Thursday, January 17, 2013

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආර්ථික විද්‍යා පාසැලක් ආරම්භ කිරීම පිළිබඳ යෝජණාවලිය සම්බන්ධව කොළඹ විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ නිරීක්ෂණ


I.            ආර්ථික විද්‍යා දෙපාර්තම්න්තුව ආර්ථික විද්‍යා පාසැලක් (මින් පසුව පාසැල) බවට පත් කිරීමේ යෝජණාව රජයේ ප්‍රතිපත්තිමය ආස්ථානය සමඟ සමපාත වෙයි.  පශ්චාද්-ගැටුම් සංවර්ධන ක්‍රියාවලියේ මූලික අදියරේ දී ශ්‍රී ලංකාව ගෝලීය දැනුම් කේණ්‍ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ  ජාතික ප්‍රතිපත්තිමය අරමුණු වලට මෙම පාසැල දායක වෙතැයි කියැවේ.  (බලන්න, යෝජනාවලිය පි. 17).

ආර්ථික විද්‍යා පාසැලක් ආරම්භ කිරීමේ අරමුණ ආර්ථික විද්‍යා අධ්‍යාපනය වාණිජකරණයට ලක් කිරීම බැව් ඉතා පැහැදිළිය.  ඒ වනාහි විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංගමය ඉතා මෑතක සටන් කල අරමුණු වලට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ ය.  6% ක් අධ්‍යාපනය සඳහා වෙන්කර ගැනීමේ අරගලයේ දී අප රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීම උදෙසා පොදු ජනතාව සමඟ ගිවිසුමකට එළැඹි අතර එකී රාජ්‍ය අධ්‍යාපනයට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ද ඇතුළත් විය.  මෙම සටනේ දී ආචාර්ය සංගමයට ලැබුනු අති විශාල මහජන සහයෝගය ඔවුන් එම අරමුණු සමඟ සපුරා එකඟ බවට වූ සාක්ෂියකි.  මෙම සහය අපගේ වේතනමය හා අනෙකුත් ඉල්ලීම් දිනා ගැනීම උ‍දෙසා ද තීරණාත්මක ව බළපෑවේ ය.  එවන් තත්ත්වයක් තුළ, යට කී සමාජ ගිවිසුම උල්ලංඝණය කිරීමට අප හට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නොමැත.  දිවයිනෙහි ස්ථාපිත විශ්වවිද්‍යාලක එවන් පාසැලක් ආරම්භ කල හොත්, අප වනාහී ආත්මාර්ථකාමී ආචාර්ය කොට්ඨාශයක් යන්න පිළිගැනීමට ලක්වීම කිසිවෙකුට වැළැක්විය නොහැක. 

ආර්ථික විද්‍යා විෂය සම්බන්ධයෙන් පමණක් විශේෂීකරණය වූ මෙම පාසැල ආරම්භ කිරීමේ ලා වන සාධාරණීකරණය ලෝකයේ වෙනත් කිසිදු ආර්ථික විද්‍යා පාසැලක් සමඟ සංසන්දනය කළ නොහැකි ය.  සාමාන්‍ය‍යෙන් පාසැලක අරමුණු ශික්ෂණ ගණනාවක් එකතුව ඇති අධ්‍යාපන පාඨමාලා නිර්මාණය කරමින් කේවල විෂය සීමාවකින් ඔබ්බට යාමයි. 

වර්තමාණයේ ශාස්ත්‍රපීඨ සම්පත් වෙන් කිරීමේ ප්‍රමුඛතා සළකා බලන විට එම මුල් තැන ජනමාධ්‍ය ඒකකය හා ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් ඒකකය දෙපාර්තමේන්තු බවට යාවත් කිරීම සඳහා වෙන් විය යුතුය.  ශිෂ්‍ය අනුපාතය සළකා බලන විට වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් ආකර්ෂණය වන්නේ ජනමාධ්‍ය ඒකකයට වන නමුත් එහි ස්ථිර ආචාර්ය මණ්ඩලය තිදෙනෙකුගෙන් පමණක් සමන්විත වෙයි.  විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට ඉගැන්වීම් කෙරෙන ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් ඒකකය සතුව මූළික පහසුකම් හෝ නොමැත.  උදාහරණයක් ලෙස ඉගැන්වීම් කටයුතු සඳහා අනෙක් දෙපාර්තමේන්තුවල දේශන ශාලා ලබා ගැනීමට යැදීමට එයට සිදුව ඇත.

      පීඨයේ දෙපාර්තමේන්තු අන්‍යෝන්‍ය සහයෝගයෙන් ක්‍රියා කරන අතරම පොදුවේ ගැටළු නිරාකරණය කර ගනිමින් එක්ව සංවර්ධනය විය යුතුය.  විදේශීය විශ්වවිද්‍යාලවල පවත්නා තත්ත්වය වන්නේ වර්ථමාණ දැනුම් ආර්ථිකය තුළ අඩු ආකර්ෂණයක් සහිත එහෙත් වැඩි වැදගත් කමක් ඇති නර්තන, දර්ශන වැනි දෙපාර්තමේන්තු අනෙක් දෙපාර්තමේන්තුවල සම්පත් පවා කැප කරමින් පවත්වාගෙන යාමයි. 

      දිවයිනේ බොහෝ ශාස්ත්‍ර පීඨ තම නම් සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ ලෙස වෙනස් කරගෙන ඇති අතර අවශ්‍ය නම් අපට සියළුම දෙපාර්තමේන්තු හා සමඟ පීඨය එකම පාසැලක් ලෙස ප්‍රතිනාමකරනය කළ හැකිය. 

      එසේම මෙකී යොජණාවලිය ආර්ථික විද්‍යා දෙපාර්තම්න්තුවෙහි දී සාකච්ඡා කර ශාස්ත්‍රපීඨයෙන් ස්වාධීන ආයතනයක් ලෙස පාසලක් ස්ථාපිත කිරීමට එහි සාමාජිකයන් සියල්ල ගේ අනුමැතිය ලබා ගත්තේද යන්න පැහැදිළි නොමැත. 

      පහත ඇක්වෙන ආකාරයට මෙම පාසැල හා ශාස්ත්‍රපීඨය අතර යෝජිත පාර්ශ්වීය සම්බන්ධතාව තෘප්තිමත් විය හැකි මට්ටමක නොමැත. 

      එසේම ආර්ථික විද්‍යා දෙපාර්තම්න්තුවෙහි අවශ්‍යතාව එය ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම නම් එය ශාස්ත්‍රපීඨයෙන් සහමුලින්ම වෙන් විය යුතුය.  එසේම ශාස්ත්‍රපීඨයයේ නව ආර්ථික විද්‍යා ‍ දෙපාර්තමේන්තුවක් ආරම්භ කර ඒ සඳහා වෙන් කෙරෙන තනතුරු, ස්ථාන සහ සම්පත් පිළිබඳව සාකච්ඡා කළ යුතුය. 

ශාස්ත්‍රපීඨය හා යෝජිත පාසැල අතර වන පාර්ශ්වීය සම්බන්ධතාව ශාස්ත්‍රපීඨ දෘෂ්ඨි කෝණයෙන් ගත් විට පහත කරුණු මත පිළිගත ‍නොහැක. 

II.            පාසැල හා පීඨ අතර සබඳතාව යෝජිත පාසැල, ආර්ථික විද්‍යා දෙපාර්තම්න්තුව විසින් දැනට පීඨය තුළ සිදු කරන කාර්යයට අමතරව කිසිදු නව දායකත්වයක් ලබා දෙනු ඇතැයි නිරීක්ෂණය කල නොහැක.  එහෙත් ඉන් ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලයක් වනු ඇත්තේ පීඨයේ පවත්නා තත්ත්වය පහත වැටීම පමණි. 

එසේම පීඨයේ හා පාසැලේ වාර්ෂික කාල සටහන් සමමුහුර්ත කිරීමට යෝජිතය.  කෙසේ වෙතත් කිසියම් හේතුවක් මත පීඨයේ පාර්ශවයෙන් ඊට බාධා එල්ල වුවහොත් පාසැල පීඨයට වග කීමකින් තොරව දේශන පැවැත්වීමට බැඳී සිටී.  එවන් තත්ත්වයකදී කාල සටහන් සෑදීම, විභාග පැවැත්වීම සහ ප්‍රථිඵල නිකුත් කිරීම ආදී සියළුම අදියර වලදී පීඨය හා පාසැල අතර ගැටුම් පැන නැගීම නොවැළැක්විය හැකිය. 

එසේම, පාසැල ප්‍රථම උපාධි පාඨමාලා මුදල් අයකර පැවැත්වීමට තීරණය කළ හොත් එය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳ අපගේ අර්ථකථනවලට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ වනවාට අමතරව එවන් තත්ත්වයක් තුළ ඊට මැදිහත් වීමට පීඨයට බලයක් නොමැතිවනු ඇත. 

සම්පත් බෙදී යාම
      වර්තමාණයේ දෙපාර්තමේන්තුව සතු සියලු සම්පත් පාසැල විසින් අවශෝෂණය කර ගනු ඇත.  එමඟින් පීඨය සතු සම්පත් පාසැලට ලබා දීම නිසා පීඨයේ සම්පත් හානියක් සිදුවනු ඇත.

      ආර්ථික විද්‍යා දෙපාර්තම්න්තුවට අනුමත ස්ථීර ආචාර්ය තනතුරු 25 ක් ඊට අහිමි වනු ඇත.  මෙම තනතුරු හුදෙක් ආර්ථික විද්‍යා දෙපාර්තම්න්තුව සතු ඒවා නොවන අතර මීට පෙර අවස්ථාවල දෙපාර්තම්න්තුවල ස්ථීර තනතුරු හුවමාරු කර ගැනීමෙන් ඒ බව පැහැදිළි වෙයි.   

      දැනට ආර්ථික විද්‍යා දෙපාර්තම්න්තුව සතු කාර්යාල අවකාශය, සම්මන්ත්‍රණ ශාලා, දේශන ශාලා සහ අනිකුත් අවකාශ පීඨයට අයත්ය.  මෙම අවකාශවල පරිපාලනය පාසැල සතු වේ නම් පීඨයේ අනෙකුත් දෙපාර්තම්න්තු සහ ඒකක සඳහා එම අවකාශ ලබා ගැනීමේ පවතින ඉඩ ප්‍රස්ථා මොනවා ද?

      සම්පත් බෙදී යාම පිළිබඳව සළකා බලන විට පීඨ සංවර්ධනය සඳහා පාසැලේ ආදායමෙන් 5% කින් දායක වන බව පැවැසේ.  මෙම 5% ප්‍රතිශතය කිනම් මුළු ආදායමකින්ද?  වර්තමාණයේ දෙපාර්තම්න්තුව උත්පාදනය කරන අරමුදල් අනුව ගත් විට රුපියල් වලින් එය කවර මුදලක්ද?  පාසැලේ යෝජිත සිව් වාර්ෂික සැලැස්මට අනුව වසර 04 ක් අවසානයේ මෙම ප්‍රමාණය රුපියල් වලින් කවර මුළු මුදල් ප්‍රමාණයක් වෙයි ද? 

      එමෙන්ම දැනට දෙපාර්තම්න්තුවට ලබා දී ඇති අවකාශ වලට අමතරව පාසැලේ ගොඩනැගිලි අවකාශ තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා ශාස්ත්‍රපීඨාධිපති සමඟ සාකච්ඡා කර ඇතැයි පැවැසේ.  මෙය  ශාස්ත්‍ර පීඨයේ පීඨ මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කළ යුතුය. 

ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය ප්‍රජාව කෙරෙහි වන බලපෑම
      වර්තමාණයේ දී ආර්ථික විද්‍යාව පිළිබඳ පෙර පුහුණුවක් නොලද ශිෂ්‍යයන්ට පවා ආර්ථික විද්‍යා ප්‍රථම උපාධි පාඨමාලාව හැදෑරිය හැකිය. එසේම ආර්ථික විද්‍යාව පිළිබඳ පුහුණුවක් සහිතව පීඨයට ඇතුළත් වන ශිෂ්‍යයෝ ද ආර්ථික විද්‍යා පාඨමාලාව හැදෑරීමට යොමු වෙති.  ඉZසෙඩ් අගය මත පදනම් ව යෝජිත පාසැලට සෘජුව ම ශිෂ්‍යයන් ප්‍රතිපාදන කොමිසම මඟින් ඇතුළත් කිරීමෙන් ආර්ථික විද්‍යා පාඨමාලාව හැදෑරීම සඳහා පීඨයට ඇතුළත්වන ශිෂ්‍යයන්ට අසාධාරණයක් සිදුවිය හැකිය.  එසේම යෝජණාවලියෙහි දැක්වෙන ආකාරයට පාසැලට සෘජුව ම ශිෂ්‍යයන් ඇතුළත් කරගත හොත් ඊට සාපේක්ෂව පීඨයෙන් පාසලට ඇතුලත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කෙරේ  (බලන්න යෝජනාවේ 5.1.3 කොටස).

      මේ අනුව පාසැල හා පීඨය සම්පූර්ණයෙන් ම වෙනස් නීති හා රෙගුලාසි අනුගමනය කිරීම නිසා එය අයහපත් ආකාරයට ශිෂ්‍යයන්ට බළපෑ හැකිය. 

විෂය නිර්දේශ
      යෝජිත ආර්ථික විද්‍යාවේදී  (BEcon) උපාධිය සඳහා වන විෂය නිර්දේශ කුමක් විය හැකි ද?  ශාස්ත්‍රපීඨ‍යේ පිරිනැමෙන කවර පාඨමාලා, කවර සංඛ්‍යාවක් ආර්ථික විද්‍යාවේදී උපාධිය හදාරන ශිෂ්‍යයන් හැදෑරිය යුතුද?  ආරම්භයේ දී යම්කිසි පාඨමාලා සංඛ්‍යාවක් ආර්ථික විද්‍යා ශිෂ්‍යයන් හැදෑරිය යුතු වුවත් එකී ශාස්ත්‍රපීඨ‍ පාඨමාලා සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට පාසැල කටයුතු කළ හොත් එය වැලැක්වීමට පීඨය සතු වන බලය කුමක් ද? 

      මීට පෙර අත් දැක ඇති අවස්ථා අනුව සළකා බැලූ විට මෙම පාසැල ස්ථාපිත කිරීමේ අරමුණ ස්වාධීන ආයතනයක් බවට පත්වීමේ අභිලාශය වන බැවින් පාසැල ස්ථාපිත කළ පසු පීඨය, පාසැල හා විශ්වවිද්‍යාලය අතර වන සම්බන්ධය අනිවාර්යයෙන්ම දුර්වල එකක් වනු ඇත. 

කළමනාකරණ මණ්ඩලය
      පාසැලට අදාළ කාරණා තීරණය කිරීමේ දී කළමනාකරණ මණ්ඩලයට ඇතුළත් ශාස්ත්‍රපීඨ නියෝජිතයන්ට සැළකිය යුතු බලපෑමක් කිරීමේ හැකියාවක් නොමැත. 

      මෙම කළමනාකරණ මණ්ඩලයේ සංයුතිය සළකා බලන විට පෙනී යන්නේ එය පාසැල් කළමනාකාරීත්වයට වඩා පක්ෂපාතීව ගොඩ නැගී ඇති බවයි.  කෙනෙක්, රජයේ විධායක නිලධාරීන් ස්වාධීනව කටයුතු කරතැයි තක්සේරු කල විට පවා පාසැල් කලමණාකාරීත්වයේ බලපෑමෙන් තොර වැය හැකි සියළු සාමාජිකයන් පිරිස 09 දෙනෙක් වන අතර පාසැල් කලමණාකාරීත්වය විසින් පත් කෙරෙන හා එහි බලපෑමට යටත් පිරිස 11 ක් වෙයි.  එම සංඛ්‍යාවට විෂය ධාරා 05 නියෝජනය කරමින් පත්වන දෙපාර්තම්න්තු ප්‍රධානීන් 05 දෙනා ඇතුළත් වූ විට එය 16ක් දක්වා ඉහළ යනු ඇත. 

      එසේම පාසැල දෙපාර්තම්න්තු මට්ටමින් සීමාකාරී වන පරිපාලනමය හා මූල්‍ය රෙගුලාසි වලින් ස්වාධීන වීමේ අභිලාෂයෙන් යුතුවන අතරම එහි අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩල වල වැටුප්ගෙවීම සඳහා විශ්වවිද්‍යාලයේ අනුග්‍රහය දිගටම ලැබෙනු ඇත.  තවද පාසැල් කාර්ය මණ්ඩලයට ද විශ්වවිද්‍යාලයට බලපාන රෙගුලාසිම එයාකාරයටම බලපායි.  උදාහරණයක් ලෙස විශ්වවිද්‍යාලය තුළ වෙනත් පරිපාලනමය හෝ අධ්‍යයන තනතුරක් දැරීමට, රාජ්‍ය සේවය සඳහා නිදහස් කිරීම සහ සප්ත වාර්ෂික නිවාඩු ලබා ගැනීම හෝ අධ්‍යයන නිවාඩු ලබා ගැනීම සඳහා එහි කාර්ය මණඩලය නිදහස් කිරීම (බලන්න, යෝංනාවේ අංක 6.5 දරන කොටස) දැක්විය හැකිය. 

      ඊට අමතරව පීඨයට හා පාසැලට අදාල පොදු ප්‍රශ්ණ සාකච්ඡා කෙරෙන අවස්ථා සඳහා හැරුණු කොට ශාස්ත්‍රපීඨ මණ්ඩලය සඳහා පාසැලෙන් ද නියෝජිතයන් පත් කිරීමේ  අර්ථය අපැහැදිළිය. 

ශාස්ත්‍රපීඨයෙන් ස්වායත්ත වීම
      ආර්ථික විද්‍යා දෙපාර්තම්න්තුව පාසැලක් බවට පත් වීම ශාස්ත්‍රපීඨයේ ඒකාබද්ධතාවය බිඳවැටීමේ ආරම්භය වනු ඇත.  වෙනත් පීඨ ද මෙයාකාරයෙන් විසුරුවා හැරීමට එය උත්තේජනයක් වනු ඇති අතර අවසානයේ එය විශ්වවිද්‍යාලයයේ ඒකාබද්ධතාවය බිඳ වැටීමටත් අවසානයේ රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය වීමටත් බලපානු ඇත. 

      එසේම වෙනත් දෙපාර්තම්න්තු ද තනිව හෝ ඒකාබද්ධව මෙයාකාර පාසැල් ආරම්භ කිරීමට යොමු වීමේ වැඩි ඉඩකඩක් පවතී.  උදාහරණයක් ලෙස සමාජ විද්‍යා දෙපාර්තම්න්තුව වසර ගණනාවක සිට විෂය ධාරා හතරක් යටතේ වෙනම පාසැලක් ලෙස වර්ධනය වීමේ වැඩි ඉඩකඩක් පැවැතුණි.  සමාජ විද්‍යාව, මානව විද්‍යාව, සමාජ වැඩ හා සමාජ ප්‍රතිපත්ති යනුවෙන් දෙපාර්තම්න්තු 04 කට වෙන් වීම පිළිබඳව එම දෙපාර්තම්න්තුව දිගු කලක සිට සැලසුම් කළ ද අවසානයේ මානව සම්පත් රැක ගැනීමේ අරමුණ මත පීඨයෙන් වෙන් වීමේ තීරණය දැනට අත් හැර දමා ඇත. 

      මේ අනුව සමාජ විද්‍යා පාසල, ජාත්‍යන්තර සබඳතා පාසල යනුවෙන් නොයෙකුත් පාසල් ආරම්භ කළ හැකිය.  එසේ නැතහොත් සමාජයීය විද්‍යා පාසල හෝ භාෂා පාසල හෝ මානව ශාස්ත්‍ර පාසල යනුවෙන් පාසැල් ආරම්භ කළ හැකිය.  වර්තමාණයේ පවත්නා මූල්‍යමය හා පරිපාලනමය රෙගුලාසි වලින් විනිර්මුක්තව එවන් පාසල් විධායක බලය සහිත අධ්‍යක්ෂවරුන් පත් කරමින් ස්වාධීන ආයතන බවට පත්විය හැකි වුවත් අවසාන වශයෙන් එය පීඨයට, විශ්වවිද්‍යාලයට හෝ අනාගත පරම්පරාව වෙත ලබා දෙන අධ්‍යාපනය වෙත ඇති කරන බලපෑම කුමක් ද? 

      විවිධ පාසල්වලට වෙන් වීම ශාස්ත්‍ර පීඨයේ ඒකාබද්ධ භාවයට හානි නොකරතැයි මතයක් වෙයි.  නමුත් එවැනි තත්ත්වයක් උදාවීම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආරම්භ වූ දා පටන් උසස් අධ්‍යාපනයේ ශක්තිමත්ම ‍ක්ෂේත්‍රයන් ව පැවති මානව ශාස්ත්‍ර හා ලිබරල් කලා අධ්‍යාපනය අවසන් වීමේ ආරම්භය වනු ඇත. 

No comments: