Wednesday, May 30, 2012

අධ්‍යාපන අමාත්‍යාංශය සමග කරන සියලු කටයුතුවලින් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු තීරණය කරති

www.divaina.com, 30/05/2012

නිලන්ත මදුරාවල

උසස්‌ පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීමද ඇතුළුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග කරන සියලු කටයුතුවලින් වහාම ඉවත් වීමට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ (29 වැනිදා) සවස තීරණය කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇතිවූ සිද්ධියකින් පසු ආචාර්යවරුන් තමන්ට මරණීය තර්ජන එල්ල කළ බව සඳහන් කරමින් හා එම ආචාර්යවරුන් පිළිබඳව පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස අමාත්‍යාංශ ලේකම් එච්. එම්. ගුණසේකර මහතා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට කළ ලිත දැනුම් දීමට එරෙහිව සම්මේලනය මෙම තීරණය ගෙන ඇත.

මරණීය තර්ජන එල්ල කිරීමක්‌ කිසි සේත්ම සිදුනොවී ඇති අවස්‌ථාවක එවැනි තර්ජනයක්‌ එල්ල වූ බව සඳහන් කරමින් ඊට අදාළව පරීක්‍ෂණයක්‌ කරන ලෙස ලිතව දැනුම් දීම බරපතළ තත්ත්වයක්‌ යෑයි එම සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා "දිවයින"ට පැවසීය.

උසස්‌ පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීම ඇතුළු විභාගයට අදාළ කටයුතු රැසක්‌ ඉටු කරනු ලබන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් වන අතර පෙළ පොත්වල අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් ද ආචාර්යවරුන්ගේ මැදිහත් වීම අමාත්‍යාංශයට අවශ්‍ය වේ.

මෙම කටයුතුවලින් ඉවත් වීමට සම්මේලනය තීරණය කිරීමට තවත් හේතුවක්‌ වූයේ අධ්‍යාපන ලේකම්වරයාගේ නොසලකා හැරීමේ ප්‍රතිපත්තිය බවත් දේවසිරි මහතා සඳහන් කළේය.

සිය දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර නොගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් පස්‌ දෙනෙක්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස්‌ තිබූ අතර එහිදී ඇතිවූ වචන හුවමාරුවකින් පසුව ආචාර්යවරුන් තමන්ට මරණීය තර්ජන එල්ල කළ බවට ලේකම්වරයා තලංගම පොලිසියට කළ පැමිණිල්ලට අදාළව පරීක්‍ෂණයක්‌ ද පවත්වා ඇත. ලේකම්වරයා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට සිද්ධිය දන්වා පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ඉල්ලා ඇත්තේ ඉන් පසුවය.

No comments: