Divaina, 11/09/2011,
නීතිඥයකුට වැරදුණොත් අඩි හයක් උඩින් එල්ලෙන්නටත් වෛද්‍යවරයකුට වැරදුණොත් අඩිහයක් යට වැළලෙන්නටත් සිදුවේ යනු තරමක් පැරැණි මුත් අදටත් ගැළපෙන කියමනකි. ඒ අනුව හැම දෙයක්‌ම බාල වෙන අද රටේ වෛද්‍ය වෘත්තියත් බාල වුණොත් එහි වාසිය හිමිවන්නේ අපේ රටේ අවමංගල්‍ය අධ්‍යක්‍ෂවරුන්ටය. අප මේ පූර්විකාව ලියන්නේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි සහතික පිරිනමන්නට අවසර දීමෙන් පසු එම වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට ආණ්‌ඩුව පංච පුද්ගල කමිටුවක් පත්කිරීමේ පුවත නිමිති කරගෙනය. ගොඩගසාගත් පසු විකුණා දමන්නට ප්‍රමිතිය හොයන රටක වෛද්‍ය විද්‍යාලයකට දෙන ප්‍රමිති සහතිකය කෙබඳු එකක් විය හැකි දැයි යමකු තුළ කුකුසක් ඇති වුවහොත් එය ද පුදුමයට කාරණයක් නොවේ. අපේ රටේ විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ මතුව ඇති වර්තමාන ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ලබාදුන් මේ වරම පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙනෙවි එපිටවත්ත සමග "දිවයින ඉරිදා සංග්‍රහය" පැවැත් වූ සාකච්ඡාවකි මේ.
අපේ රටේ විශ්වවිද්‍යාලවල අද මතුවී තිබෙන අර්බුදය ඔබ දකින්නෙ කොහොමද?
විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබා දෙන්නේ කුමකට ද කියන කාරණය අද ලෝකය පුරාම සාකච්ඡාවට භාජනය වෙලා තියෙනව. මට මතක හැටියට මාසෙකට විතර කලින් නේචර් සඟරාවෙ මේ පිළිබඳ දීර්ඝ ලිපියක් පළවෙලා තිබුණා. අද මතුවී තිබෙන ගෝලීය අර්බුදය එයින් ඉතාම පැහැදිලිව දක්‌වා තිබුණා. අතිවිශේෂ වුවමනාවකින් හැදෑරීමක් කරන කෙනෙකුට හැරෙන්න ඉල්ලන හැමෝටම මෙබඳු උපාධියක් ලබාදීම ප්‍රයෝජනයක් නැති දෙයක් විදිහට අද ලෝකයේ සමහර විශ්වවිද්‍යාලවල උගතුන් පිළිඅරන් තියෙනවා.
මේ ආකල්පයෙන්ම අපේ රටේ විශ්වවිද්‍යාල දෙස බැලුවොත් හැම විශ්වවිද්‍යාලයකම පීඨ දෙකතුනක් හැරෙන්න අනෙක් ඒවා අසාර්ථකයි. අපේ රටේ විශ්වවිද්‍යාලවල තිබෙන මේ බිඳවැටීම සමාජය තුළින් ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙනව. වෛද්‍ය විද්‍යාව පැත්තෙනුත් මේ බිඳවැටීම තියෙනව. ලෝකයෙ වෙනත් රටවලට සාපේක්‍ෂව වෛදය ක්‍ෂේත්‍ර පැහැදිලිව බිඳ වැටිල තියෙනවා. දත්ත රැස් කරගෙන පර්යේෂණවල නිරතවෙමින් ඒ පිළිබඳ ගැඹුරු විශ්ලේෂණවල යෙදිය යුතු බොහෝ දෙනා මුදල් පසුපස හඹා යැමට පටන්ගෙන ඇති නිසා මේ ක්‍ෂේත්‍රයත් අද බිඳවැටිලා තියෙනවා.
පසුගිය කාලේ අපේ රටේ මහජන මුදල් මහා පරිමාණයෙන් අත්aතනෝමතික ලෙස භාවිත වුණු සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. එසේම අපේ රට අපේ රටේ නිපදවිය හැකි බොහෝ දේ පිටරටින් ගේන රටක්. මහා පරිමාණයෙන් විදේශ විනිමය වැය කර අනවශ්‍ය දේවල් ගෙන්වන රටක්. මේ කිසිදු අනර්ථයකට එරෙහිව කිසිදු බුද්ධිමතෙක් අද අදහසක්‌වත් ප්‍රකාශ කරන්නේ නෑ?
මේ අපේ රටේ විශ්වවිද්‍යාලවල ශාස්‌ත්‍ර පීඨවල අද තිබෙන අකර්මණ්‍ය ස්‌වභාවයේ ප්‍රතිඵලයක්. රටේ සිදුවන අනර්ථයකට එරෙහිව විශ්වවිද්‍යාල මට්‌ටමෙන් කළ හැකි කිසිදෙයක් අද වෙන්නේ නෑ. ශාස්‌ත්‍ර පීඨ පමණක් නොවෙයි ඉංජිනේරු පීඨවල තත්ත්වයත් ඕකයි. අනිත් රටවලට සාපේක්‍ෂව බැලුවොත් අපේ රටේ කාර්මික අංශයේ විශාල පසුබෑමක් තියෙනවා. දේශීය වශයෙන් අපේ රටේ නිපදවා ගන්න පුළුවන් දේ නිපදවා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණය හරිහැටි දියුණු කරගෙන නෑ. තුන්වැනි ලෝකයේ තිබෙන ආර්ථික අර්බුද සමග මෙවැනි දේ දියුණු කරන්න අමාරුයි කියල කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. නමුත් එදා සහ අද අතර විශ්වවිද්‍යාල ක්‌ෂේත්‍රය දෙස බලන විට අභියෝගවලට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් අද අපේ රටේ විශ්වවිද්‍යාල තුළ තියෙනව. මේකට එකම හේතුව විශ්වවිද්‍යාලයම නෙමෙයි. පළමුවැනි ශ්‍රෝණියේ සිට උසස් පෙළ දක්‌වා ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය, එහි ගුණාංග, ශිෂ්‍යයන්ගේ පොත පත කියවීම, බාහිර ක්‍රියාකාරකම්, සාරධර්ම, වටිනාකම් මේ සියල්ල බලපානව. උසස් පෙළ සමත්වන ශිෂ්‍යයාට විශ්වවිද්‍යාලයෙන් ලැබෙන්නෙ අවුරුදු හතරක පුහුණුවක්. බුලත් පයියට හෙණ ගහපුවම හුණු කිල්ලෝටෙ ගැන හොයල වැඩක් නෑ වගේ පාසල් අධ්‍යාපනේ කඩා වැටුණ රටක විශ්වවිද්‍යාල කඩාවැටෙන එක නවත්වන්න බෑ.
රජයේ විශ්වවිද්‍යාලවල මෙබඳු තත්ත්වයක් තිබියදී ආණ්‌ඩුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා නීත්‍යානුකූල බලය ලබාදී තිබෙනවා. මේ කාරණය ඔබ දකින්නෙ කොහොමද?
අපේ රටේ අද දේශපාලන බලය ඉතාම ප්‍රබලයි. ඉගෙන ගත්තු හුඟක් මිනිස්‌සු වුණත් අද කරන්නේ ඒ ඉගෙනගත්තු දෙයින් රටට ගැළපෙන දේවල් නෙමෙයි. දේශපාලකයන්ගේ ඕනෑ එපාකම්.... විශ්වවිද්‍යාලයක එයින් මිදුණු ආයතනයක් තිබුණ නම් ඒ වෛද්‍ය විද්‍යාලෙ... අනිත් හැම අංශෙකම වගේ ඉන්න වැඩිදෙනා කුලියට කඩේ යන අය.... නමුත් වෛද්‍ය විද්‍යාවට එහෙම යන්න බෑ. මක්‌නිසාද කඩේ ගිහින් කෙනෙක් මැරුණොත් මිනිස්‌සු ගහනවා....
ඉංජිනේරුවන්ට ගොඩනැඟිල්ලක් හදල, පාරක් හදල, ටික කාලයක් බේරිලා ඉන්න පුළුවන්. කලා, වාණිජ, සමාජ විද්‍යා වගේ උපාධි හදාරපු අයට ඕනෑතරම් නිදහසට කාරණා තියෙනව. අද මේ තත්ත්වය විශ්වවිද්‍යාල තුළ ඇතිවෙලා තිබෙන්නෙ සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තියෙන පිරිහීම නිසයි. ඕනෑම විශ්වවිද්‍යාලයක ප්‍රතිඵල අරගෙන බැලුවොත් මේ කියන කාරණය ඔප්පු කරන්න පුළුවන්.
රජයේ විශ්විද්‍යාල කඩාවැටෙන හැටි පැහැදිලිව පේන්න තිබෙන මේවගේ වේලාවක පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ අරමුණ කුමක් ද? ඒවා පිහිටුවන්න පුළුවන් කුමන පාඨමාලාවලට ද කියන කාරණය විමසා බලන්න ඕන. අපේ රටේ කලා උපාධියට ඉගෙනගන්න ඇමරිකාවෙන්, එංගලන්තයෙන් ළමයි එන්නෙ නෑ. අපේ ශිෂ්‍යයකුට මේ කලා උපාධියෙන් ඇමරිකාවෙ, එංගලන්තෙ ගිහින් කරන්න පුළුවන් දේකුත් නෑ. කළමනාකරණය සඳහා නම් ඒ විදිහේ විශ්වවිද්‍යාලයක් ඇති කරන්න පුළුවන්. විද්‍යා උපාධිය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අපේ රටේ පිහිටුවීම ඉතාම දුෂ්කර වැඩක්.
රජයේ විශ්වවිද්‍යාල මේ විදිහට වැහැරෙමින් යනවිට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළොත් අපේ රටේ මධ්‍යම පංතියේ සහ ඉහළ මධ්‍යම පන්තියෙ පිරිසක් මුල් අවුරුදු කිහිපය තුළ ඒවට යයි. අද පෞද්ගලික පාසල් තියෙනව වගේ ඒ අය වෙනම පැලැන්තියක් විදිහට ඒවායින් පිටවේවි. මේ විදිහට තව අවුරුදු දහයක්, දොළහක් යන විට රජයේ විශ්වවිද්‍යාලවලට වෙන්නෙ ලංගමට සිද්ධවෙච්ච දේ.
ආණ්‌ඩුව මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට කමිටුවක් පත්කරල තියෙනව. ලෝකයේ වෙනත් රටවලට සාපේක්‍ෂව උසස් ප්‍රමිතියකින් යුතු ආයතන ලෙස මේවා පවත්වාගෙන යැමට පුළුවන්ද?
ඔක්‌ස්µර්ඩ්, සසෙක්‌ස්, ෂෙµSල්ඩ් වැනි ලෝකයේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල කිසිවක් මේවට ඒකාබද්ධ වෙයි කියල හිතන්න බෑ. අපේ රටේ මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට බැඳිල රුපියල් ලක්‍ෂ 50 ක් 60 ක් ගෙවල උපාධියක් අරගත්තු ළමයකුට ඒ මුදල හොයන්න සරිලන රැකියාවක් අපේ රටෙන් හොයා ගන්න අමාරුයි. මේ විශ්වවිද්‍යාල ලෝකයේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල සමග සම්බන්ධයක් නැති නිසා ප්‍රධාන රටවල් මේ සහතික පිළිගනී ද යන්න සැකයි. ඔක්‌ස්µර්ඩ් හෝ ෂෙµSල්ඩ් විශ්වවිද්‍යාලවලින් නිකුත් කරන සහතිකයක් මේවායින් ලබන්න බෑ. එබඳු පිළිගැනීමක් මේ සහතිකවලට ලැබෙන්නට නම් මේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ඒ පිළිගත් විශ්වවිද්‍යාලවල මට්‌ටමට තියෙන්නට ඕනෑ. එනම් විද්‍යාගාර, උපකරණ, ගොඩනැඟිලි සහ ගුරුවරු ඒ ප්‍රමිතියට සරිලන්නට ඕන. මා සමග ෂෙµSල්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා දැන් ඔක්‌ස්µර්ඩ් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යවරයකු ලෙස සේවය කරන මිත්‍රයෙක් අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන මා සමග කළ කතාබහකදී ලෝකයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකුගේ සේවය අපේ රටට ලබාගන්නට නම් මසකට ලක්‍ෂ 80 ක පමණ වැටුපක් ගෙවන්නට සිදුවන බව ප්‍රකාශ කළා. මේ විශ්වවිද්‍යාලයකට එබඳු ආචාර්යවරු පස්‌දෙනකුගේ සේවය ලබා ගත්තොත් ඒ සඳහා ලක්‍ෂ 400 ක් ගෙවන්නට වෙනවා. එවිට අපේ රටේ ශිෂ්‍යයකුට මේ පෞද්ගලික විශ්විද්‍යාලයකට ඇතුළු වී උපාධියක් ලබා ගන්නවාට වඩා අඩු මුදලකින් එංගලන්තයට ගොස් ඔක්‌ස්µර්ඩ් විශ්වවිද්‍යාලයෙන්ම උපාධියක් ගන්න පුළුවන්.
ඒ නිසා දැන් කරන්න තියෙන්නෙ මේ පෞද්ගලික විශ්වවිද්‍යාල, වෛද්‍ය විද්‍යාල ඇති කරන එක නෙමෙයි. අපේ රටේ අධ්‍යාපනය නිසි මාර්ගයට අරගෙන අපේ රටේ දැන් කඩා වැටෙමින් යන විශ්වවිද්‍යාල උසස් මට්‌ටමකට ගෙන ඒමයි. ආණ්‌ඩුව දැන් අධ්‍යාපනයට වියදම් කරන ප්‍රමාණයට තව සියයට දහයක් එකතු කරල දක්‍ෂ පරිපාලනයක් ඇති කරල අධ්‍යාපනය පිළිබඳ පුළුල් දැක්‌මක් ඇති පිරිසක් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ කරගෙන තව අවුරුදු පහක් හෝ හයක් ඇතුළත රජයේ සියලු විශ්වවිද්‍යාල නියම විද්‍යාස්‌ථාන බවට පත් කරන්න ඕන. ඊට පස්‌සේ ඕන තරම් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න ඉඩ දුන්නට කමක් නෑ. කිසිදු විශ්වවිද්‍යාලයකට අභියෝග කරන්න බැරි තත්ත්වයකට රජයේ විශ්වවිද්‍යාල පත්වුණාට පස්‌සෙ කවර පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඇති වුණත් එය රටේ අධ්‍යාපනයට හානියක් නෙමෙයි.
සාකච්ඡා කළේ
පාලිත සේනානායක
We are a concerned group of academics fighting to ensure the opportunity of high quality public higher education for the Sri Lankan masses. This blog is intended as a bulletin board to share news and ideas relevant to the cause. The views and opinions expressed here do not necessarily represent the views and opinions of the FUTA. If you wish to post any interesting articles please e-mail them to uteachers.sl at gmail.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment