Divaina, 11/01/2012,
පේරාදෙණිය - රංජිත් සේනවීර
පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ නවක වධ සිද්ධීන් පිළිබඳ ඇතැම් මාධ්‍ය අතිශෝක්‌තියෙන් හුවා දැක්‌වුවද සරසවියේ නවක වධය ලබාදීමේ ප්‍රවණතාවය මේ වනවිට බොහෝ ලෙස අඩුවී ඇතැයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා සඳහන් කළේය.
නවක වධය ඉතා බරපතළ ප්‍රශ්නයක් බවත් 2010 සහ 2011 වසරවලදී නවක වධය ලබාදීමේ අඩුවීමක් ඇති බවත් සඳහන් කළ උපකුලපති අබේකෝන් මහතා නවක වධය ලබාදීමට මුල්වූ සිසුන්ට නිසි දඬුවම් ලබාදීම නවක වධය අඩුවීමට හේතුව බවත් සඳහන් කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා එම අදහස් පළ කළේ එම විශ්වවිද්‍යාලයේ පසුගිය සති කිහිපය තුළ සිදුවූ නවක වධ සිද්ධීන් ඇතුළු නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් ගනු ලැබූ විවිධ ක්‍රියාකාරකම් සහ එම සිසු ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවිය හැකි අනර්ථයන් වළක්‌වා ගැනීම සඳහාත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගත් ක්‍රියා මාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහාත් උපකුලපති කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාකවදී අදහස් දක්‌වමිනි.
නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය වෛද්‍ය වජිර වීරසිංහ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය එස්.බී. වීරකෝන්, ශාස්‌ත්‍ර පීඨාධිපති මහාචාර්ය අනෝමා අබේරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම මාධ්‍ය සාකච්ඡාවේදී උපකුලපතිවරයා මෙසේද පැවැසීය.
අපේ රටේ පාසල් සිසුන්ගෙන් වැඩි පිරිසක් පාසලින් ලබන අධ්‍යාපනයට අමතරව ටියුෂන් සංස්‌කෘතියට පුරුදු වී සිටිනවා. ප්‍රාථමික අංශයේ සිට වසර 13 ක් තිස්‌සේ මේ ටියුෂන් සංස්‌කෘතියට යොමුවී සිටින සිසුන් විශ්වවිද්‍යාලයට පැමිණි පසු වසර 3 ක් වැනි කෙටි කාලයක් තුළදී සමබර සිසුන් බවට පත් කිරීම අපහසුයි. එය කළ යුත්තේ ශිෂ්‍යයාගේ මුල් අවදියේමයි. ශිෂ්‍යයා පාසලේ අධ්‍යාපන කටයුතුවලට අමතරව බාහිර ක්‍රියාකාරකම්වලද නියෑළීම තුළින් ශිෂ්‍යයාට ආකල්පමය වශයෙන් ඉදිරියට යා හැකි වුවත් ශිෂ්‍යයන් අද ටියුෂන් සංස්‌කෘතියට හිර වී සිටිනවා. එම නිසා අද පවත්නා මෙම ටියුෂන් සංස්‌කෘතියට හිරකරන අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකර පවත්නා ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකියි.
එදා අපේ දරුවන් පමණක් නොව අපගේ පාසල් අවදියේ පවා පාසලින් ලබන අධ්‍යාපනයට අමතරව බාහිර ක්‍රියාකාරකම් සඳහා යොමු වුණා. ඒ තුළින් අපගේ දෙමාපියන්ගේ කටයුතුවලටත් සහාය වුණා. නමුත් අද එහෙම නැහැ. පාසලට ගිහින් ආවට පස්‌සේ යන්නේ ටියුෂන් පංතියට. එයින් පසු ගෙදර ඇවිත් ටීවී එක ඉස්‌සර පැය ගණන් කාලය ගත කරනවා. එයයි අද අපේ දරුවන්ගේ වසර 13 ක පමණ කාලය තුළ දින චරියාව වී තිබෙන්නේ. හිතා මතා යමක් කරන්න උත්සාහ ගන්නේ නැහැ. ඔවුන් තුළ නව ආකල්ප නැහැ. කොහොම හරි පොතේ තියෙන ටික කට පාඩම්කරල විභාගෙ සමත් වෙලා විශ්වවිද්‍යාලයට එනවා. ඒ ඇවිත් කරන්නෙත් තමන්ට හිතෙන දේ නොව අන් අයගේ අදහස් උදහස් වලට ගැති වී ක්‍රියා කිරීමයි. ඒ නිසාම විශ්වවිද්‍යාල තුළින් විවිධ වැරැදි ක්‍රියාවන්ට යොමු වනවා.
විවිධ අවස්‌ථාවන්හි සිදුවන මෙවැනි වැරැදි ක්‍රියාදාමයන්ට පමණක් නොව සමස්‌ත වශයෙන් ඒ ඒ අවස්‌ථාවන්හි එන ප්‍රශ්නවලට ක්‍ෂණික විසඳුම් ලබා දෙනවාට වඩා කළ යුත්තේ පොදුවේ යම් පිළිගත හැකි විසඳුමක් ලබාදීමයි.
නවක වධය හේතුවෙන් ඉකුත් වසර 3 ක කාලය තුළ සිසුන් 150 ක් විශ්වවිද්‍යාලය හැර ගොස් ඇති බව එක්‌තරා පුවත්පතක පළවී තිබුණා. එය සම්පූර්ණයෙන්ම අසත්‍ය දෙයක්. ඇත්ත වශයෙන් විශ්වවිද්‍යාලය හැරගොස් තිබුණේ 9 දෙනයි. එයින්ද 6 දෙනෙක් පුද්ගලික හේතු මතත් දෙදෙනකු නීති විද්‍යාලයට යැම සඳහාත් එක් අයකු පමණක් 2009 වසරේ විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව යැමක් තමයි සිදුව ඇත්තේ. ඒ නිසා නවක වධය හේතුවෙන් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලය හැරගියා කියන මතය වැරදි බවයි පැවසිය හැක්‌කේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ක්‍රමයෙන් ඉදිරියට ආ විශ්වවිද්‍යාලයක් ලෙස පිළිගැනීමක් තිබෙනවා. ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2009 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබුණේ 3600 වැනි ස්‌ථානය වුවත් අද වන විට 2200 වන තැනට ඇවිත් තිsබෙනවා. එදා ලංකාව තුළ 4 වැනි තැනට පහළ බැස තිබූ එය අද වනවිට පළමු තැනට පත්ව තිබෙනවා. එමෙන්ම පර්යේෂණ එළිදැක්‌වීම අනුවද අපේ විශ්වවිද්‍යාලය ලෝකයෙන්ම 1092 වන ස්‌ථානයේ තිබෙනවා. මේ තත්ත්වය මත අපේ උපාධියේ මට්‌ටම ඉහළ දැමීම සඳහා අප විවිධ ක්‍රම අනුගමනය කළා. ඒ සඳහා ආචාර්යවරුන් බඳවා ගැනීමේදී ගනු ලැබූ ක්‍රියා මාර්ග, සිසු ක්‍රියාකාරකම්, සිසු විනය පවත්වාගෙන යැම මෙන්ම විශ්වවිද්‍යාලයේ පරිපාලනයද බෙහෙවින් ඉවහල් වූ බව කිව හැකියි.
මෙම මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය වජිර වීරසිංහ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය එස්. බී. වීරකෝන්, ශාස්‌ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය අනෝමා අබේරත්න යන මහත්ම මහත්මීහුද අදහස් දැක්‌වූහ.
No comments:
Post a Comment