Friday, July 12, 2013

සරසවි ඇදුරු මාධ්‍ය හමුව කොළඹ සරසවි ගේට්‌ටුව ළඟ

Divaina.com, 12/07/2013

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මෙහෙයවීමෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ රැස්‌වීම් ශාලාවේ ඊයේ (11 වැනිදා) පැවැත්වීමට සූදානම් කර තිබූ මාධ්‍ය සාකච්ඡාවට පාලනාධිකාරිය අවසර නොදීම නිසා එය ගේට්‌ටුව අසලදී පැවැත්වීමට සිදුවිය.

මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්‌ඩාර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බල මණ්‌ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමියන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහාය.

මෙම සාකච්ඡාව සඳහා රැස්‌වීම් ශාලාව සූදානම් කර තිබූ නමුත් ඊට සහභාගි වීම සඳහා මාධ්‍යවේදීන්ට ගේට්‌ටුවෙන් ඇතුළු වීමට අවසර නොලැබිණි. ආරක්‍ෂක අංශ ප්‍රකාශ කළේ මාධ්‍ය සාකච්ඡාවක්‌ සඳහා අවසරයක්‌ නොමැති බවට ඉහළින් දැනුම් දී ඇති බවය. සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, උප සභාපති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු ආචාර්යවරුන් කිහිප දෙනකු ගේට්‌ටුව අසලට පැමිණ මාධ්‍යවේදීන් කැඳවාගෙන යාමට ගත් උත්සාහයද අසාර්ථක වූ අතර මාධ්‍ය සාකච්ඡාව ගේට්‌ටුව අසල සිට පැවැත්වීමට තීරණය කළේ ඉන් පසුවය. සාකච්ඡාව සඳහා අවශ්‍ය පුටු හා මේසද රැස්‌වීම් ශාලාවේ සිට රැගෙන පැමිණියේ ආචාර්යවරුන් විසිනි.

තමන් පැවැත්වූ දින සියයක වැඩ වර්ජනය අවසානයේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සමග සම්මේලනය ඇති කර ගත් එකඟතාව අනුව මාධ්‍ය කටයුතුවලට බාධා පමුණුවමින් නිකුත් කර තිබූ අංක 890 දරන චක්‍රලේඛය අහෝසි කර ඇති නමුත් කොළඹ විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය එම එකඟතාව කඩ කළ බව මාධ්‍ය සාකච්ඡාවේදී සභාපතිවරයා සඳහන් කළේය.

මාධ්‍ය සාකච්ඡාව රැස්‌වීම් ශාලාවේ පැවැත්වීමට ඉඩ නොදීමට කිසිදු නීතිමය පදනමක්‌ නැතැයිද කී ඒ මහතා මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග සාකච්ඡා කරන බවද පැවැසීය.

No comments: