Monday, October 10, 2011

පෞද්ගලික විශ්වවිද්‍යාල

Lankadeepa, 03/10/2011, සුනේත්‍රා වීරකෝන්

පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ ප්‍රශ්නය නැවතත් කරලියට ආ ලෙසකි. රටේ අනාගතය දීප්තිමත් වීමට නම් දුප්පත්-පොහොසත්, ජාති-ආගම්, කුල-මල භේදයකින් තොරව අපේ දරුවන් හැකි උපරිම දැනුමෙන් සහ නිපුණතා වලින් පිරිපුන්, නිරෝගී මනසකින් හෙබි තෘප්තිමත් පුද්ගලයන් බවට පත්විය යුතුය. තම ආර්ථික හා සමාජයීය පසුබිම මගින් කිසියම් හැඩගැස්වීමක් ලැබුණද, පුද්ගලයාගේ පෞර්ෂය, දැනුම හා නිපුණතා ඔප්නැංවීමේ කාර්යභාරය වැඩිමනත් හිමිවන්නේ අධ්‍යාපන පද්ධතියටයි. උසස් අධ්‍යාපනයක් ‌ ලැබූ තැනැත්තා එමගින් සිය විශ්ලේෂී චින්තනය, තර්කානුකූල බව හා අවස්ථානුකූලව තීරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු කර ගැනීම හේතුවෙන් මනා ශික්ෂණයකින් යුතුව සමාජ ප්‍රගතියට දායක වේ. එබැවින් සිදුවිය යුත්තේ කෙලෙසක හෝ අපේ අනාගත පරපුරෙන් හැකි උපරිම ප්‍රමාණයකට ගුණාත්මක බවින් යුතු ඉහළම මට්ටමේ අධ්‍යාපනයක්‌ ලබා දීමය.



මේ අරමුණ ක්‍ෂාක්ක්‍ෂාත් කරගැනීමෙහිලා ශ්‍රි ලංකාවේ අපට ඇති ප්‍රධාන අභියෝගය පවතින විශ්වවිද්‍යාල වල ප්‍රමාණවත් ඉඩකඩ නොමැතිකමයි. 2009 වර්ෂයේ ඇමෙරිකාවේ පාසැල් හැරයන්නන්ගෙන් 70% කට අධික ප්‍රමාණයක් උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනීමේ වරම් ලැබූ මුත් ශ්‍රි ලංකාවේ එම සංඛ්‍යාව 4% කටත් වඩා අඩුය. රටේ ඉදිරි ගමනට අත දියහැකි තරුණ පරපුර පාසැල් අධ්‍යාපනයට පමණක් සීමාවී, සිය දෘෂ්ටි විඥ්ඥාණය පුළුල් කර ගැනීමේ අවස්ථාව නොලැබ මන්දෝත්සාහී වීම අපේ පරපුරුවල සමකාලීනයන් මුහුණදුන් යථාර්ථයයි. උසස් පෙළින් නතරවන අතිබහුතරය තෘප්තිමත් හා රටට වැඩදායී පුරවැසියන් බවට පත්කිරීමට දැනට තිබෙන කාර්මික විද්‍යාල සහ වෙනත් වෘත්තීය පුහුණුකිරීමේ මධ්‍යස්ථාන ආදියද කිසිසේත් ප්‍රමාණවත් නැත. ඇමෙරිකාවේ මෙන් ශ්‍රි ලංකාවේද 70% කට අධික ප්‍රමාණයක්ම උසස් අධ්‍යාපනයට යොමු වියයුතු බවක් මින් අදහස් නොකෙරේ. කෙසේ වුවද වසරක් පාසා සරසවි සංඛ්‍යාවද, සරසවි වලට ඇතුලත් කර ගන්නා සංඛ්‍යාවද ඉහළ ගියමුත් මේ දක්වාත් රටේ අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් ඉඩකඩ සැලසීමට රජයේ විශ්වවිද්‍යාලවලට කිසිදු හැකියාවක්‌ ඇති බවක් නොපෙනේ.

මේ ගැටළුව නිරාකරණය කර ගැනීමට තව තවත් රජයේ විශ්වවිද්‍යාල පිහිටුවීම හෝ පවතින විශ්වවිද්‍යාල වලට ඇතුලත් කර ගන්නා සිසුන් ප්‍රමාණය වැඩිකිරීම හෝ විසඳුමක් නොවන්නේ එය අපවැනි රටකට ආර්ථික වශයෙන් දැරිය නොහැකි නිසාම පමණක් නොවේ. මේ වනවිටත් අපේ විශ්වවිද්‍යාල වලින් පිටවන උපාධිදාරීන්ගෙන් සැලකියයුතු ප්‍රමාණයක්‌ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකවීමට අසමත්ව, ලද ඉගෙනුමෙන් තමන්ට හෝ රටට හෝ ඵලක් නොමැති තත්ත්වයකට ඇදවැටී සිටීමෙන් පසක් වන්නේ රටට අවශ්‍ය උගතුන් බිහිකිරීම පිළිබඳව සැලසුම් සහගතව ක්‍රියාකිරීමට වගකිවයුතු කොටස්වල අවධානය මේ වනතුරුත් නිසි අයුරින් යොමුවී නොමැති බව නොවේද? පිටවන උපාධිදාරීන්ගේ ගුණාත්මකභාවය පිළිබඳවද විවිධ මත පවතින බැවින්, පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම මගින් හටගන්නා තරඟකාරීත්වය හේතුවෙන් වත් එම ගුණාත්මකභාවය ඉහළ නංවාලීමට හැකි වුවහොත් එය ජනතා මුදලින් නොමිලේ අධ්‍යාපනය ලබන දහස් ගනනක් දැයේ දරුවන්ටත් ඉමහත් ආශීර්වාදයක් වනු ඇත.

පෞද්ගලික විශ්වවිද්‍යාලයක් යනු කුමක්ද?
වරදවා වටහා ගැනීමට ප්‍රථම, පෞද්ගලික විශ්වවිද්‍යාලයක්‌ යනු රජය මගින් පවත්වාගෙන යනු නොලබන සරසවියක්‌ බව කිව යුතුය. එය ලාභ ලබන ආයතනයක් වීමද අවශ්‍යම නැත. ලොව සුප්‍රකට හාවර්ඩ්, MIT, ස්ටැන්ෆොර්ඩ් වැනි විශ්වවිද්‍යාල පෞද්ගලික ආයතනය. කිසිදු රජයේ බලපෑමකින් තොරව විද්වත් මණ්ඩලයක අධීක්ෂණය යටතේ හිතෛයිෂීන්ගේ සහ ආදි විද්‍යාර්ථීන්ගේ ආධාර සහිතව මෙම ආයතන පවත්වාගෙන යනු ලැබේ. මෙම ආයතන අද මුළු මහත් මානව වර්ගයාටම සේවයකරන සම්භාවනීය විශ්වවිද්‍යාල බවට පත්ව ඇත්තේ අග්‍රගන්‍ය පර්යේෂණ මගින් ඉදිරිපත් කරන නව නිපැයුම් හේතුවෙන් සහ සිය ඉගැන්වීමේ මෙවලම් සහ පාඩම් සටහන් වෙබ් අඩවි ආධාරයෙන් ලොව අස්සක් මුල්ලක් නෑර පතුරවා හැරීමෙනි.

පෞද්ගලික විශ්වවිද්‍යාල වානිජමය වූ ලාබ ලැබීම සඳහා පිහිටුවන ආයතන සමග පටලවා නොගතයුතුය. එසේ වුවද ආයතනයේ පැවැත්මටත් ඉදිරි දියුණුවටත් අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා අයකිරීම් කරනු ලැබේ. එනමුත් මෙම විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුලත් කර ගැනීමේදී සැලකිල්ලට ගන්නේ මුදල් තිබේද යන්න නොව කුසලතාය. පිළිගත් ක්‍රමවේද අනුව උපරිම කුසලතා ඇති ශිෂ්‍ය කණ්ඩායම තොරා ගැනීමෙන් අනතුරුව ගෙවීම් කිරීමට අපොහොසත් අයට ශිෂ්‍යත්ව සහ ශිෂ්‍ය ණය ලබා දෙන්නේ විශ්වවිද්‍යාලයක කීර්තිය රඳා පවතින්නේ එයින් බිහිකරන උපාධිදාරීන්ගේ දක්ෂතා සහ නිපුණතා මත බැවිනි. රටක ප්‍රගතියට හේතුපාදකවන කුසලතාතාන්ත්‍රීය සමාජයක් ගොඩනැංවීමේලා බෙහෙවින් ඉවහල් වන්නේ ඇති-නැති බව හෝ තරාතිරම නොසලකා අනාගත පරම්පරාවේ ඉදිරිගමන කුසලතා මත නිර්ණයවන එවන් ආයතන මගිනි. මේ හැරුණු විට මෙම පෞද්ගලික ආයතනවල යහපැවැත්මට තද බල ලෙස ඉවහල්වන්නේ ඒවාට රජයේ සහනාධාර, ශිෂ්‍ය ණය සහ ආදායම් බදු සහන ලබා දීමෙන් සහය වුවද අපේ රටේ විශ්වවිද්‍යාල වලටමෙන් කිසිඳු දේශපාලන ඇඟිලි ගැසීමක්‌ සිදු නොවීමය.

එ‍සේ වුවද, ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ව්‍යූහය, එවැනි ආයතන සඳහා ධනය පරිත්‍යාග කළහැකි අයවලුන් සෑහෙන පමණ සිටින තත්ත්වයක් දක්වා මේ වනතුරුත් විකාශනයවී ඇති බවක් නොපෙනේ. එනමුත් අප කවුරුත් දන්නා පරිදි ශ්‍රී ලංකාවේ කුමන ආකාරයේ පෞද්ගලික ආයතනයක වුවද සාමාන්‍ය ස්වභාවය වන්නේ ආකර්ශණීය මට්ටමින් එහි ගුණාත්මක භාවය රැක ගැනීමට වෙර දැරීමයි. ශ්‍රී ලාංකික සුපිරි හෝටල් මෙයට කදිම උදාහරණයකි. හෝටල් පවත්වාගෙන යන්නේ ලාභ ලැබීම පිණිස බව අමුතුවෙන් කිවයුතු නොවේ. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම-සුපිරි මට්ටමේ හෝටල් සංසංදනය කරන ඕනෑම සංචාරකයෙක් ලංකාවේ හෝටල් ගුණාත්මකභාවයෙන් කොතරම් ඉහළද යන්න පිළිගැණීමට නොපැකිලෙයි. එබැවින් ලාබ ලැබීමේ අපේක්ෂාව සහිතව පිහිටුවද, පෞද්ගලික විශ්වවිද්‍යාලවල ගුණාත්මක භාවය පිලිබඳව සැක පහල කිරීම පදනම් විරහිතය. අධ්‍යාපන ක්ෂේත්‍රය තුල වෙළඳපල බලවේග ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සැබෑ අනාවැකි පල කිරීම‍ට අවශ්‍යතාවක්‌ ඇතොත් පහුගිය දශක කිහිපය තුල ක්‍රියාත්මකවූ ටියුෂන් පංති සහ මෑත යුගයේ ඇරඹුණු අන්තර්ජාතික පාඨශාලා පිළිබඳ අගතිගාමී නොවූ අධ්‍යයනයක්‌ කිරීම ප්‍රමාණවත්ය.

බුද්ධි ගලනය සහ විදේශ විනිමය
විදේශගතව වියදම් දැරියහැකි දරුවන් විශාල මුල්‍යමය කැපකිරීමක්‌ කොට උපාධි ලැබීමෙන් අනතුරුව වෑයම් කරන්නේ තමා වැයකළ මුදල නැවත උපයා ගැනීමට විදේශයේම රැදී සිටීමටයි. සිය නෑදෑ හිතවතුන්ගෙන් සහ සුපුරුදු වටපිටාවෙන් ඉවත්ව එතෙර අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව, එහිදී ඇසුරට ලැබෙන අයවලුන්ගේ ආභාෂයෙන් සිදුවන සංස්කෘතික විපර්යාසය හේතුවෙන්ද පෙරළා ලංකාවට පැමිණෙන්නේ ඉතාමත් කලාතුරකින් අයෙකු බව අප කවුරුත් දන්නා සත්‍යයකි. එසේ අහිමි වන්නේ රටේ මානව සම්පතයි. ප්‍රතිඵලය බුද්ධි ගලනය හා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට අහිමි වීමයි. ඒ වෙනුවට ඔවුන් මේ පොළොවේම පයගසා, පෞද්ගලික විශ්වවිද්‍යාලයක හෝ වේවා තම උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වූයේ නම් රට පිළිබඳව මනා අවබෝධයක්ද ඇති උපාධිදාරීන් බිහිවීම පොදුජන මුදල් වැය කිරීමකින් තොරවම සිදුවනවා නේද?

විරුද්ධව ඇති දුර්මත
බොහෝ දෙනෙක් සිතන්නේ තියුණු තරඟයකට මුහුණදී වැඩි ලකුණු ලබා රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුලත්වන්නන්ට, පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුලත් වීමට අවකාශ ඇති ඊට අඩු ලකුණු ලැබූවන් නිසා රැකියා පෝලිමේදී අසාධාරණයක් වන බවය. මෙය මිථ්‍යාවකි. නිරස සත්‍යය නම් අවස්ථා ඉතා සීමිත ශ්‍රී ලංකාවේ රාජ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ලබා ගැනීමේදී බොහෝවිට දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් සුදුස්සාට සුදුසු තැන නොලැබීම නිසා එකම සරසවියේ එකම පාඨමාලාව හදාරා උසස් පංති සාමාර්ථ ලැබූවන් සුසුම්ලමින් ගෙදරට වී සිටියදී යන්තම් උපාධිය ගැටගසාගත් තැනැත්තාට අවස්ථාව ලැබීමය. කවුරුත් දන්නා පරිදි පුද්ගලික ක්ෂේත්‍රයේ රැකියාවක් ලබාගැනීමට නම් එසේ නොව රැකියාව හරිහැටි කිරීමට අවශ්‍ය දැනුම සහ නිපුණතා තිබියයුතුය. එබැවින් රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුල් වන්නේ වඩා දක්ෂයින් නම්, විශ්වවිද්‍යාල ඔවුන් පිළිබඳ වගකීම පැහැර නොහරින්නේ නම්, ගැටළුවක් මතුවිය නොහැක.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමෙන් දැනට රජයේ විශ්වවිද්‍යාලවල සේවය කරන ආචාර්යවරු, දොස්තරවරුන් මෙන් අමතර ආදායමක් ලැබීම සඳහා බාහිර කථිකාචාර්යවරු ලෙස කටයුතු කිරීමට නැඹුරුවීම තුලින් පවතින විශ්වවිද්‍යාලවල තත්ත්වය තවත් පහළ වැටෙනු ඇතැයි සමහරු සැක පහලකරති. සත්‍ය පුවත නම් මෙය දැනටමත් මහා පරිමාණයෙන් සිදුවන බවය. දැනටමත් කොළඹ අවට සරසවිවල පමණක් නොව ඌව වෙල්ලස්ස, රජරට, රුහුණ, වයඹ වැනි ඉතා දුරබැහැර ඇති සරසවි කිහිපයකම එකම කාල සීමාව තුල බාහිර කථිකාචාර්ය වෘත්තියේ යෙදෙන ආචාර්යවරු කොතෙකුත් සිටිති. සරසවි ඇදුරන්ට අසීමිත නිදහසක් ලබාදී ඇත්තේ මූලික වශයෙන් තමා උගන්වන විෂයයන් පිළිබඳ දැනුම යාවත්කාලීන කර ගැනීමට සහ ශාස්ත්‍රීය පර්යේෂණ කටයුතු වල නිරතවී නව දැනුම නිපදවීමද සඳහාය. මීට අමතරව මේවනවිට යල් පැනගිය පැරණි උගැන්වීමේ ක්‍රම වෙනුවට දැනුම ලබාදීමේ නව ක්‍රම අත්හදා බැලීමටය. ඔවුනට ලබා දී ඇති නිදහසෙන් නිසි ඵල නොගැනීම වැලැක්වීම සඳහා ක්‍රමෝපාය ඇත. නමුත් ඒ තහංචි පැනවීම නම් නොවේ. හේතුඵලවාදය අනුව සලකා ගැටළුවේ හේතුවට පිළියම් කිරීමෙනි. රජයේ වේවා පෞද්ගලික වේවා සීමාව ඉක්මවා එවැනි කටයුතු වල යෙදෙන ආචාර්යවරුන් රජයේ විශ්වවිද්‍යාලයේ කටයුතු සේවයක් ලෙස සලකා ඉටුකරමින්, සිය වටිනා කාලය වෙනත් ආයතන සඳහා වැයකිරීමට ප්‍රධාන හේතුව ලැබෙන සොච්චම් වැටුපෙන් ජීවත් වීමට ඇති අපහසුතාවයයි. නොබෝදා දියත් වූ ආචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් ක්‍රියාමාර්ගයට විශ්වවිද්‍යාල පද්ධතිය සිසාරා සියළුම ආචාර්යවරුන් පාහේ සිය තරාතිරම නොබලා සහයෝගය දුන්නේ මේ නිසාය. සුදුසුකම් හා සේවයට සරිලන වැටුපක් දීමෙන් අනතුරුව ඔවුන්ගේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව සලකා වැටුප් වර්ධකද ලබාදීමෙන් අසීමිත නිදහසක් ඇති සරසවි ඇදුරු තනතුරෙහි වගකිවයුතුභාවය සහ ගරුත්වය තහවුරු වන අයුරින් කටයුතු කළ හැකිය.

අනෙක් අතට කෙනෙක් කිසිඳු බාහිර කටයුත්තක් නොකොට සිය ආයතනයේ පමණක් සේවය කිරීමෙන් ආචාර්යවරයෙකුගෙන් උපරිම ප්‍රයෝජන අත්වේ යැයි සිතීමද මුලාවකි. අප කවුරුත් දන්නා පරිදි විවිධ පුද්ගලයින් සතු දක්‍ෂතා මෙන්ම කාර්යක්ෂ්මතාද සමාන නොවේ. නානා හේතු පාදක කොටගෙන, තමාට ලැබී ඇති අමිල නිදහස මුදල් ඉපයීම වෙනුවෙන් කැපකිරීමට යොමුවන ආචාර්යවරුන් වෙතොත් එසේ කිරීමට නිදහස දීමෙහි වරදක් නැත. ඉගැන්වීමේ විශේෂ දක්ෂතා දක්වන අයෙක් එසේ ආයතන කිහිපයක ඉගැන්වීමෙන් සිසුන් වැඩි ප්‍රමාණයකට සෙත සැලසීමටද හැකිවනු ඇත. එනමුත් එසේ කිරීමේදී ස්ථීර තනතුර දරන ආයතනයේ ගරුත්වය ආරක්ෂාවන පරිදි ගුණාත්මක සේවයක් ලබාදෙන බවට තහවුරු කරගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම අදාළ විශ්වවිද්‍යාල පාලනතන්ත්‍රයේ වගකීමකි. තවද සාර්ථක පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් බිහිවීමෙන් අනතුරුව ලොව පුරා විසිර සිටින මව්බිමට ඇල්මක් ඇති ශ්‍රී ලාංකික බුද්ධිමතුන් ඒවායේ සේවයට පැමිණිය හැකි බැවින් මේ ගැටළුව ඉබේම නිරාකරණය විය හැකිය. අතුරු ඵලයක් ලෙස රටේ සරසවි වලින් පිටවන උපධිදාරීන්ටද රැකියා අවස්ථා වැඩිවනු ඇත.

විශේෂයෙන් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලවලින් උපාධි ප්‍රදානයට විරුද්දව නැගෙන තවත් චෝදනාවක් නම් ශික්‍ෂණ රෝහල් භාවිතය වැනි අවස්ථා වලදී එම ආයතන රජයේ දේපල පරිහරණය කරන බවය. මේ සඳහා අභිනවයෙන් ශික්‍ෂණ රෝහල් ගොඩනගන්නේ නම් එමගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩි යහපතක් සිදුවන බව නිසැකය. එය ඉතා අධික පිරිවැයක් දැරිය යුතු කටයුත්තක් වන බැවින් මෙම ව්‍යාපාරිකයන්ට ආරම්භක අවස්ථාවෙදී ගැලපෙන අයකිරීමක්‌ සහිතව ආසන්නයේ ඇති මහරෝහල් ශික්‍ෂණ රෝහල් ලෙස භාවිත කිරීම‍ට අවසර දීමේ කිසිදු වරදක් නැත. මොහොතක් සිතා බලන්න. මෙසේ බිහිකරන වෛද්‍යවරයා අපේම රටේ දරුවෙකි. බොහෝ විට රජයේ විශ්වවිද්‍යාල වැනි සේවාවන් පවත්වා ගැනීමට ආදායම් බදු ගෙවීමෙන් උරදෙන අපේම රටේ පුරවැසියකුගේ දුවක හෝ පුතෙකි. සිය අධ්‍යාපන වියහියදම් තමාම දරණ මේ දරුවා රජයේ දේපල වලින් සුඟක් පරිහරණය කිරීමේ වරද කුමක්ද? ඔහු හෝ ඇය වෛද්‍ය වෘත්තියේ යෙදෙන විට සේවය කරන්නේ මනුෂ්‍ය ප්‍රජාවට නොවෙයිද? හෙතෙම රටේ පවතින වෛද්‍ය හිගයට පිළියම් යෙදීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූවෙක් නේද?

මේ වනවිට බංගලිදේශය, කියුබාව, ලැට්වියාව, යුක්රේනය, ඉන්දියාව, චීනය යනාදී මෙකී නොකී කුමන රටකට හෝ ගොස් වෛද්‍ය උපාධි ලබා පැමිණෙන්නන් අපේ සෞඛ්‍ය සේවයට අනුගතව රජයේ රෝහල් වල සේවයේ යෙදෙන්නේ අපේ වෛද්‍යවිද්‍යාලවලින් බිහිකරන වෛද්‍යවරුන් ප්‍රමාණවත් නොවන නිසා නොවේද? එසේ බඳවා ගන්නා විදේශීය-වෛද්‍ය උපාධි ලාභීන් පිළිබඳව හෝ අසූව දශකයේ අග භාගයේදී භීෂණ සමයත් සමගම මහා ආන්දෝලනයකට තුඩුදුන් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයෙන් පිටවූ වෛද්‍යවරුන් පිළිබඳව හෝ විශේෂ චෝදනා ඉදිරිපත්වී නොමැත. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයෙන් පිටව දැනට රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් වසයෙන් පවා සේවයේ යෙදෙන්නන්ද සිටින බව අප අමතක නොකළ යුතුය.

මේ සියල්ලෙන් අප වටහා ගතයුත්තේ උසස් පෙළ විභාගය සිසුන්ගේ දක්ෂතාවය නිර්ණය කරන එක් ආකාරයක් පමණක් බවය. උපාධිය අවසන් කිරීමට ප්‍රථම විධිමත් අධ්‍යාපනයෙන් සමුගෙන නව නිපැයුම් මගින් තාක්ෂණික ලෝකයේ කිරුළ පලන් මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස්, ඇපල් පරිගණක සමාගමේ සම-ආරම්භක ස්ටීව් ජොබ්ස් වැනියවුන් පෙන්වා දෙන්නේ තරඟකාරී අධ්‍යාපනයට වඩා සහජ දක්ෂතාවයේ වටිනාකමය. එවැනි සහජ දක්ෂතා ඇති බොහෝ දෙනා ශ්‍රී ලංකාවේ උසස්පෙළ විභාගයේ පවතින තීව්‍ර තරඟකාරීත්වයට මුහුණදීමට රිසි අය නොවේ. එවැනි තරඟයකින් දරුවා සතු නිර්මාණශීලීත්වය අතුරුදහන් වීමටද ඉඩ ඇත. එවැන්නන්ට තමාට රිසි පරිදි උගෙනීමට ඉඩ සැලසීමෙන් දීර්ඝකාලීන වශයෙන් රටට යහපතක්ම මිස අයහපතක් සිදුවිය නොහැක.

උසස් අධ්‍යාපනයේ මුළු බර රජය දැරිය යුතුද?
දුප්පත් පොහොසත් භේදයකින් තොරව රටේ සියලුම දරුවනට උසස් අධ්‍යාපනය සැපයීමේ බර මුළුමනින්ම රජය මගින් දැරීම අද ලෝකයේ යල්පැනගිය පිළිවෙතකි. රාජකීය ප්‍රඥප්තියකින් ප්‍රතිස්ථාපනය කෙරුණු පැරණිම විශ්වවිද්‍යාල තිබෙන එක්සත් රාජධානියේ පවා දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව උසස් අධ්‍යාපනයේ මුළු වියදම රජය විසින් දැරුවද, ක්‍රමක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යනවිට ඒ ඒ විශ්වවිද්‍යාලයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය අනුව ප්‍රතිපාදන සැපයීමේ පිළිවෙතක් අනුව රජය දරණ වියදම අඩුකෙරිණි. 1997 ජූලි මාසයේ ඉදිරිපත්වුණු වාර්තාවකට අනුව නිදහස් (මුදල් ගෙවීමෙන් තොර) අධ්‍යාපනය අහෝසි කළයුතු බව කියැවුණු අතර, එය අදියර කිහිපයකින් ක්‍රියාත්මක විය. 2006/7 අධ්‍යන වර්ෂය වනවිට සිසුන් සිය අධ්‍යාපනයේ වියදම දැරිය යුතුවූ අතර, වියදම දැරිය නොහැකි සිසුන් සඳහා උපාධිය ලැබීමෙන් පසුව ගෙවියයුතු ශිෂ්‍ය ණය ක්‍රමයක් හඳුන්වාදී ඇත. මේ හැරුණු විට රාජකීය ප්‍රඥප්තියෙන් පරිබාහිර පූර්ණව පෞද්ගලික වූ විශ්ව විද්‍යාලද ඇත. ඇමෙරිකාව, ජපානය වැනි රටවල වැඩිපුර ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල වන අතර අපේ අසල්වැසි ඉන්දියාවේ පවා පෞද්ගලික විශ්වවිද්‍යාල 86 ක් ඇත. නොර්දික් රටවල හැරුණු කොට, සාර්ථක අධ්‍යාපන රටාවක් ඇති සියලුම රටවල උසස් අධ්‍යාපනය සඳහා යම් පමණකට හෝ මුදල් අය කිරීමේ ප්‍රවණතාවක් පවතී. එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල දෙකක් හැරුණුවිට අනෙක්වා රජයේ යයි නොමග යවන සුලු අදහස් අද ප්‍රචාරය වෙමින් පවතී. රාජකීය ප්‍රඥප්තියට අනුව ඇරඹුනද ඉහත පෙන්වූ පරිදි මේවනවිට අධ්‍යාපනයේ වියදම සිසුන් විසින් දැරිය යුතුය. අධ්‍යයන සහ පරිපාලන කාර්ය මණ්ඩල මිස දේශපාලකයන් මෙම රජයේ විශ්වවිද්‍යාල වල කටයුතුවලට අත පොවන්නේ නැත.


විකල්ප යෝජනා අර්ථාන්විතද?
මේ ආකෘතිය අනුව යමින්, සිය “පෞද්ගලික විශ්වවිද්‍යාල විලාසිතාව හා යථාර්ථය” නමැති කෘතියේ, ලංකාවේ දරුවනට අවශ්‍ය පමණ උසස් අධ්‍යාපන පහසුකම් නැති කමට පිළියම වශයෙන් අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය මහතා යෝජනා කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කොට වැඩිපුර ඇතුලත් කරගන්නා සිසුන්ගෙන් මුදල් අයකර ගතයුතු බවය. පුදුමයකට මෙන් මෙමගින් රටට අවශ්‍ය උපාධිදාරීන් බිහිකිරීම නම් කිසිදා සිදු නොවන බවට ඔහු එම පොතේම ඕනෑවටත් වඩා කරුණු දක්වන්නේ මෙසේය. කලා සිසුන් අඩුකොට ඒ සඳහා වැයවෙන මුදල් වෙනත් පාඨමාලා සඳහා වහා යොදා ගතයුතු බව පවසන කර්ණසූරිය මහතා එම අදහස සාධාරණීකරණය කිරීම සඳහා (240-242 පිටුවල ඇති) අගනා දත්ත සහිත වගු ඉතා දක්ෂලෙස යොදා ගනී. ඒ අනුව 2000 වසරේ ඇතුලත් කර ගත් එකොලොස්දහස්‌ ගණනක්වු ශිෂ්‍ය සංඛ්‍යාව 2009 වනවිට විසිදහස් ගණනක් දක්වා වැඩි කළ බවට ඒ ඒ රජයන් කටමැත දෙඩුවද, මින් අතිබහුතරයක් (හයදහස් අටසිය ගණනක්) රැකියා පෝලිමේ පල්වන, රටේ ආර්ථික සංවර්ධනයට දායකවිය නොහැකි කලා ශිෂ්‍යයින්ය. ඇතුලත් කර ගන්නා වෛද්‍ය ශිෂ්‍යයින් ගණන එක්දහස්‌ එකසිය ගණනක් පමණි. එමෙන්ම ඉංජිනේරු ශිෂ්‍යයින් ගණනද එක්දහස්‌ තුන්සිය ගණනකට සීමා වී ඇත. කලා විෂයයන් ගැඹුරින් අධ්‍යයනය කිරීමට තියුණු සංවේදීතාවයක් සහිත අතිදක්ෂයින් අවශ්‍ය බවට විවාදයක් නොමැත. එ‍සේ වුවද වෛද්‍ය, ඉංජිනේරු වැනි වෘත්තීය පාඨමාලා සහ ආකර්ෂණීය රැකියා ලැබියහැකි අනෙකුත් පාඨමාලා ඉලක්ක කොටගෙන උසස්පෙළ විෂය ධාරා තොරා ගැනීමේ ප්‍රවනතාවක් ඇති බව නොරහසකි. මේ හේතුකොටගෙන දක්‍ෂයෙකු කලා විෂය ධාරාව තෝරාගන්නේ ඉතාමත් කලාතුරකිනි. එනමුත් අපේ රටේ සරසවියට ඇතුල් වන 4% රෙනුත් 30% කටත් වැඩි ප්‍රමාණයක් ඇතුලත් කරගනු ලබන්නේ කලා පීඨවලටය. මීට අමතරව දිස්ත්‍රික් කොටා ක්‍රමයේ ඇති දුර්වලතා දක්ෂලෙස ඉස්මතු කරන කර්ණසූරිය මහතා (232, 235 සහ 236 පිටුවල ඇති) දත්ත උපයෝගී කරගනිමින් සරසවි පිවිසුමේදී ඉන් වන අසාධාරණය පෙන්වා දෙයි. මෙහි සඳහන් නොකළ වෙනත් හේතුද සැලකූ විට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීමට අසමත් වූවන් අතර, ඇතුල්වූ ප්‍රමාණයෙන් (50% ක් පමණ) හරි අඩකට ආසන්න කොටසක්, ඇතුළුවූ අයට සමාන හෝ වැඩි දස්කම් සහිතව අතරමං වූ අය බව පෙනේ. මේ පිළිබඳව කාලෝ ෆොන්සේකා මහතා ඉදිරිපත්කළ අදහසක් කර්ණසූරිය මහතා පෙන්වා දෙන්නේ මෙසේය. “ ලංකාවේ වෛද්‍යවිද්‍යාල වලට දහසක් ඇතුල් වනවිට ඔවුන්ගෙන් සමහරකට වැඩ දක්ෂ සිසුන් දෙදහසක් ඇතුලත් වීමේ වරම් නොලබා ගෙදර සිටිති.” මේ සියල්ලට හේතුව ප්‍රතිපාදන කොමිසමත් ඇතුළුව විශ්වවිද්‍යාලවල රටේ අනාගත අභිවෘද්ධියට සෘජුවම බලපාන මෙවන් තීරණ ගන්නේ දේශපාලන පත්වීම් ලැබූ රාජ්‍ය නියෝජිතයන් වීමය. රටේ මෙතරම් ඉල්ලුමක් ඇති විෂය ධාරා තෝරාගෙන, උසස් පෙළ විභාගයේ තීව්‍ර තරඟය නිසා A තුනක් ලබාත් සරසවි වරම් නොලබන අපේම රටේ බුද්ධිමත් දරුවන් ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායකවිය නොහැකිව ඉච්ඡාභංගත්වයට පත් වීම කොතරම් අවාසනාවක්ද? දේශපාලන වාසි පමණක් අරමුණු කොට ගන්නා මෙවැනි තීරණ නිසා රටේ ප්‍රශ්න වැඩිවනු මිස අඩුවෙවිද? මේ හැරුණුවිට විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වයට සිදුවන බලපෑම් පිළිබඳව සාකච්ඡා කරමින් (279, 280 පිටුවල) කර්ණසූරිය මහතාම පෙන්වාදෙන්නේ අමාත්‍යවරයා විශ්වවිද්‍යාල පරිපාලනයට අනවශ්‍ය බලපෑම් කරන ආකාරයත්, උපකුලපති දේශපාලන පත්වීමක්‌ වන සැටිත්ය. මේ අනුව යමින් වර්තමාන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවෙන අයුතු දේවල් පිළිබඳව කොතෙකුත් කරුණු දැක්වීමට මටද හැකි වුවද ඉන් එකක් පමණක් ගෙන හැර දැක්වීමට කැමැත්තෙමි. අංක 876 දරණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා චක්‍රලේඛයට අනුව සේවකයින් බඳවා ගත හැක්කේ ඇමති ලැයිස්තුවෙන් පමණි. මේ අමු අමුවේ මානව අයිතීන් උල්ලංඝණය වන අවස්ථාවකි. මෙසේ වඩා සුදුස්සන් සුසුම්ලමින් ගෙදර සිටියදී පාක්‍ෂිකයින්ට පමණක් අවස්ථා ලබාදෙන රාජ්‍ය යාන්ත්‍රණය පමණක්ම ක්‍රියාත්මක කරමින් කුසලතාතාන්ත්‍රීය සමාජයක් බිහිකිරීම සිහිනයක් පමණක් නොවේද?

එපමණක්ද? නවක වදයේ මුවාවෙන් මුලින්ම ජ්‍යෙෂ්ඨයන් බලෙන් පටවන දේශපාලන මත කරපින්නාගෙන අරඹන සරසවි දිවිය පුරා විවෘත සංවාදශීලී නිදහස් චින්තනයට කිසිඳු අවකාශයක් නොමැත. එවන් පද්ධතියක් තවදුරටත් පුළුල් කිරීමෙන් රටට ශුභසිද්ධියක් හෝ ඵලක් වේද?

ශ්‍රී ලංකාව තුල අන්තර්ජාතික මට්ටමේ පෞද්ගලික විශ්වවිද්‍යාල
දැනට අපේ රටට උචිත කුමන ආකාරයේ පෞද්ගලික විශ්වවිද්‍යාලද යන්න සලකා බැලීම සඳහා ගුරුකොට ගතහැකි නානා මාදිලියේ පුද්ගලික විශ්වවිද්‍යාල ලොව පුරා ඇත. 2011 වෙබෝමෙට්‍රික් වර්ග කිරීමට අනුව ලෝකයේ විශිෂ්ටතම විශ්වවිද්‍යාල 50න් 43ක්ම ඇති ඇමෙරිකාව සලකමු. මධ්‍යම රජයෙන් ණය ගෙන හෝ පාඨමාලා ගාස්තු ගෙවිය යුතු වුවත්, තරමක් දුරට ශ්‍රී ලංකා වාසී අපට පුරුදු විශ්වවිද්‍යාල වලට සමාන ප්‍රාන්ත-සරසවි එකක් හෝ කිහිපයක් ඇමෙරිකාවේ සෑම ප්‍රාන්තයකම ඇත. ඒ හැරුණුවිට ලොකු කුඩා විශ්වවිද්‍යාල පන්දහස්අටසියයකට අධික ගණනක් ඇතත් ඉන් අතිබහුතරය පෞද්ගලිකය. මේවා ලාභ ලබන, නොලබන හා ලාභය සඳහා නොවන යනුවෙන් දළ වශයෙන් වර්ග කළ හැකි වුවද “නිදහස් ලෝකය” යන්නට ගැලපෙන අයුරින්ම නානාවිධ ආකෘතීන්ට අනුව පිහිටුවනු ලැබ ඇත. මේ අතර නොබෙල් ත්‍යාගලාභීන් සැලකියයුතු ගණනක් බිහිකළ ආයතන, මුළු මහත් මානව වර්ගයාගේම ජීවන මට්ටම නංවාලන නවනිපැයුම්කරුවන්ට මග පෙන්වන ආයතන මෙන්ම ලොව ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයින් එළිදක්වන ආයතනද දැකිය හැකිය. එනමුත් මේ කිසිවකට දේශපාලන බලපෑම් සිදු නොවේ.

ශ්‍රී ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය කිරීම සඳහා වූ රජයේ ප්‍රකාශිත අරමුණ සාර්ථක කර ගැනීමට නම් අපේ විශ්වවිද්‍යාලවලට අසල්වැසි රටවල ශිෂ්‍යයින්ද ආකර්ෂණය කර ගැනීමේ ශක්තිය තිබිය යුතුය. එමතුද නොවේ. රටේ නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල නෙලූවන්ගෙන් බොහොමයක් මේ වනවිට සේවයේ යෙදෙන්නේ විදේශයන්හි බව අපි කවුරුත් දනිමු. මින් බොහොමයක් තමා හැදී වැඩුණු පරිසරයෙන් සහ දෙමාපිය නෑදෑ හිතවතුන්ගෙන් ඈත්වී එසේ විදේශගතවීමට ප්‍රධාන හේතුනම් තමා ගේ විශේෂඥ දැනුමෙන් ප්‍රයෝජන ගත හැකි ශාස්ත්‍රීය පරිසරයක් නොමැතිකම සහ විදේශයන්හි ලබන වැටුපම නොවූවත් ශ්‍රී ලංකාවේ යහපත් තත්ත්වයකින් ජීවත්වියහැකි වැටුපක් නොලැබීමත්ය. මේ සියල්ල ඉවසාගෙන සිටීමේ අරමුණින් සිය රට පැමිණෙන්නන්ද වැඩිකල් නොගොස් රට හැර යන්නේ ඉතිහාසයේ කිසිම අවදියක නොතිබුණු මට්ටමකින් සහ ඉතාමත් කණගාටුදායක අයුරින් අද රජයේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය දේශපාලනීකරණය වී ඇති නිසාය.

අප කළ යුත්තේ ලාභ ලැබීම හෝ කොමිස් ලැබීමම අරමුණු කිරීමෙන් තොරව, ජනතාව ප්‍රදර්ශනය කරන දක්ෂතා මෙන්ම දුර්වලතා පිළිබඳවද අවබෝධයකින් යුතුව, රටේ උන්නතියට හේතුපාදකවූ සුදුසු ආකෘතියක් හෝ ආකෘතීන් කිහිපයක් අපේ සංස්කෘතියට ගැලපෙන අයුරින් අනුගතකොටගෙන, සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක කිරීමය. උදාහරණයක් ලෙස රටේ වියදම් දැරිය හැකි දක්ෂ දරුවන්ගෙන් සාධාරණ අයකිරීමක්‌ සහිතව ඇරඹෙන නව විශ්වවිද්‍යාලවල අධ්‍යාපන තත්ත්වය නියමාකාරයෙන් පවත්වාගැනීමට හැකිවුවහොත් ඒවාට වැඩිපුර අයකිරීමක්‌ කොට විදේශික ශිෂ්‍යයන්ද බඳවා ගැනීමට හැකිවනු ඇත. බංගලි දේශය, කියුබාව, කොරියාව වැනි රටවලටද විදේශීය ශිෂ්‍යයන්ද ආකර්ශනය කර ගත හැකිනම් ශ්‍රී ලංකාවේ අප ගැන කියනුම කවරේද? කොයි දෙයට අත ගැසුවත් පරමාදර්ශී ලෙස එය නිමවාලීමට හැකි ශ්‍රී ලාංකිකයන්ට මේ රමණීය දිවයිනෙහි විදේශිකයන් ආකර්ශණය කර ගත හැකි පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වා ගැනීම කිසිසේත් අපහසු කාර්‍යයක් නොවනු ඇත. උසස්පෙළ සහ වෙනත් පිළිගතහැකි විභාගවලින් විශේෂ දස්කම් දක්වන්නන්ට සම්මත නිර්ණායකයන්ට අනුකූලව ශිෂ්‍යත්ව ලබාදීමෙන් මෙම විශ්වවිද්‍යාලවල තත්ත්වය තවදුරටත් නංවාලිය හැකිය. පෙරළා පැමිණ එවැනි විශ්වවිද්‍යාල වල සේවයකිරීමට ලැබීම රට හැර ගොස් ඇති විශේෂඥ දැනුමැති ශ්‍රී ලාංකික බුද්ධිමතුන්ටද අනගි අවස්ථාවක් වනු ඇත. තේ, පොල්, රබර් සහ ගෘහසේවිකාවන් වෙනුවට දැනුම අපනයනයෙන් විදේශ විනිමය ඉපයීමට හැකි වනු ඇත.

මෙසේ නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා පටිපාටියක් අනුගමනය කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට ඉඩදෙන අතරම, දැනට ඒ ඒ පීඨයට ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව එලෙසම පවත්වාගනිමින් ඊට වැඩිපුර කිසියම් ප්‍රමාණයක් පුද්ගලික ආයතනවල අයකරන ප්‍රමාණයට සංසන්දනාත්මකව අය කරමින් රජයේ විශ්වවිද්‍යාලවලටද ඇතුලත් කර ගැනීමට විධිවිධාන යෙදිය හැකිය. එවිට තරඟකාරීත්වය හේතුවෙන් ආයතන දෙවර්ගයේම ගුණාත්මකභාවය රැකෙනු ඇත.
අන්තවාදී දේශපාලනඥයන්ගේ අතකොළු බවට පත්නොවී විවෘත, නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක කොටස් කරුවන් ලෙස, තමාට අවශ්‍ය විෂයධාරාව සීමාපැනවීම් වලට යටත්වීමෙන් තොරව හැදෑරීමට අවස්ථාව සැලසෙන, මුදල් වැයකිරීමට ඇති හැකියාව නුසුදුසුකමක් නොවන එවන් සරසවි වලිනි සැබෑ නිදහස් අධ්‍යාපනයක්‌ ලබාගත හැකි වන්නේ. අපේ රටේ දැනට පවතින්නේ “නිදහස්” අධ්‍යාපනය නොව “නොමිලේ ලැබෙන” අධ්‍යාපනයයි. සියලු ලාංකිකයන්ට හැකි හොඳම අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථා වැඩිදියුණු කොට, පෞද්ගලික මෙන්ම රජයේ විශ්වවිද්‍යාල වලද උසස් ප්‍රමිතියක් සහ කුසලතාතාන්ත්‍රීය මූලධර්ම ප්‍රතිස්ථාපනය කළ යුතුය. මේ සඳහා ගතයුතු පියවර ඊළඟ ලිපියෙන් සාකච්ඡාවට භාජනය කිරීමට බලාපොරොත්තු වෙමි.

No comments: