Sunday, July 8, 2012

විශ්වවිද්‍යාල අද නිදහස්‌ ආයතන නෙමෙයි

Divaina.com, 07/07/2012


විද්වත් හමුව

විශ්වවිද්‍යාල අද නිදහස්‌ ආයතන නෙමෙයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ
මහාචාර්ය දයා අමරසේකර


අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සුලභව දැකිය හැකි ගැටලු රාශියකි. ශිෂ්‍ය අරගල, වැටුප් ප්‍රශ්න, නවකවදය, පරිපාලන ගැටලු ආදිය වශයෙන් මේවා සැකෙවින් දැක්‌විය හැකිය. මතුපිටින් අපට පෙනෙන මේ සියලු ගැටලු වර්තමාන විශ්වවිද්‍යාල පද්ධතිය අභ්‍යන්තරයේ හටගෙන ඇති ප්‍රධාන අර්බුදයක ප්‍රතිඵලයක්‌ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකරයන් පවසයි. රාජ්‍ය අංශය සහ විශ්වවිද්‍යාලය අතර අද හටගෙන ඇති ගැටුමෙන් සහ සමාජය හා විශ්වවිද්‍යාලය අතර ඇති සබඳතා පළුදුවීමෙන් හටගෙන ඇති මේ අර්බුදය පිළිබඳ මහාචාර්ය දයා අමරසේකරයන් සමග "දිවයින ඉරිදා සංග්‍රහය" පැවැත්වූ සාකච්ඡාවකි මේ. මහාචාර්ය දයා අමරසේකර සමාජවිද්‍යාව පිළිබඳ මෙරට පුරෝගාමී මෙහෙවරක නිරතව සිටින ප්‍රාමාණික විද්වතෙකි.

අපේ රටේ විශ්වවිද්‍යාලවලට තවදුරටත් ඒවා නිදහස්‌ අධ්‍යාපන ආයතන ලෙස පැවතීම පිළිබඳව බලවත් තර්ජනයක්‌ එල්ල වී තිබෙනවද?

අධ්‍යාපනය කියන්නෙ යමෙක්‌ අද්දැකීම් සමුදායකින් ලබන ඥනය ආශ්‍රය කරගත් ක්‍රියාවලියක්‌. ඒ ක්‍රියාවලිය අද්දැකීම් තුළින් දැනුම හා පරිකල්පනය ලබමින් සිදුවෙන්නා වූ ක්‍රියාවලියක්‌ නිදහස්‌ අධ්‍යාපනය ලබාදෙන ආයතන සම්බන්ධයෙන් කතා කළොත් මේවා විධිමත් අධ්‍යාපනයක්‌ ලබාදීම සඳහා පිහිටුවූ ආයතන විශ්වවිද්‍යාලයක්‌ කියන්නෙත් එබඳු තැනක්‌. විශේෂයෙන් පර්යේෂණ පිළිබඳ දැනුවත් අයට අලුතින් පර්යේෂණ කරල කරුණු හොයල රටට දෙන පුද්ගලයන් බිහිකරන තැනක්‌. මේ ආයතන පැහැදිලිවම නිදහස්‌ ආයතන වෙන්නට ඕන.

අපේ විශ්වවිද්‍යාල තුළ මතුපිටින් දකින්නට ලැබෙන අරගල ගැඹුරින් විග්‍රහ කරන්නට යැමේදී මේ ආයතන අද ඇත්ත වශයෙන්ම නිදහස්‌ ද කියන ප්‍රශ්නය අප තුළ නැඟෙනවා. වැටුප් ප්‍රශ්නය හෝ වේවා ශිෂ්‍ය අරගල හෝ වේවා නවකවදය හෝ වේවා වෙනත් පරිපාලන ගැටලු හෝ වේවා මේ සියල්ල අද විශ්වවිද්‍යාලවල තිබෙන අප මතුපිටින් දකින ප්‍රශ්න මේ ප්‍රශ්න තුළින් නිරූපණය වෙන්නෙ අපේ රටේ විශ්වවිද්‍යාල අද නිදහස්‌ නෑ කියන කාරණයයි.

විශ්වවිද්‍යාල නිදහස්‌ නෑ කියල ඔබ කියන්නෙ කොහොමද?

අපේ රටේ විශ්වවිද්‍යාල අද ආකෘතිමය වශයෙන් එක සැලැස්‌මක්‌ තුළ දීර්ඝ කාලයක්‌ ලැගල ඉන්නව. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගත්තොත් මේ විශ්වවිද්‍යාලය හදාගෙන තිබෙන ආකෘතිමය සැලැස්‌මක්‌ තිබෙනව. එය කලාවට, සාහිත්‍යයට දේශපාලනයට බලපාල තියෙනවා. මෙය කිසියම් මොඩලයක්‌ බවට පත්වෙලා. එය බටහිර ආකෘති සමග ගලපන්න උත්සාහ කරනව. අද අලුතින් ස්‌ථාපිත කරපු විශ්වවිද්‍යාල මේ දෙකටම නැති අලුත් ආකෘති බිහිවෙලා තියෙනව. කල්ගත වීමේදී මේ විශ්වවිද්‍යාල ඒ ආකෘතිවලින් ගැලවෙන්නට බැරිව ඒවා තුළ සිරවී තිබෙන තත්ත්වයක්‌ ඇති වෙනව.

අනිත් කාරණය අද අපේ විශ්වවිද්‍යාල මතවාදීවත් සිරවී තිබෙන තත්ත්වයක්‌ ඇතිවෙලා පනහ දශකයේ අගභාගයේ සහ හැටේ දශකයේදී පමණ අපේ රටේ විශ්වවිද්‍යාල තුළ විවිධ මත ඉවසන පරිසරයක්‌, විවිධ මතවලට ඉඩ ලැබෙන පරිසරයක්‌ නිර්මාණය වී තිබුණා. අද ඒ තත්ත්වය විශ්වවිද්‍යාල තුළ සම්පූර්ණයෙන්ම පාහේ නැතිවී යමින් තිබෙනව. එසේම අද රාජ්‍ය දේශපාලන යාන්ත්‍රණය විශ්වවිද්‍යාල තුළට ප්‍රවිශ්ට වී තිබෙනව. එය අද විශ්වවිද්‍යාලයේ පරිපාලන ව්‍යqහයට කෘත්‍රිම බලපෑම් ඇතිකර තිබෙනවා. මෙය අද ඊයේ ඇතිවූ තත්ත්වයක්‌ නෙමෙයි. 1972 විශ්වවිද්‍යාල පනත වැනි ඒ පිළිබඳ දීර්ඝකාලීන ඉතිහාසයක්‌ තිබෙනව.

අදහස්‌ පළකරන්න අවශ්‍ය නෑ අපේ වැඩක්‌ කරගෙන ඉම්මු කියල හිතන පිරිස අද විශ්වවිද්‍යාල තුළ එන්න එන්නම වැඩිවෙමින් තිබෙනව. මේ ආකාරයට විශ්වවිද්‍යාලයක තිබිය යුතු මතවාදී පරිසරය අද තුන් ආකාරයකට සිරවෙලා තිබෙනව.

ආකෘතිමය සහ මතවාදීව අපේ රටේ විශ්වවිද්‍යාල මෙබඳු සිරවීමකට ලක්‌වී තිබෙන්නෙ ඇයි?

එය මා දකින්නෙ පවතින ආර්ථික ක්‍රමයෙන් හා ආර්ථික පරිසරයෙන් එල්ල කර තිබෙන බලපෑම්වල ප්‍රතිඵලයක්‌ විදිහටයි. පසුගිය දශක කිහිපය තුළ සිට අපේ රටේ පරිභෝජනවාදී සංස්‌කෘතියක්‌ සීග්‍රයෙන් වර්ධනය වී තිබෙනව. අපේ රටේ සියලුම සමාජ ආයතනවලට මෙය බලපාන කාරණයක්‌. අද විශාල ප්‍රවාහයක්‌ හැටියට වේගයෙන් ගලාගෙන එන මේ හරහා දේශපාලන බලය, සමාජ තත්ත්වය හා ආර්ථික තත්ත්වය කියන ප්‍රධාන සාධක තුනක්‌ ඉදිරියට එමින් තිබෙනව. රටක පරිභෝජනවාදී සංස්‌කෘතියක්‌ වේගයෙන් ඉදිරියට එන විට ආර්ථික බලය, දේශපාලන බලය සහ සමාජ තත්ත්වය යන බලයන් තුන සමාජය පාලනය කරන තත්ත්වයක්‌ ඇතිවන බව මැකියාවෙලි නම් සමාජ විද්‍යාඥයා ප්‍රකාශ කර තිබෙනවා. අපේ රටේ නිදහස්‌ අධ්‍යාපන ආයතන පවතින්නෙත් අද මේ පරිසරය තුළ. මේ පරිසරය අපට වෙනස්‌ කරන්න බෑ. අපට එයට අනුගත වෙන්න වෙනව.

ඒ අනුගතවීම තුළ අපට නිදහස්‌ අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන්න බැරිද?

පුළුවන්. එය කළ හැක්‌කේ එයට එරෙහිව සටන් කිරීමෙන් හෝ එම මතවාද පරාජය කිරීමට වෙනත් ක්‍රියාමාර්ග ගැනීමෙන් වත් නෙමෙයි. මේ පරිභෝජනවාදී සංස්‌කෘතිය හසුරුවන පිරිස පිළිබඳව සහ එහි ප්‍රතිඵල පිළිබඳ සමාජය හොඳින් දැනුවත් කිරීමෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක්‌ විශ්වවිද්‍යාලයකට තිබෙනව. මේ පරිභෝජනවාදී සංස්‌කෘතිය හසුරුවන්නන් සහ එම ක්‍රියාදාමයේ ප්‍රතිඵල පිළිබඳ සමාජය දැනුවත් කරනවා වෙනුවට අද විශ්වවිද්‍යාලයක්‌ මේ පරිභෝජනවාදී සංස්‌කෘතික ප්‍රවාහයේම කොටස්‌කරුවන් බවට පත්වෙලා. අද පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම, බාහිර උපාධි ඇතුළු විවිධ පාඨමාලා පැවැත්වීම ආදිය එහි ප්‍රතිඵල විශ්වවිද්‍යාල නිදහස්‌ ආයතන ලෙස පවත්වාගෙන යන්නට නම් ඒවා මේ පරිභෝජනවාදී සංස්‌කෘතික ප්‍රවාහයේ කොටස්‌කරුවන් නොවී මැදහත්ව ඒ දෙස බලන ආයතන බවට පත්වෙන්නට ඕන. අණ පනත් තුළින් විශ්වවිද්‍යාලවලට ඒ නිදහස ලබාගන්න බෑ. අණපනත් තුළින් ලබන නිදහස සීමා කරන ගතික තත්ත්වයක්‌ මේ පරිභෝජනවාදී සංස්‌කෘතික ප්‍රවාහය තුළින්ම ඇති කරනව. එම නිසා අද විශ්වවිද්‍යාල නිදහස්‌ ආයතන බවට පත්කරගන්නට නම් මතවාදී වෙනසක්‌ සිදුවෙන්නට ඕන.

සෑම ක්‍ෂේත්‍රයකම නව දැනුම සම්පාදනය කිරීම විශ්වවිද්‍යාලයක ප්‍රධාන කාර්යයක්‌. එහිදී පවතින ක්‍රමයේ යම් යම් අඩුපාඩු පෙන්වා දීමත් සිදුවිය යුතුයි. නමුත් ඕනෑම ආණ්‌ඩුවක්‌ වඩා කැමති පවතින ක්‍රමය වෙනස්‌ කිරීමට වඩා අඩුපාඩු සහිතව හෝ එය පවත්වාගෙන යැමටයි. ඒ තුළින් ඔවුන්ගේ පැවැත්ම තහවුරුකර ගැනීමටයි. අද ආණ්‌ඩුව හා විශ්වවිද්‍යාලය අතර ගැටුම පටන් ගන්නේ මෙතැනින්ද?

අපි රජය කියල හඳුන්වන තැන ඇත්තටම ක්‍රියාත්මක වෙන්නෙ දේශපාලන අධිකාරියක්‌. ඒ වගේම මේ පරිභෝජනවාදී සංස්‌කෘතික සමාජය විශ්වවිද්‍යාලයෙන් බලාපොරොත්තු වෙන්නෙ රැකියා සඳහා ශ්‍රමිකයන්. නමුත් විශ්වවිද්‍යාලයකින් විය යුත්තේ නව දැනුම නිර්මාණය කරමින් එම නව දැනුම අනාගතයට නිෂ්පාදනය කර බෙදාහැරිය හැකි බුද්ධිමතුන් බිහිකිරීම මිස කිසියම් රැකියාවක්‌ කළ හැකි නිපුණ සහ අර්ධ නිපුණ වෘත්තිකයන් පිරිසක්‌ බිහිකිරීම පමණක්‌ නෙමෙයි. නමුත් අද රාජ්‍යතන්ත්‍රය විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා සිටින්නෙ මේ නව දැනුම නෙමෙයි. වෘත්තිකයන්. ඒ නිසා මෙතැන ගැටුමක්‌ නිර්මාණය වී තිබෙනව. මෙහි ප්‍රතිඵල විවිධාකාරයෙන් බලපානව.

1970 දශකයේ අග භාගය වන විට සුබසාධක අධ්‍යාපනයේ ප්‍රතිඵල ලබල විශාල උගතුන් ප්‍රමාණයක්‌ බිහිවෙලා. ඒ උගතුන්ට රැකියා ප්‍රශ්නයක්‌ ඇතිවෙලා එය සමාජ අර්බුදයක්‌ බවට පත්වෙලා. 71 කැරැල්ල දක්‌වා එය වර්ධනය වෙනව. 1988 දිත් අපි දකින්නෙ ඒ තත්ත්වයයි. අපේ රටේ තරුණ අසහනය පිටුපස මේ ගැටුම තිබෙනව. අද රාජ්‍ය තන්ත්‍රයේ අපේක්‍ෂා හා විශ්වවිද්‍යාලයේ අපේක්‍ෂා අතර විශාල ගැටුමක්‌ තිබෙනව.

අද විශ්වවිද්‍යාලය තුළ විවිධ පාඨමාලා, පෞද්ගලික විශ්වවිද්‍යාල, වෛද්‍ය විද්‍යාල ආදිය පෙළගැහෙන්නෙ මේ ගැටුමත් එක්‌ක. මෙය සාධාරණීකරණය කරන්න ඉදිරිපත් වී තිබෙන ප්‍රධාන කාරණය රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉඩ මදි කියන තර්කය?

අපේ රටේ ජාතික විශ්වවිද්‍යාල තුළ ඒවා තවත් පුළුල් කළ හැකි ඉඩකඩක්‌ තිබෙනව. නමුත් පහසුකම් අතින් ජාතික විශ්වවිද්‍යාලවල තත්ත්වය කනගාටුදායකයි. පෞද්ගලික අංශය විශ්වවිද්‍යාලවලට සම්බන්ධ කරගැනීම ලිබරල් චින්තනය පදනම් කරගත් පැරණි අදහසක්‌. ලාබ ලැබීමේ අදහසින් මේවා සම්බන්ධකර ගැනීම පුළුල්ව කල්පනා කර බැලිය යුතු කාරණයක්‌. මේ පිළිබඳ ලෝකයේ වෙනත් රටවල තත්ත්වය අපේ රටට එකපාරටම ආදේශ කරන්න අමාරුයි. රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක්‌ තිබිය යුතුයි කියන මතය අද ලෝකය ප්‍රතික්‍ෂේප කරල තියෙනව. ලෝකයේ දියුණු අධ්‍යාපනයක්‌ තියෙන ප්‍රධාන රටවල පමණක්‌ නොවෙයි සිංගප්පුරුව, දකුණු කොරියාව, මැලේසියාව වැනි රටවලත් ලාබය අරමුණු නොකළ රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකටම උසස්‌ අධ්‍යාපනය සැපයීමට විශ්වවිද්‍යාල තියෙනව.

නමුත් අපේ රටේ අරමුණ ලාභය පදනම් කර ගනිමින් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්නයි. ලාභය අරමුණු කරගෙන සහ ලාභය අරමුණු නොකර පිහිටුවන විශ්වවිද්‍යාල ලෙස ලෝකයේ වෙනත් රටවල මේ පිළිබඳ වර්ගීකරණයක්‌ තියෙනව. අපේ රටේ එබඳු වර්ගීකරණයක්‌ නෑ. ලාභය පමණක්‌ අරමුණු කරගෙන පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට යැමෙන් අද එහි අර්බුද හටගෙන තිබෙනවා. අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවෙන්නෙ රාජ්‍ය යාන්ත්‍රණයේ අරමුණු ඉටුකරන්නයි. එසේ නොකර රාජ්‍ය හා පෞද්ගලික අංශය සම සමව මෙයට සම්බන්ධවෙලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනව නම් මේ ගැටලු සමනය කරගෙන ඉදිරියට යන්න පුළුවන්.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

No comments: