Tuesday, July 17, 2012

විශ්වවිද්‍යාල අර්බුදය මේ පිබිදීම අනාගතය වෙනුවෙනි

Divaina.com, 16/07/2012




රාජ්‍යයක්‌ සංවර්ධිත වීමට නම් වේගවත් ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කළ හැකි මෙන්ම සමාජ සංස්‌ථාවන් එහිලා දිරිමත් කිරීමට හැකි පර්යේෂණ සහ නව සොයා ගැනීම් සිදු කිරීමේ හැකියාව මූලික අවශ්‍යතාවකි. එමෙන්ම නිර්මාණාත්මකව සිතීමට සහ ක්‍රියා කිරීමටත්, උෙද්‍යාaගීව හා ඵලදායීව වැඩ කිරීමටත් මිනිසුන්ට ඇති හැකියාව ශක්‌තිමත් කළ යුතුය. එහිලා ආර්ථික ක්‍රියාකාරකම් ශක්‌තිමත් කිරීමට මෙන්ම නව තාක්‍ෂණික ඥනය සොයා ගැනීම විෂයෙහි විද්වතුන් ධෛර්යමත් කිරීමට රාජ්‍යයේ මැදිහත්වීම ප්‍රධාන වශයෙන් වැදගත් වේ. සමස්‌තයක්‌ වශයෙන් සැලකීමේදී රාජ්‍යයක දිගු කාලීන සංවර්ධන ඉලක්‌ක සපුරා ගැනීම විෂයෙහි සහ රාජ්‍යය තුළ සාමය ස්‌ථාපිත කරවීමේ අරමුණින් සමාජ සංස්‌ථාවන් දිරිමත් කිරීම විෂයෙහි එක්‌ එක්‌ රාජ්‍යය මගින් හඳුනා ගෙන ඇති උසස්‌ අධ්‍යාපන අංශයට සුවිශේෂී හැකියාවක්‌ ඇත. එමෙන්ම ඊට එහිලා වගකීමක්‌ ද පවතී. එය අන්තර්ජාතික වශයෙන් පිළිගත් සිද්ධාන්තයකි. එම නිසා වර්තමානයේදී සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් උසස්‌ අධ්‍යාපන අංශයට ඉහළ වැදගත්කමක්‌ හිමිකර දී තිබේ.

වර්තමානයේදී සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක්‌ වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රධාන වාසිදායක තත්ත්වයන් දෙකක්‌ හිමි කරගෙන සිටියි. එනම් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට හැකි වීම සහ ශ්‍රී ලංකාව තුළ දිගු කාලීනව බලවත් වන ආකාරයෙන් සාමය උදා කිරීමට හැකි පදනම නිර්මාණය වී තිබීමය. එම අරමුණු සපුරා ගැනීම සඳහා මෙරට උසස්‌ අධ්‍යාපන අංශය ඉතා වැදගත් ක්‍ෂේත්‍රයකි. ඒ අතරින් මෙරට විශ්වවිද්‍යාල ප්‍රමුඛත්වයක්‌ හිමිකර ගනී. එහි ප්‍රතිඵල වශයෙන් පසුගිය වසර 15 ක්‌ තිස්‌සේ රජයේ ප්‍රධාන ප්‍රමුඛතාවය වූයේ සෑම පළාතකටම අවම වශයෙන් එක්‌ විශ්වවිද්‍යාලයක්‌ බැගින් වන පරිදි නව කලාපීය විශ්වවිද්‍යාල ස්‌ථාපිත කිරීම, නව අධ්‍යයන පීඨ හඳුනා ගැනීම මෙන්ම නව අධ්‍යයන අංශ ස්‌ථාපිත කිරීම ඔස්‌සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඇති ඉඩකඩ පුළුල් කිරීමයි. නමුත් ඊට සාපේක්‍ෂව නිසි රාජ්‍ය ප්‍රතිපත්තියක්‌ නොමැතිවීම හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් රාජ්‍ය යාන්ත්‍රණයේ අවධානය ගිලිහී ගොස්‌ ඇති පැතිකඩ බොහෝමයකි.

විශ්වවිද්‍යාල විෂයෙහි රාජ්‍ය වැයකිරීම 

ශ්‍රී ලංකාව දළ ජාතික ආදායමෙන් ප්‍රමාණාත්මකව ඉතා සුළු ප්‍රතිශතයක්‌ උසස්‌ අධ්‍යාපනය විෂයෙහි වැය කරනු ලැබේ. ඒ අනුව වෙනත් අංශයන්ට සාපේක්‍ෂව බැලීමේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වැය කරනුයේ එහි සමස්‌ත රජයේ අයවැයෙන් ඉතා සුළු ප්‍රතිශතයකි. සංවර්ධනය වෙමින් පවතින අනෙකුත් රාජ්‍යයන්ට සාපේක්‍ෂව සමස්‌තයක්‌ වශයෙන් දකුණු ආසියාතික රාජ්‍යයන් උසස්‌ අධ්‍යාපනය සඳහා අඩු ආයෝජන දරයි. ඒ කෙසේ වුවද ශ්‍රී ලංකාවට වඩා අඩු ආර්ථික සංවර්ධන වේගයක්‌ පවතින ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්‌ථානය යන දකුණු ආසියාතික රාජ්‍යයන් සිය දළ ජාතික ආදායමෙන් සියයට 10 -15 අතර ප්‍රතිශතයක්‌ උසස්‌ අධ්‍යාපනය විෂයෙහි වාර්ෂිකව වෙන් කරයි. එහි ප්‍රතිඵල වර්තමානය වන විට එම රාජ්‍යයන් අයත් කරගෙන සිටියි. එහෙත් ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා ආයෝජනය කරනුයේ දකුණු ආසියාවේ සාමාන්‍ය මට්‌ටමට වඩා අඩුවෙනි. එනම් සිය දළ ජාතික ආදායමෙන් සියයට 05 - 10 ත් අතර ප්‍රතිශතයකි. වර්තමානයේදී ශ්‍රී ලංකා රජය අවශ්‍යයෙන්ම අවධානය යොමු කළ යුතු ප්‍රධාන පැතිකඩක්‌ වන්නේ උසස්‌ අධ්‍යාපන අංශය තුළ වඩා ඉහළ මට්‌ටමේ සංවර්ධනයක්‌ කරා යොමුවීම සහ ගුණාත්මක භාවය සහ ආර්ථික, සමාජීය අදාළත්වය වැඩිදියුණු කිරීම සඳහා ඉහළම ප්‍රමුඛත්වයක්‌ ලබාදීම ය. එනම් මෙරට විශ්වවිද්‍යාලයන්හි ඉගැන්වීම් සහ පර්යේෂණ සිදු කිරීම පිණිස රාජ්‍ය ආයෝජන පුළුල් කිරීමට ය. එසේ නොමැතිව අවම රාජ්‍ය ආයෝජනයක්‌ යටතේ විශ්වවිද්‍යාල, අධ්‍යයන පීඨ සහ අධ්‍යයන අංශ සැලසුමක්‌ නොමැතිව ස්‌ථාපිත කිරීම මෙරට විශ්වවිද්‍යාල මගින් අපේක්‍ෂා කරන්නා වූ ජාතික වගකීම හීනවීමට මූලික හේතුවක්‌ වනු ඇත.

ලාභ උපරිමකරණයට විශ්වවිද්‍යාල දිරිමත් කිරීම 

විශ්වවිද්‍යාල මගින් ලාභ උපරිමකරණය කළ යුතුය යන්න වර්තමානයේදී ජාතික වශයෙන් විවාදයට ලක්‌වෙමින් පවතින මතවාදයකි. ඇත්ත වශයෙන්ම මෙහිදී අවධානයට යොමුව ඇත්තේ සෘජුවම මූල්‍ය ලාභ ඉපයීම ය. ශ්‍රී ලංකාව සිය රාජ්‍ය අය වැය ලේඛනය මගින් විශ්වවිද්‍යාල විෂයෙහි එක්‌ ආකාරයක ආයෝජනය කිරීමක්‌ කරනු ලැබේ. එමගින් අපේක්‍ෂො කළයුතු වන්නේ අනෙකුත් ක්‌ෂේත්‍ර විෂයෙහි කරනු ලබන ආයෝජනයන්ට වඩා වෙනස්‌ ප්‍රතිලාභ ය. එනම් නව දැනුම නිර්මාණයවීම සහ පර්යේෂණ සිදු කිරීම යන්නය. ඒ ඔස්‌සේ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කෙරේ. එහෙයින් විශ්වවිද්‍යාල සෘජුවම මූල්‍ය ලාභ උපරිමකරණ ආයතන විශේෂයක්‌ බවට පත් කළ යුතුය යන අදහස හාස්‍යය ජනිත කරවන්නකි.

ඒ කෙසේ වුවද මෙරට විශ්වවිද්‍යාල බොහොමයක්‌ දැනටමත් ආදායම් උත්පාදනය කරන ආයතන වන අතර එම තත්ත්වය වර්ධනය කිරීමේ හැකියාවක්‌ද පවතී. ශ්‍රී ලංකාවෙහි පශ්චාත් උපාධි සඳහා පමණක්‌ ස්‌ථාපිත කිසිදු විශ්වවිද්‍යාලයක්‌ මේ වන තෙක්‌ නොමැත. එම නිසා දැනට පශ්චාත් උපාධි සඳහා අධ්‍යයන කටයුතු සඳහා මගපෙන්වනුයේ ප්‍රථම උපාධිය සඳහා ප්‍රමුඛස්‌ථානය ලබාදීම සඳහා ස්‌ථාපිත විශ්වවිද්‍යාල කීපයක්‌ මගින් පමණි. එම විශ්වවිද්‍යාල පශ්චාත් උපාධි සඳහා ලියාපදිංචිවීමටත් පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සහ පර්යේෂණ සඳහාත් මුදල් අය කිරීම සිදු කරයි. ඒ ඔස්‌සේ වර්තමානයේදී ක්‍රමවත්ව ආරම්භ කරන ලද මෙරට විශ්වවිද්‍යාල කීපයක්‌ පශ්චාත් උපාධි පාඨමාලා ඔස්‌සේ ආදායම් උත්පාදනය කරනු ලැබේ. විශේෂයෙන් මෙහිදී අවධාරණය කළයුතු සාධකයක්‌ වන්නේ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින කුඩා රාජ්‍යවල පුරවැසියන් පශ්චාත් උපාධි පාඨමාලා හැදැරීම ආරම්භ කරනුයේ වෘත්තීමය අවශ්‍යතා පදනම් කර ගනිමිනි. එහෙත් මෙරට රාජ්‍ය යාන්ත්‍රණය මගින් වෘත්තීයමය අරමුණු පදනම් කරගනිමින් පශ්චාත් උපාධි හැදැරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය යොමු කරවීම සඳහා අවම අවධානයක්‌ යොමුකර ඇත. එම නිසා දැනට හඳුනා ගෙන ඇති පශ්චාත් උපාධි පාඨමාලා මගින් ශාස්‌ත්‍රීය ඥනය නිර්මාණය කිරීම හෝ ආදායම් උත්පාදනය අපේක්‍ෂිත ඉලක්‌ක කරා ගමන් කිරීම දුර්වල කර තිබේ. විශ්වවිද්‍යාල විශේෂඥයන් නිර්මාණය කිරීම සහ ගුණාත්මක පර්යේෂකයන් නිර්මාණය කිරීම පදනම් කර පවතී. හුදෙක්‌ එය මූල්‍ය ලාභ උපරිම කිරීම පදනම් කරගත් ක්‍රියාවලියක්‌ නොවේ. එම අරමුණ පදනම් කරගනිමින් විශේෂඥයන් නිර්මාණය කිරීම සහ ගුණාත්මක පර්යේෂකයින් නිර්මාණය කිරීම කළ නොහැකිය. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් මෙම යථාර්ථය අවබෝධ කරගත යුතුය. එනම් මෙරට විශ්වවිද්‍යාල මගින් නිර්මාණය කරන විශේෂඥයන් සහ ගුණාත්මක පර්යේෂකයන් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට අන්තර්ග්‍රහණය කරගැනීමය. විශ්වවිද්‍යාලයක්‌ මගින් රජයට සපයන ලාභ උත්පාදන යාන්ත්‍රණය එයයි. එහෙයින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සංචාරක මණ්‌ඩලය හෝ ආයෝජන මණ්‌ඩලය වැනි ආයතන සමඟ සංසන්දනය කිරීමේ දේශපාලන අමනෝඥ ක්‍රියාවලිය බිඳ දැමිය යුතුය.

පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළ පර්යේෂණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය සතු ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ නොමැත. මෙරට විශ්වවිද්‍යාල තුළ බොහොමයක්‌ පර්යේෂණ සිදුකෙරෙන්නේ පෞද්ගලික ධාරිතාව ඔස්‌සේ සපයා ගනු ලබන මානව සහ භෞතික සම්පත් මගිනි. ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය පර්යේෂණ කාර්යයන් සඳහා මූල්‍ය අවශ්‍යතා සපුරා ගනුයේ තමන්ට හිමි අර්ථසාධක අරමුදලේ ශේෂයෙන් ලබා ගන්නා ණය මුදල් භාවිත කරමින්ය. එහි ප්‍රතිඵල වශයෙන් ඇතැම් ආචාර්යවරුන් විශ්වවිද්‍යාලය තුළ වසර 65 ක්‌ සේවය කරන විශ්‍රාම යනුයේ පෞද්ගලික නිවහනක්‌ හෝ නොමැතිවය. ඔවුන් සිය පර්යේෂණ සහ අධ්‍යයන කාර්යයන් ඒ ආකාරයෙන් සිදු කිරීමට උත්සාහ කළ ද වඩාත් සංවේදී කාරණය වන්නේ සිය පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා අවම පහසුකම් හෝ මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුනට හිමිවී නොමැතිවීමය.

මෙවැනි තත්ත්වයන් යටතේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සිය ආචාර්ය උපාධි පර්යේෂණ ඔස්‌සේ නව දැනුම නිර්මාණය කර තිබෙනවා පමණක්‌ නොව සිය පර්යේෂණ ක්‍රියාවලිය අඛණ්‌ඩව සිදු කරති.

කෙසේ වුවද 2011 වර්ෂය සඳහා වූ රාජ්‍ය අය - වැය ලේඛනය මගින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ද හිමි වන්නා වූ පර්යේෂණ දීමනාවක්‌ ඉදිරිපත් කරන ලදී. එම පර්යේෂණ දීමනාව ගෙවීම සම්බන්ධයෙන් භාණ්‌ඩාගාරයේ ලේකම් සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර කළමනාකාරණ සේවා චක්‍රලේඛ තුනක්‌ නිකුත් කර ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා මෙම පර්යේෂණ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අංක 1/2011 දරණ චක්‍රලේඛය නිකුතු කරනු ලබන්නේ 2011.04.20 වෙනි දිනය. මෙම චක්‍රලේඛය මගින් විශ්වවිද්‍යාලය මගින් පර්යේෂණ දීමනාව ලබාදිය යුත්තේ කථිකාචාර්ය, ෙ-Hෂ්ඨ කථිකාචාර්ය, සහාය මහාචාර්ය, මහාචාර්ය සහ ෙ-Hෂ්ඨ මහාචාර්යවරුන්ට පමණි. ඒ අනුව 1985 අංක 07 දරන විශ්වවිද්‍යාල (සංශෝධන) පනතෙහි 44 වගන්තියේ ප්‍රකාරව ආචාර්යවරයා වශයෙන් පිළිගනු ලබන අනෙකුත් තනතුරු සඳහා මෙම පර්යේෂණ දීමනාව සඳහා හිමිකම් කීමට නොහැකිය.

විශේෂයෙන් මෙහිදී පර්යේෂණ දිමනාවෙහි ක්‍රමවේදය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මෙම පර්යේෂණ දීමනාව අනෙකුත් දීමනා රහිත මුලික වැටුපෙන් 25% ක මාසික දීමනාවක්‌ පමණි. අදාළ පර්යේෂණය 2011.12. 31 වෙනි දින අවසක්‌ කළයුතු බව චක්‍රලේඛ මගින් අවධාරණය කරයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙන් මෙම සාධකය විමර්ශනය කිරීමේදී මෙම 25% දීමනාව සාර්ථක පර්යේෂණයක්‌ කිරීමට ප්‍රමාණවත් ද යන ගැටලුව ද මතු වේ. ඇතැම් පර්යේෂණ විෂයෙහි අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගැනීමටත් මෙය ප්‍රමාණවත් නොවේ. එමෙන්ම පර්යේෂණයක්‌ යනු ක්‍ෂණිකව මූල්‍ය පරමාර්ථ සපුරා ගැනීමේ අරමුණින් සිදු කරන ක්‍රියාදාමයක්‌ නොවේ. එය ක්‍රමානුකූල ක්‍රියාදාමයකි. නව දැනුම ගවේෂණය කිරීමයි. නව දැනුම නිර්මාණය කිරීමයි. එය චක්‍රලේඛ මගින් නිර්මාණය කරනු ලබන කාල පරිච්ඡේදයක්‌ තුළ දී සපුරා ගැනීමට දුෂ්කරය. එසේ කිරීම, එසේ කිරීමට උත්සාහ කිරීම සහ එසේ සිදු කරන්නයෑයි යමෙකු විධානය කිරීම ද හාස්‍ය උපදවන්නකි. ඇතැම්විට පර්යේෂණයක්‌ විෂයෙහි වසර ගණනාවක්‌ ගත විය හැකිය. ඊට සහායකයින්ද අනුයුක්‌ත කර ගැනීමට සිදුවේ. ඊට මෙම 25% දීමනාව කිසිසේත් ප්‍රමාණවත් නොවේ. සමස්‌තයක්‌ වශයෙන් සැළකීමේදී මෙම පර්යේෂණ දීමනාව පිළිබඳව ක්‍රමානුකූල අවබෝධයක්‌ හෝ සැලසුමක්‌ රජය සතුව නොමැත. සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් අතුරෙන් ඉන්දියාව, බංගලාදේශය, තායිලන්තය සහ මැලේසියාව යනාදි රාජ්‍යයන් පර්යේෂණ කාර්යයන් සඳහා විශ්වවිද්‍යාලය විෂයෙහි ලබාදී ඇති ප්‍රමුඛත්වය අප රටේ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය මෙරට විශ්වවිද්‍යාල විෂයෙහි ලබා දී නැත. මෙහිලා අවධානයට යොමු කළ යුතු තවත් වැදගත් කරුණක්‌ නම් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පැවැත්මට ඔරොත්තු නොදෙන ආකාරයෙන් සිසුන්ගේ සංඛ්‍යාව තීරණය කිරීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයාට වඩාත් වැඩි කාලපරිච්ෙ-දයක්‌ පර්යේෂණ කාර්යයන්ට නොව අධ්‍යයන කාර්යයන්ට යොමු කිරීමට සිදුව ඇත. එම නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ දායකත්වය මෙරට සංවර්ධන ක්‍රියාවලීයට අවශෝෂණය කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්‌ථා අවදානමකට ලක්‌ව තිබේ.

දේශපාලන මැදිහත්වීම

විශ්වවිද්‍යාල සහ රාජ්‍යය අතර අෙන්‍යාaන්‍ය බලපැවැත්මක්‌ පවතී. එහෙත් අනර්ථකාරී දේශපාලන මැදිහත්වීමෙන් විශ්වවිද්‍යාල වියුක්‌ත විය යුතුය. වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන ප්‍රධාන සාධකයක්‌ නම් අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් ඔස්‌සේ විශ්වවිද්‍යාල පද්ධතිය අර්බුදයකට පත් කර ඇති ආකාරයකි. පටු දේශපාලන අරමුණු සපුරා ගැනීමේ අරමුණින් වර්තමානය වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරයා සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය අතර සම්බන්ධතාව බිඳ දැමීමට ක්‍රියා කරමින් සිටියි. මෙම දෙපාර්ශවය අතර අෙන්‍යාaන්‍ය විශ්වාසය සහ අවබෝධයෙන් තොරව නව දැනුම නිර්මාණය කිරීම හෝ ගුණාත්මක පර්යේෂකයින් බිහිවීම සිදු නොවේ. එමනිසා ලෝකය තුළින් විශ්වය විමර්ශනය කරනු ලබන පුද්ගලයෙකු වඩා ලෝකය තුළින් හිස්‌ අවකාශය දෙස අපේක්‍ෂාභංගත්වයෙන් බලා සිටින පුද්ගලයෙකු බිහිවීම අනිවාර්යයෙන්ම සිදුවේ. දෙවෙනුව මෙරට විශ්වවිද්‍යාල සඳහා බදවා ගනු ලබන සිසුන්ගේ සංඛ්‍යාව ද දේශපාලන න්‍යාය පත්‍රයට අනුව තීරණය කරනු ලබන තත්ත්වයකට පත්ව තිබේ. එහිලා ප්‍රධාන වශයෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සතු මානව සහ භෞතික සම්පත් පිළිබඳ සාධකය නොසළකා හැර ඇත. එපමණක්‌ නොව විශ්වවිද්‍යාල මගින් බිහිවන උපාධිධාරීන් සංවර්ධන ක්‍රියාවලියට අවශෝෂණය කර ගැනීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකා රාජ්‍ය මුහුණ දෙමින් සිටියි. විශ්වවිද්‍යාලය සහ එයින් බිහිවන උපාධිධාරීන්ගේ ගුණාත්මක භාවය අවතක්‌සේරු කිරීම ඔස්‌සේ මෙම ගැටලුවෙන් මග හැර සිටීමට දේශපාලන බලධාරීන් ඉතාමත් නින්දිත ආකාරයේ උත්සාහයක නිරත වේ.

ආකල්ප වෙනස්‌ කිරීම

මෙරට විශ්වවිද්‍යාල මගින් බිහිකරන උපාධිධාරීන් පෞද්ගලික අංශයට අනුයුක්‌ත කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතු බව 2009 වර්ෂයේදී ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කරන ලද THE TOWERS OF LEARNING PERFORMANCE, PERIL AND PROMISE OF HIGHER EDUCATION IN SRI LANKA යන වාර්තාව මගින් අවධාරණය කර සිටියි. ලෝක බැංකුව අවධාරණය කරන ආකාරයට එහිලා මෙරට උපාධිධාරීන් පුහුණු කිරීමේ හැකියාව, නම්‍යශීලී භාවය, කණ්‌ඩායම් හැඟêම, සන්නිවේදනය, ධනාත්මක චින්තනය සහ විනයානුකූල භාවය වැනි ආකල්ප සහ කුසලතා ප්‍රගුණ කළ යුතුය. එම වාර්තාව මගින් පෙන්වා දෙන ආකාරයට මෙරට විශ්වවිද්‍යාල වල පවතින උපාධි වැඩසටහන් ප්‍රධාන වශයෙන් ඉලක්‌ක කොට ඇත්තේ විෂය කරුණු සහ ශිෂ්‍යයන්ගේ තාක්‍ෂණික කුසලතා කෙරෙහි පමණි. එය සාවද්‍ය හඳුනා ගැනීමකි. එහෙයින් වර්තමානයේදී මෙරට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නගන නායක්‌තව පුහුණු වැඩසටහන හුදෙක්‌ ශ්‍රී ලංකාවට අවශ්‍ය නායකයින් බිහි කිරීම පදනම් කරගනු ලැබූවකට වඩා මෙම ලෝක බැංකු උපදෙස්‌ ක්‍රියාවට නැගීමක අරමුණු කරගත්තකි. සමස්‌තයක්‌ වශයෙන් සැළකීමේදී මෙරට විශ්වවිද්‍යාල මගින් බිහි කරනු ලබන උපාධිධාරියා පුහුණු කිරීමේ හැකියාව, නම්‍යශීලී භාවය, කණ්‌ඩායම් හැඟêම්, සන්නිවේදනය, ධනාත්මක චින්තනය සහ විනයානුකූල භාවය වැනි ආකල්ප සහ කුසලතාවලින් යුක්‌තය. ඊට අනුකූල වන ආකාරයෙන් පාඨමාලා සංවර්ධනය කර තිබේ. මෙම සාධකය ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට රාජ්‍ය අංශ ඔස්‌සේ සහ පෞද්ගලික අංශය ඔස්‌සේ මෙරට විශ්වවිද්‍යාල මගින් බිහි කරනු ලැබූ උපාධිධාරීන්ගේ දායකත්වය තක්‌aසේරු කිරීම ඔස්‌සේ නිවැරදිව අවබෝධ කරගත හැකිය.

ඒ කෙසේ වුවද නිදහස්‌ අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක වන රාජ්‍යයක්‌ වශයෙන් ශ්‍රී ලංකාව තම විශ්වවිද්‍යාල මගින් බිහි කරන උපාධිධාරීන් අවතක්‌සේරුවට ලක්‌ නොකළ යුතුය. එසේ ප්‍රකාශ කිරීම ඔස්‌සේ තහවුරු කිරීමට උත්සාහ කරනුයේ පළමු වසරේ සිට උපාධිය දක්‌වා රජය මගින් ජාතික සම්පත් ආයෝජනය කර ඇත්තේ නිෂ්ඵල ක්‍රියාදාමයකට බවය. එය එසේ නම් ඊට වගකිව යුතු වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෝ ශිෂ්‍යයින් හෝ නොව මෙරට අධ්‍යාපන අමාත්‍යාංශය සහ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයයි. අමනෝඥ දේශපාලනඥයින්ගේ අමනෝඥ ප්‍රකාශන කෙසේ වුවද පසුගිය කාලපරිච්ඡේදය තුළ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය මගින් ජාතික වශයෙන් පමණක්‌ නොව අන්තර්ජාතික වශයෙන්ද කීර්තියට පත් අතිවිශිෂ්ට ගණයේ බුද්ධිමතුන් බිහිකර ඇතැයි යන්න අවිවාදාත්මකය.

නමුත් වර්තමානයේදී හුදු දේශපාලන බලපැවැත්ම අපේක්‍ෂාවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යාගේ ආත්ම විශ්වාසය බිඳ දමා ඇත. එමෙන්ම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කිසිදු සැලසුමකින් තොරව විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගනිමින් සිටියි. විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේදී "ජාතික අවශ්‍යතාව" යන මුලධර්මය නොතකා හැර තිබේ. රජය මගින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට සිය අධ්‍යයන කටයුතු කිරීම සඳහා අවශ්‍ය කෙරෙන මානසික සහ භෞතික පරිසරය නිර්මාණය කිරීමට මූලිකත්වයක්‌ ලබා නොදෙන රාමුවක්‌ තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යා තුළ ආකල්ප වර්ධනයක්‌ සම්බන්ධයෙන් කෙරෙන රජයේ සාකච්ඡා භාස්‍ය ජනකය.

බුද්ධිගලනය පාලනය කිරීම

බුද්ධිගලනය මෙරට සංවර්ධන ක්‍රියාවලිය වේගවත්වීම විෂයෙහි අයහපත් ආකාරයෙන් බලපා ඇති සාධක අතරින් ප්‍රමුඛත්වයක්‌ උසුලයි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල බුද්ධිගලනයේ බලපෑමට ලක්‌වීමට සිවිල් යුද්ධය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ප්‍රමාණවත් වැටුපක්‌ නොලැබීම යන ප්‍රධාන සාධක දෙක බලපා තිබේ. දශක කීපයක්‌ පුරා පැවැති සිවිල් යුද්ධයේ එක්‌ අයහපත් ප්‍රතිඵලයක්‌ නම් බුද්ධිගලනයයි. එනම් අතිවිශිෂ්ට ගණයේ බුද්ධිමත්හු සිවිල් යුද්ධය නිසා විදේශගත වූහ. සිවිල් යුද්ධය අවසන් වීමත් සමග මෙරට හැර ගිය බුද්ධිමතුන්ගේ දායකත්වය නැවත සංවර්ධනය ක්‍රියාවලියට දායක කර ගැනීමේ පසුබිම උදාවී තිබේ. දෙවෙනුව ප්‍රමාණවත් වැටුපක්‌ නොලැබීම යන සාධකය ප්‍රධාන වශයෙන් බුද්ධිගලනය විෂයෙහි බලපා ඇත. එනම් මෙරට විශ්වවිද්‍යාල ආචාරවරුන් සඳහා හිමි වන්නේ අසල්වැසි ඉන්දියාවේ විශ්වවිද්‍යාල ආචාර්යරුන්ට හිමිවනවාටත් වඩා අඩු වැටුපක්‌ සහ පහසුකම්ය.

එමෙන්ම ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ දැනුමේ කේන්ද්‍රස්‌ථානය බවට පත් කිරීමට නම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අත්‍යවශ්‍ය සාධකයකි. එනම් ආසියානු කලාපයේ සංවර්ධන සහ සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රාජ්‍යයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සපයා ඇති පහසුකම් සහ වැටුප් තල මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ද ලබාදීම අත්‍යාවශ්‍ය සාධකයකි. ආසියානු කලාපයේ දැනුමේ කේන්ද්‍රස්‌ථානය බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීමට පෙර දකුණු ආසියානු කලාපයේ දැනුමේ කේන්ද්‍රස්‌ථානය බවට මෙරට පත් කළයුතු යුතුය යන්න විශේෂයෙන් මෙහිදී අවධානයට යොමු කළයුතු සාධකයකි. එහිලා දැනට එම ස්‌ථානය හිමි කරගෙන සිටින ඉන්දියාව සමග තරගකාරීව ක්‍රියා කිරීමට සිදුවේ. එනම් ඉන්දියානු විශවවිද්‍යාලයන්හි ආචාර්යවරයාට වඩා ඉහළ පහසුකම් සහ වැටුපක්‌ මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරයාට ලබාදීම මූලික අවශ්‍යතාවකි. එහෙත් බංගලාදේශයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් භුක්‌තිවිදින පහසුකම්වත් මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබාදීමට දේශපාලන බලධාරීන් සූදානම් නොමැති තත්ත්වයක්‌ මත ආසියානු කලාපයේ නොව දකුණු ආසියානු කලාපයේ හෝ දැනුමේ කේන්ද්‍රස්‌ථානය බවට ශ්‍රී ලංකාව බවට පත් කිරීමේ වත්මන් රජයේ අරමුණ හාස්‍ය උපදවන්නකි.

මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණ දෙමින් සිටින ගැටලු නිවැදිව හඳුනා ගැනීම සහ ඊට දිගු කාලීන විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් මෙරට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතුව කිසිදු විධිමත් වැඩ පිළිවෙළක්‌ නොමැති බවයි. කෙසේ වුවද විශ්වවිද්‍යාලයක පැවැත්මට අවශ්‍ය ප්‍රධාන සහ මූලික සාධකය වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරයාය. ඔවුන් විසින් විශ්වවිද්‍යාල තුළ සිදු වෙමින් පවතින බුද්ධිගලනය අවම කිරීම, සංක්‍රමණික බුද්ධිමතුන් නැවත මෙරටට කැඳවීම සහ ඔවුන්ගේ අධ්‍යයන කටයුතු මෙන්ම පර්යේෂණ කටයුතු වඩාත් නිදහස්‌ පරිසරයක්‌ තුළ ක්‍රියාවට නැගීම යන සාධක පදනම් කරගනිමින් කරනු ලබන ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුමක්‌ ලබාදී දැනට අකර්මණ්‍යව පවතින විශ්වවිද්‍යාල පද්ධතිය සක්‍රීය කිරීමට අවධානය යොමු නොකරන පසුබිමක්‌ තුළ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය මුහුණපා ඇති සෙසු ගැටලු විෂයෙහි රජයේ අවධානය යොමු වේ යෑයි සිතීම උගහටය. එහෙයින් ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ක්‍රියාවලියේ ජීවනාලිය වන මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය අමනෝඥ දේශපාලන අන්දරේලාගේ සහ ඔවුන්ගේ අනුගාමිකයින්ගේ කෙළි බිමක්‌ බවට පත් වීමට ඉඩප්‍රස්‌ථා නොතබන දිගු කාලීනව බලපවත්වන රාජ්‍ය ප්‍රතිපත්තියක අවශ්‍යතාව උදාවී තිබේ.

ආචාර්ය ජීවක සමන් කුමාර
කථිකාචාර්ය
දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

No comments: