වාහන පර්මිට්, මේ දක්වා තමන්ගේ දරුවන් රජයේ පාසල්වලට ඇතුළු කිරීමට තිබුණ පහසුකම් එසේම ලබා දිය යුතුයි.
දැනට විශ්වවිද්‍යාල පාඨමාලා යාවත්කාලීන කිරීම වගේ දේවල් තවදුරටත් දරුවන්ගේ යහපත සඳහා කළ යුතුයි. අදටත් නීති පීඨවලත් යල් පැන ගිය 1960 දශකයේ පටන්ගත් රෝම ලන්දේසි නීතිය උගන්වන්නේ. අදට ගැළපෙන ලෙස මේ පාඨමාලා නවීකරණය විය යුතුයි.
නැවතත් ලංකාවේ විශ්වවිද්‍යාල ලෝකයේ පළමු විශ්වවිද්‍යාල 1000 අතරටවත් පැමිණිය යුතුයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා අවසන් වසරේ සිසුන්ට සිදුවන පාඩුව අපි කවුරුත් තේරුම් ගත යුතුව තිබෙනවා. මොකද පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් සමග තරගයක රජයේ විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීහුත් සිටින්නේ.
මේ රජයේ විශ්වවිද්‍යාලවල විභාග ප්‍රමාද වෙනව නම් විශ්වවිද්‍යාලවලින් පිටවීම ප්‍රමාද වෙනව නම් ඒ පාඩුව දරුවන්ටමයි සිදුවෙන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කරන මේ වර්ජනය ආණ්ඩුව කඩාකප්පල් කරන්න කරන වර්ජනයකුත් නෙවෙයි. මොකද මේ ආණ්ඩුව එහෙම වට්ටන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි. පසුගිය වතාවේ ජනාධිපතිතුමා හා ආණ්ඩුවටයි සරසවි ආචාර්යවරු විශාල පිරිසක් සහාය දුන්නේත්. ඒ නිසා අපේ ප්‍රාර්ථනය පැතුම සාකච්ඡාවෙන් සාකච්ඡාවට ගොස් දිගටම සාකච්ඡා කර රටටත් ආචාර්යවරුන්ටත් ජනතාවටත් සෙතක් වන ආකාරයට මේ විශ්වවිද්‍යාල ප්‍රශ්නය විසඳාගත යුතු කියන එකයි.

No comments: