Wednesday, November 16, 2011

සමාජය මිලිටරීකරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට වළ කපයි

ශක්තිය පුවත් පතේ 2011 නොවැම්බර් කලාපයේ ‘දේශපාලන සටහන‘, තිස් වසරක යුද්ධය අවසන් වී වසර දෙක හමාරක් ගත වී ඇත. හදිසි නීතිය ඉවත් කොට මාස තුනකට ආසන්නය. රටේ නීතිය හා සාමයට අදාළ කරුණු සාමාන්‍ය තත්වයට පත් වී ඇතැයි කියනු ලැබේ. නමුත් පෙර නොවූ විරූ පරිදි රජය, ආර්ථිකය සහ සමාජය මිලිටරීකරණයට ලක් කරමින් පවතින්නේ යැයි බරපතළ විවේචනයක් සමාජයේ ගොඩ නැගෙමින් පවතී. සාමාන්‍යයෙන් හදිසි නීතිය යටතේ පමණක් මහ මඟ දැකිය හැකි අවි ගත් හමුදා සෙබලුන් හදිසි නීතිය ඉවත් කළ බව ප්‍රකාශ කළ පසුත් දිගටම මහජනයා අතර ගැවසෙන්නට රඳවා තබා ඇත්තේ හදිසි නීතිය ඉවත් කිරීම හුදු නාමමාත්‍ර දෙයක් යැයි ප්‍රකාශ කරන්නට මෙනි. හදිසි නීතිය ඉවත් කරනවාත් සමගම ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතටත් ඔබ්බට යමින් ඊටත් වඩා බරපතළ වගන්ති ප්‍රකාශයට පත්කොට ඇතැයි චෝදනා නැගෙයි. අධික වියදම් දරා මහජනයා ප්‍රවීක්ෂණය සඳහා නගරය පුරාම රූපවාහිනී කැමරා සවි කෙරෙයි. දියුණු බටහිර රටවල් පවා තම පුරවැසියන් සම්බන්ධයෙන් යොදා නොගන්නා වමිතික ජෛව ප්‍රමිතික හැඳුනුම් පත් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත. හමුදාවලට බඳවා ගැනීම තවමත් සිදුවෙයි. යුද්ධය අවසන් වූ පසුත් රාජ්‍ය ආරක්ෂාව සඳහා අය වැයෙන් වෙන් කෙරෙන මුදල රටට දැරිය නෙහැකි තරම් බරකි. උතුරු – නැගෙනහිර මිලිටරීකරණය යුද්ධයේ අනතුරට වැඩිපුරම ලක් වූ උතුරු – නැගෙනහිර දෙපළාතේ මිලිටරීකරණය අවසන් වී නැති අතර එය නව මුහුණුවර ගනිමින් වැඩි බලයකින් ක්‍රියාත්මක වන බවට බරපතළ චෝදනා එල්ල වී තිබේ. යාපනය සරසවියේ සිසුන්ට පසුගිය දිනවල එල්ල වූ මැර ප්‍රහාර වලට වග කිව යුත්තේ යාපනයේ යුද හමුදාව බව යාපන සරසවියේ සිසුහු කියා සිටිති (2011 ඔක්තෝබර් 26 වැනිදා The Island). ‘ශ්‍රී ලංකාවේ උතුරු – නැගෙනහිර තත්වය ‘ යන මැයෙන් මෙම ඔක්තෝබර් 21 වැනි දින පාර්ලිමේන්තුවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ඉදිරිපත්කළ වාර්තාවකින් (මේ පසු ගිය ජූලි 07 වැනි දින ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ වාර්තාවේ දෙවැනි අදියරයි. ) මිලිටරීකරණය කිරීම යටතේ උතුරු නැගෙනහිර වසන ජනයාට අත්වී ඇති ඉරණම පිළිබඳ සවිස්තර කරුණු රැසක් ඉදිරිපත් කරයි (බලන්න, රාවය 2011 ඔක්තෝබර් 30, 5 වැනි පිටුව සහ මෙහි). එහි ‘හමුදාකරණය‘ යටතේ විශාල හමුදාවක් උතුරු නැගෙනහිර අරක් ගෙන සිටීමේ බලපෑම, රාජ්‍ය අපරාධ නොතැකීම, ආර්ථික කටයුතුවලට අනවසරෙන් මැදිහත්වීම, පෞද්ගලික ජීවිත වලට මැදිහත් වීම, සමාජ ජීවිතයට මැදිහත් වීම යන කරුණුද, ‘රාජ්‍ය මෘගත්වය‘ යටතේ , උසාවි භූමියේ පහරදීම්, විරෝධතා ප්‍රචණ්ඩ ලෙස යටපත් කිරීම, ලිංගික ප්‍රචණ්ඩත්වය, ප්‍රජා කණ්ඩායම් වලට හිරිහැර කිරීම යනාදියද, ‘ජීවනෝපාය අහිමිවීම‘ යටතේ මුලතිව් හි මසුන් මරන දෙමළ ප්‍රජාවන්ට සීමා පැනවීම ද, ‘ක්‍රමානුකූල ලෙස දෙමළ ජනයා තම ඉඩම්වලින් ඉවත් කිරීම, දෙමළ ජනයා ට අයිති ඉඩම් ඩැහැ ගැනීම සහ ඒවායේ පදිංචිවීම,‘ යටතේ හමුදාව විසින් පාසල්වල පදිංචිවීම ද, ‘සමාජීය කරුණු‘ යටතේ භීතිය පිළිබඳ මානසික තත්වය ද, ‘නීතිමය කරුණු‘ යටතේ පුද්ගලයන් ලියා පදිංචි කිරීම ද දක්වා ඇත. තවද, පොදුවේ ජනයාගේ මූලික අයිතීන් අමු අමුවේ උල්ලංඝණය කෙරෙන පරිදි සහ වඩාත්ම උතුරු නැගෙනහිර දෙමළ ජනයා පීඩාවට පත්කෙරෙන නව රෙගුලාසි ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ පැනවීමද දක්වා ඇත. විශ්ව විද්‍යාල මිලිටරීකරණය කිරීම ශ‍්‍රමදානයක් මුවාවෙන් රුහුණු සරසවියට යුද හමුදාව කැඳවතියි ද ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ ආරක්ෂක සේවයක් එහි ආරක්ෂාවට එවා ඇතැයි ද කියමින් රුහුණු සරසවියේ සිසුන්, ආචාර්යවරුන් සහ අනධ්‍යන සේවකයන් ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් කළහ (2011 ඔක්තෝම්බර් 19 ලංකාදීප) මෙම පියවර උපක‍්‍රමශිලි ලෙස හමුදාව සරසවි ඇතුළට රැගෙන ඒමට රජය ගන්නා උත‍්සාහයක් බවට විශ්වාසයක් සරසවි ආචාර්ය වරු ප්‍රකාශ කළහ. මිලිටරීකරණය කිරීම සරසවිවලට ගෙන ඒමේ උත්සාහය පිළිබඳ කරුණ මුලින්ම මතු වූයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නවක සරසවි සිසුනට හමුදා නිලධාරීන් ලවා හමුදා කඳවුරු සහ පොලීසියේ පුහුණු මධ්‍යස්ථානවල නායකත්ව පුහුණුව දීම මුල් කරගෙන ඇති වූ ආන්දෝලනයේ දීය. ඉන් පසු මෑතදී එම කරුණ යලිත් මතුවූයේ විශ්ව විද්‍යාලවල ආරක්ෂක සේවය රක්නා ලංකා නමැති රජයට අයත් වාණිජ ව්‍යාපාරයකට පවරා දෙන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයේ අනුග්‍රහය යටතේ කළ නියෝගයට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්යවරු සිය ගණනක් ‘සරසවි ස්වාධිපත්‍යය උල්ලංඝනය කිරීමට එරෙහි ආයාචනයක්‘ මැයෙන් කළ ප්‍රකාශයකිනි (බලන්න, uteachers.blogspot.com) . මෙම සමාගම ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති, අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අධීක්ෂණයට යටත් එකකි. මෙහි සේවකයෝ හිටපු හමුදා නිලධාරීහු වෙති. අදහස් නිදහසේ හුවමාරු කරගැනීම, විචාරශීලී චින්තනය, සහ නවෝත්පාදනය සඳහා වූ ස්ථාන වන විශ්ව විද්‍යාලවල පරිපාලන සහ ශාස්ත්‍රාලීය පරිමණ්ඩලයන්හි මිලිටරි ආයතන මෙලෙස වැඩි වැඩියෙන් භූමිකාවක් රඟදැක්වීම පිළිබඳ මෙම විශ්ව විද්‍යාල ආචාර්යවරු තම අවධානය යොමු කළහ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉහත සඳහන් ආයාචනය අනුමත කරමින් රජයේ මෙම පියවරෙන් විශ්ව විද්‍යාලවල බුද්ධිමය නිදහසට තර්ජනයක් එල්ලවීමේ අවදානම අවධාරණය කර සිටියාය. සිවිල් සමාජයේ කටයුතු මිලිටරීකරණය කිරීම බොහෝ විචාරකයන් දැනටමත් පෙන්වා දී ඇති පරිදි ආරක්ෂක හමුදා සිවිල් සමාජයේ කටයුතු වලට මැදිහත් වීම රටේ ප්‍රජාතන්ත්‍රීය භාවිතාවන්ට බරපතළ තර්ජනයක් එල්ල කරන අතර හමුදා බලය මුල් කරගත් ඒකාධිපති පාලනයකට මඟ පාදයි ( උදාහරණ ලෙස, බලන්න, තිසරණී ගුණසේකර ගේ පුවත් පත් ලිපි සහ දරිණී රාජසිංහම් සේනානායක, ජූඩ් ප්‍රනාන්දු, සහ ෂාමලා කුමාර් Groundviews වෙබ් අඩවියට ලියූ ලිපි) . ආරක්ෂක හමුදා සිවිල් සමාජයේ කටයුතු වලට මැදිහත් වීම ප්‍රබලවම දැකිය හැක්කේ ආර්ථිකය, සමාජය සහ සංවර්ධනය හා සම්බන්ධ කලාපයන්හිදී ය. ටේ අපරාධ මැඩීම, විනය රැකීම, අකාර්යක්ෂම රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම හමුදාවට පැවරීම, සමාජ පර්යාය රැකීම ට හමුදාව යොදා ගැනීම, නීතිය හා සාමය රැකීමේ පොලීසියේ වගකීම් හමුදාවට පැවරීම සිවිල් කටයුතු මිලිටරීකරණය කිරීමකි. නගරයේ දුප්පතුන්ගේ අයිතිවාසිකම් මර්ධනයට හමුදාව යොදා ගැනීම දේශපාලනයට ඇඟිලි ගැසීමට හමුදාව යොදා ගැනීමකි. මෙය සමාජයේ මිලිටරි මානසිකත්වයක් තහවුරු කරනු ඇත. හමුදා ප්‍රධානීන් සහ නිලධාරීන් දේශපාලනය ට මැදිහත් වන්නට පටන් ගත් විට තර්ජනය එල්ල වන්නේ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවට ය. රජය සහ ආණ්ඩුව අතර වෙනස පවත්වා ගැනීම අත්‍යවශ්‍ය ය. ආණ්ඩුව මගින් රජය පාලනය විය යුතුවා මිස රජය ආණ්ඩුව පාලනය කිරීමට උත්සාහ දැරීම සිදු නොවිය යුතුය. නාගරික සංවර්ධනය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට, නාගරික සංවර්ධනය, ඉඩම් අත්පත් කර ගැනීම, සංවර්ධනය සහ ඉදිකිරීම්, ජලමාර්ග, සහ ඇන්ජීඕ ලියාපදංචි කිරීම ද පවරා ගෙන ඇත. මෙම ආයතන සිවිල් සමාජය පිළිබඳ කටයුතු කරන ආයතන වෙයි. නාගරික සංවර්ධනයත් රාජ්‍ය ආරක්ෂාවත එකට ගැට ගැසීමෙන් සිවිල් සමාජයේ කටයුතුවලට හමුදාව මැදිහත් කරවීමට අවකාශ සළසා ඇත. යුද හමුදාව සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීම සංවර්ධනය හමුදා මානසිකත්වයට යට කරයි. යුද හමුදාව ඉහළ සිට පහළට දෙණ අණ පිළිපැදීම කරන අතර සංවර්ධනය සිවිල් නිලධාරීන් සහ පුරවැසියන් ගේ සහභාගීත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සිදුවිය යුත්තකි. විචාරකයන් පෙන්වා දෙන පරිදි නගර සංවර්ධනයෙදී සිවිල් පරිපාලනය සහ වෙළෙඳ ප්‍රජාවේ විශේෂඥ දැනුම එන්න එන්නම ආන්තිකකරණය කොට ඇත. මිලිටරි නිලධාරීන් හෝ විශ්‍රාම ගිය මිලිටරි නිලධාරීන් එතැන ගෙන ඇතැයි කියැවෙයි. මෙයින් විතැන් කෙරෙන්නේ දැනුම පදනම් කොට ගත්, ජන කේන්දීය ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදනය යි. සංවර්ධනයට සම්බන්ධ ආයතන ප්‍රජාතන්ත්‍රවාදී වේ යැයි ඇති අපේක්ෂාව මෙයින් අනතුරට ලක් කෙරෙයි. මිලිටරි-ව්‍යාපාරික මොඩලය ඒකාධිපතිත්වයට මඟ පාදයි ලංකාවේ පශ්චාත් යුද ආර්ථිකය කලකට පෙර ඉන්දුනීසියාවේ යොදාගත් මිලිටරි- ව්‍යාපාරික මොඩලයට සමානව හැඩ ගැසෙමින් ඇතැයි දරිණි රාජසිංහම් සේනානායක Groundviews වෙබ් අඩවියට ලිපියක් ලියමින් කියා ඇත. ඇය දක්වන පරිදි ලංකාවේද මිලිටරිය රාජ්‍ය අර්ධ සහ රාජ්‍ය අංශයේ සිවිල් වෙළෙඳ ව්‍යාපාර සෘජුව මෙහෙයවීමට සහ කළමනාකරණයට යොදා ගෙන ඇත. නව මිලිටරි ප්‍රභූ පැළැන්තියට පරිපාලන රැකියා, රජයේ ඉඩම්, සහ ව්‍යාපාරික අවස්ථා විවර වෙයි. මිලිටරිය ජනයාට ප්‍රයෝජනවත් සේවා සැපයීමෙන් ජන හදට සමීප වෙයි. එවිට මිලිටරීකරණය පිළිබඳ යථා තත්වය දැකීමට සමාජය අකමැති වෙයි. පකිස්ථානයේ ද මිලිටරි ආර්ථිකය ප්‍රබලය, මිලිටරි ව්‍යාපාර සහ සංවර්ධනය එකට යයි. ලංකා රජය මෑත කාලයේදී පකිස්ථානය සමග ආර්ථික සහ ආරක්ෂක සහයෝගතා සබඳතා තරකරගනිමින් සිටියි. ඒ අනුව ලංකාවේ මිලිටරීකරණය කිරීම උත්සන්න වීමට මෙම සම්බන්ධය බලපානු ඇත. මිලිටරීකරණය කිරීම සඳහා සිවිල් ප්‍රජාව සහ ව්‍යාපාරික ප්‍රජාව ජාත්‍යාලයෙන් තොර, අදක්ෂ, දූෂිත යැයි ප්‍රකාශ කිරීම මගින් රටේ සංවර්ධනයට අවශ්‍ය වන්නේ හිතකාමි ඒකාධිපතිත්වයක් හෝ මිලිටරිය හෝ දෙකම යැයි ඒත්තු ගැන්වීමට පියවර ගැනෙයි. සිවිල්-මිලිටරි සබදතා බොඳ කිරීම ප්‍රජාතන්ත්‍රීය ආයතන සහ සම්ප්‍රදායන් අඩපණ කොට රාජ්‍ය බලය ඒකාධිපති පාලනයක් කරා වර්ධනය වීමට ඉඩ සැළසිය හැකිය. මිලිටරීකරණය කළ පරිකල්පනාව නිව් කාස්ල් විශ්ව විද්‍යලයේ නගරය සහ සමාජය පිළිබඳ මහාචාර්යවර ස්ටීවන් ග්‍රැහැම් Cities Under Siege: The New Military Urbanism (වටලෑමට ලක්වූ නගර: නව මිලිටරි නාගරිකවාදය) යනුවෙන් 2010 දී පළ කළ පොතක කියා සිටියේ ජාතීන් අතර යුද්ධ හීන වීමත් සමග ලොව පුරා රාජ්‍ය ආරක්ෂක ආයතන නගරය දිශාවට, සිවිල් වැසියන්, සමාජීය ව්‍යාපාර, සහ අනෙක් අරගලවලට එරෙහිව හැරෙන බවයි. දැන් යුද්ධයේ රූපක මත් ද්‍රව්‍ය, දුප්පත්කම සහ ත්‍රස්තවාදය බවට මාරුවී ඇත. දේශපාලන සහ ආර්ථික ප්‍රභූ පැළැන්තිය විසින් භූමිය යළි අත්පත් කරගැනීමේ ‘රිවැන්ෂිස්ට්‘ (revanchist) ප්‍රතිපත්ති නව මිලිටරි නාගරිකත්වය සමග බොඳ වෙයි. නව මිලිටරි නාගරිකවාදයට අනුව ආර්ථික සංවර්ධනය සඳහා නගරයේ අවුල නැතහොත් අපිළිවෙළ දුරු කළ යුතුය.“ අපිළිවෙළගත“ ජනගහණයන් තහනම් කිරීම සහ බිහිසුණු ලෙසින් චිත්‍රණය කිරීමේ අධි-තාක්ෂණික මිලිටරීකරණය වූ එළඹුම ප්‍රථිඵල අතින් දේශපාලන සහ ආර්ථික ප්‍රභූ පැළැන්තිය විසින් භූමිය යළි අත්පත් කරගැනීමේ රිවැන්ෂිස්ට් ප්‍රතිපත්ති හා සමාන වෙයි. එහි ප්‍රථිඵලය වන්නේ ඒවායින් දුප්පතුන් සහ “අපිළිවෙළගත “ අය බැහැර කළ හැකි පරිභෝජනයේ සහ දේශපාලන සහ ආර්ථික බලයේ බළකොටු හැදීම යි, නගර ප්‍රභූකරණයට ලක් කිරීම යි, දුප්පතුන්ගේ ඉඩම් අහස උසට නැගෙන මහල් මන්දිර ඉදිකිරීම සඳහා ගැනීම යි. නගරය පිළිබඳ මෙම මිලිටරීකරණය කළ පරිකල්පනාව නගරය පරිභෝජනය සහ ආයෝජනය සඳහා පැකේජ් කිරීම සමග බැඳී පවතින අතර නගරයේ ස්ථාපිත පිළිවෙළ ට තර්ජනය කරන්නේ යැයි සිතන අය දේශපාලන වශයෙනුත් ඉලක්ක කරයි. මිලිටරීකරණය කළ පරිකල්පනාව ලංකාව තුළ දිග හැරෙනු ඇත්තේ කුමන දිශානතියකට ද? පුරවැසියා විසිනි ශක්තිය පුවත් පතේ 2011 නොවැම්බර් කලාපයේ ‘දේශපාලන සටහන‘

No comments: