Friday, May 3, 2013

රු. ලක්‌ෂ 75 කට වෛද්‍ය උපාධිය මිලට ගැනීමට පේරාදෙණි ගිය 9 දෙනාට පීඨයේ දොර වැසේ!

Divaina.com, 03/05/2013
නිලන්ත මදුරාවල

රුපියල් හැත්තෑපන් ලක්‍ෂයකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය උපාධිය ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එවූ ශ්‍රී ලාංකික සිසුන් නව දෙනා පිළි නොගැනීමට එම වෛද්‍ය පීඨ මණ්‌ඩලය ඊයේ (2 වැනිදා) දහවල් තීරණය කළේය.

මෙම එක්‌ සිසුවකුගෙන් වසරකට රුපියල් ලක්‍ෂ පහළොවක්‌ (15 ක්‌) හෙවත් ඇමරිකානු ඩොලර් දොළොස්‌දහසක්‌ අය කළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලිතව දැනුම් දී ඇත.

මෙම සිසුන්ගේ පැමිණීමත් සමග උසස්‌ පෙළ විභාගයෙන් සමත්ව වෛද්‍ය පීඨයට ඇතුළත්ව සිටින සිසුන් අතර ඊයේ දැඩි නොසන්සුන්තාවක්‌ ඇති වී තිබිණි. පේරාදෙණිය වෛද්‍ය උපාධිය මෙලෙස මුදලට අලෙවි කිරීමේ ක්‍රියා මාර්ගයට විරෝධය පළ කරමින් සිසුහු ඊයේ දහවල් විශ්වවිද්‍යාල භූමියේදී සත්‍යග්‍රහයක ද නිරත වූහ.

වෛද්‍ය උපාධිය මුදලට ලබා ගැනීම සඳහා පැමිණි සිසුන් නවදෙනා වෛද්‍ය පීඨ සිසුන් ලෙස පිළිනොගැනීමට පීඨ මණ්‌ඩලය තීරණය කළේ සිසුන්ගේ සත්‍යග්‍රහ විරෝධතාවෙන් පසුවය. ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් යවන ලද ශිෂ්‍ය නාමලේඛනයේ මුස්‌ලිම් හා දෙමළ සිසුහු දෙදෙනා බැගින් සිටිති.

විදේශයන්හි අධ්‍යාපනය ලැබූ මෙම ශ්‍රී ලාංකික සිසුන් වෛද්‍ය පීඨයට ඇතුළත් කළේ කැබිනට්‌ මණ්‌ඩල තීරණයක්‌ අනුව යෑයි මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසීය. මේ අයුරින් ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ, කැලණිය හා රජරට යන විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨයන්ට ද සිසුන් ඇතුළත් කර සිටින බවත් හෙතෙම කීවේය.

විදේශයන්හි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා පැවැති සියයට දශම පහක ප්‍රතිශතය මේ වන විට සියයට පහ දක්‌වා වැඩිකර ඇති බවත් මෙම සිසුන් ඇතුළත් කර සිටින්නේ ඒ අනුව බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය.

මෙම සිසුන් තෝරා ගත්තේ ඒ ඒ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් බවද එම තෝරා ගැනීම් සඳහා ප්‍රතිපාදන කොමිෂන් සභාව සම්බන්ධ නොවූ බවද එම නිලධාරියා තවදුරටත් කියා සිටියේය. සිසුන් ඇතුළත් කිරීම නීත්‍යනුකූලව සිදුකර තිබෙන බවද පීඨ මණ්‌ඩලය, ඔවුන් ඇතුළත් කරන අවස්‌ථාවේ විරෝධයක්‌ දක්‌වා නැති බවද එම නිලධාරියා සඳහන් කළේය.

එමෙන්ම කැබිනට්‌ මණ්‌ඩලය ගත් තීරණයක්‌ ක්‍රියාත්මක කිරීමට ඕනෑම ආයතනයක්‌ බැඳී සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

No comments: