Divaina, 15/01/2012,
විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ උද්ගතව තිබෙන අර්බුදය පිළිබඳව අදාළ බලධාරීන්ගේ හා රජයේ ප්‍රමාණවත් අවධානයක් යොමු වී තිබේද? යන ප්‍රශ්නය නගමින්ම අපි මෙම තීරුව අරඹමු. එයට හේතු වන්නේ මේ වන විට පේරාදෙණිය, සබරගමුව, රුහුණ, රජරට, ජයවර්ධනපුර, කැලණිය පමණක් නොව බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය යන ආයතන ගණනාවක්‌ම කැළඹී තිබීමය. මේ අර්බුද එකම පොදු කරුණක් හෝ ඉල්ලීමක් මුල්ව නිර්මාණය වූ ඒවා නොවන බවද පෙනේ.
පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හා සරසවි සිසුන් මර්දනය වැනි කරුණු ද මෙම සිසු විරෝධයට හේතු ලෙස දැක්‌වෙයි. උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් වරින් වර කරන ලද බොහෝ ප්‍රකාශවලින් අනාවරණය වූයේ පෞද්ගලික විශ්වවිද්‍යාල රජය ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන තිබෙන බවත් එසේම ඒ සඳහා නිශ්චිත ප්‍රමිතීන් සකස් විය යුතු බවත්ය. එහෙත් දැන් අලුත්ම තත්ත්වය වන්නේ රජය එබඳු පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් ඉදිරිපත් නොකරන බවය.
තතු එසේ වුවද රජය පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ දැඩි උනන්දුවකින් සිටි බව රහසක් නොවේ. රජයේම පාර්ශ්වකරුවන් වන ජාතික නිදහස් පෙරමුණ මෙන්ම හෙළ උරුමය ද ඒ පිළිවෙතට විවේචන එල්ල කළ අයුරු ද අපට මතකය. එනිසා ඒ පනතට එරෙහිව නැගුණු සිසු විරෝධය ඉතා ස්‌වාභාවික හා අර්ථවත් එකක් බවද කිව යුතුය. කෙසේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම සඳහා ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කළ පනත ඉදිරිපත් නොවීම යහපත් හා බුද්ධිමත් ක්‍රියාවක් බවද නිසැකය.
විශ්වවිද්‍යාල සිසු මර්දනය පිළිබඳ නැගෙන චෝදනාවල ද සත්‍යය දන්නේ රජය මිස අප නොවේ. සබරගමුව සරසවියේ අර්බුදයට හේතුවී ඇත්තේ සිසුන්ට එල්ලවූ මැර ප්‍රහාරයක් බව කියති. ජZපුරෙන් ද එබඳුම චෝදනාවක් ඇසෙයි. එසේම සබරගමුව සරසවියේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරයාට පහරදීම, ඔහුගේ වාහනයට අලාභ සිදු කිරීම වැනි ක්‍රියාකාරකම් ඉතා තුච්ඡ ඒවා බව අපි කියමු. ඒ වර්ගයේ පාතාල මෙහෙයුම් කරන සිසුහු වෙත් නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම ද අවශ්‍යම දෙයකි.
සරසවි සිසුවා යනු පාසල් ශිෂ්‍යයකු නොවේ. ඔහු තම හාත්පස සමාජය මෙන්ම ජාතික දේශපාලනය වැනි කරුණු පිළිබඳව ද සංවේදී අයෙකි. ඒ සරසවි ප්‍රජාව ළිං මැඬියන් අහිනක් සේ දැකීම ද වරදකි. ඔවුන්ගේ තාරුණ්‍යයට හෙටක් තිබේද යන ප්‍රශ්නය ඉතා සාධාරණය.
මේ සරසවි ප්‍රජාව තුළ බංකොලොත් දේශපාලන පක්‍ෂවල රූකඩ බවට පත් වූවෝද සිටිති. තාරුණ්‍යයේ හෘද සාක්‍ෂිය නිතරම නිවැරැදි නොවන බවද ඇතැම්විට ආවේගශීලී වන බවද අපි දනිමු. විශ්වවිද්‍යාලය අපේක්‍ෂා භංගත්වයේ කාන්තාරයක් බවට පත්ව තිබේ නම් මේ බොහෝ තරුණ සිසුන්ගේ ආකල්ප යහපත් හෝ පැහැපත් නොවන බවද රජය වටහාගත යුතුය.
මේ වන විට ඇතැම් විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය සංගම් තහනම් කර තිබේ. පන්ති තහනම් කිරීම් ද වාර්තා වේ. ඇතැම් පීඨ පවා වසා දමා ඇත. ඒවාට සාධාරණ හා යුක්‌ති සහගත හේතු තිබේදැයි අපි නොදනිමු. නවකවධ චෝදනාව සම්බන්ධයෙන් නම් දැඩි පියවරක් ගැනීම නොමැනවැයි කිව නොහැක. ඒ සඳහා දඬුවම් දීම වරදක් නොවේ.
විශ්වවිද්‍යාලය යනු මුදා නොගත් ප්‍රදේශ නොවේ. ඒවා ද මේ රටේ නීතියට යටත්ය. පාලකයන් සමග කෙබඳු ගැටුම් තිබුණත් ඒවා නිරාකරණය කරගැනීමට පිළිවෙළක් තිබේ. සරසවි ආචාර්යවරුන්ට පහරදීම, සරසවි දේපළවලට අලාභහානි කිරීම කිසිසේත් අනුමත කළ නොහැක.
විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය නායකයෝ උපකුලපති ප්‍රමුඛ පාලකයෝ ද එකිනෙකාට චෝදනා කරත් නම් එය යහපත් දෙයක් නොවේ. උපකුලපති ලෙස ශිෂ්‍යයකු පත් කිරීමට ද බැරි බව මේ බුද්ධිමත් සිසුවෝ තේරුම්ගත යුතු වෙති. එසේම මුළු විශ්වවිද්‍යාලයක්‌ම එහි උපකුලපතිට හෝ පාලක පක්‍ෂයට එරෙහිව පාරට බැසීම ද නොතකා හැරිය හැකිද?
විශ්වවිද්‍යාල පාලකයන් හා සිසුන් අතර ඇතිවන හැම ගැටුමක්‌ම සාධාරණ විය නොහැක. වඩා හොඳ පාලනයකදී ගැටුම් නිරාකරණය අසීරු නැත. ඒ සඳහා සිසූහු මෙන්ම පාලකයෝ ද නම්‍යශීලීව ක්‍රියා කළ යුතු වෙති. කිsසිවෙක් පියවරක් ආපස්‌සට ගැනීමට නොකැමැති නම් එයම ගැටුමක ඇරැඹුමකි.
උසස් අධ්‍යාපනය මෙන්ම එහි මුඛ්‍ය අංගයක් වන විශ්වවිද්‍යාල වෙනුවෙන් රජයක් වැය කරන මුදල බුද්ධිමය ආයෝජනයකි. එය ඵල රහිත දෙයක් වේ නම් කොතැනක හෝ වරදක් තිබිය යුතුමය. දේශපාලන හා වෙනත් කරුණු ද විශ්විද්‍යාල අර්බුදවලට හේතු විය හැකිය. එහෙත් පොදු ජාතික ගැටලු නිරාකරණය කරගැනීම අතිශයින් වැදගත්ය. විශ්වවිද්‍යාල පද්ධතිය සකසා ගැනීමත්, සංවර්ධනය කරගැනීමත් සඳහා රජයට විවෘත සංවාදයක් ඇරැඹිය හැකිය. එසේ නැතිනම් කමිටුවක් හෝ පත්කර උපදෙස් ලබාගත හැකිය. අද අවශ්‍යව ඇත්තේ මේ ගැටුම් හා අර්බුද පිළිබඳව බුද්ධිමය කියෑවීමක් බව ද අපගේ අදහසයි.
No comments:
Post a Comment