Friday, December 7, 2012

විශ්වාසයක්‌ නැති බව දන්වා තේරීම් කාරක සභාවෙන් අගවිනිසුරුවරිය ඉවත්වෙයි -

Divaina, 06/12/2012,


"කාරක සභාවේ වැඩ දිගටම..."

අජිත් අලහකෝන්, අකිත පෙරේරා
විශේෂ කාරක සභාව පිළිබඳ තමන්ට විශ්වාසයක්‌ නැතැයි පවසමින් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඇතුළු ඇයගේ නීතිඥ කණ්‌ඩායම ඊයේ (6 වැනිදා) සවස කාරක සභාවේ විමර්ශන කටයුතු අතර තුරදී නැගිට පිටව ගොස්‌ ඇත. මෙම කාරක සභාව හමුවේ මින් මතු පෙනී නොසිටින බවද එම කණ්‌ඩායම ප්‍රකාශකර ඇත.

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විමර්ශනය කෙරෙන විශේෂ කාරක සභාව ඊයේ (6 වැනිදා) සවස 2.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්‌වූ අතර ඊට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය සහ හත් දෙනකුගෙන් යුත් ඇයගේ නීතිඥ කණ්‌ඩායමද සහභාගි වූහ.

මෙම කාරක සභාව ඊයේ (6 වැනිදා) සවස 6.30 වන තුරු පවත්වාගෙන යැමට තීරණය කර තිබූ නමුත් අගවිනිසුරුවරිය ඇතුළු නීතිඥ පිරිස පස්‌වරු 5.50 ට පමණ කාරක සභාවෙන් නැගිට පිටවගොස්‌ ඇත. ඊට පෙර පස්‌වරු 5.05 ට තේ පානය සඳහා කාරක සභාවේ කටයුතු අත්හිටුවීමක්‌ද කර ඇත.

විශේෂ කාරක සභාව කටයුතු කරන ආකාරය පිළිබඳව තමන්ට විශ්වාසයක්‌ නැතැයි අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

සාක්‍ෂිකරුවන්ගේ නාම ලේඛන ඉදිරිපත් නොකිරීම, චෝදනා සම්බන්ධ ලිපි ලේඛන ඉදිරිපත් නොකිරීම, අගවිනිසුරුට අපහාස කිරීම ආදී කරුණු හේතුවෙන් තමන්ට සහ අගවිනිසුරුවරියට විශ්වාසයක්‌ නැතැයි පවසමින් නීතිඥ කණ්‌ඩායම සහ අගවිනිසුරුවරිය පිටව ගොස්‌ තිබේ.

නැවත මෙම කාරක සභාව වෙත අගවිනිසුරුවරිය හෝ නීතිඥවරු සහභාගි නොවන බවද ඔවුන් කාරක සභාව වෙත දැනුම් දී ඇත. එසේ පවසා පස්‌වරු 5.55 ට පමණ ඔවුන් සියලු දෙනා අංක එක කමිටු ශාලාවෙන් පිටව ගොස්‌ ඇතැයි වාර්තාවේ.

අගවිනිසුරුවරියට අයත් බැංකු ගිණුම් සම්බන්ධ වාර්තා සහ වත්කම් ප්‍රකාශවලට අදාළ ලියකියවිලිවල පිටපත් කාරක සභාව විසින් ගෙන්වා කමිටු සාමාජිකයන් අතර පෙර දිනයේ බෙදා දී තිබූ අතර ඒවායේ පිටපත් අගවිනිසුරුවරියටද ඊයේ (6 වැනිදා) භාරදී ඇත.

No comments: