Monday, April 16, 2012

මේක දැන් නීතියක්‌ නැති රටක්‌!

Divaina, 15/04/2012 ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත. එයට හේතුවී ඇත්තේ ඔවුන්ගේ වැටුප් විෂමතාවන්ට අමතරව සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධතිය අද මුහුණදී ඇති අනතුරයි. මේ අනතුර පිළිබඳවත් අපේ රටේ වර්තමාන දේශපාලන ප්‍රවාහයේ ගමන් මඟ පිළිබඳවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කරන විග්‍රහයකි මේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නැවත වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යැමට තීරණය කර තිබෙනවා. මේ වැටුප් ප්‍රශ්නයේ දැන් තත්ත්වය කුමක්‌ද? ආණ්‌ඩුව පොරොන්දු ඉටු කළේ නැද්ද?

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ වැටුප් ප්‍රශ්නය විසඳල නෑ. විසඳන්න යන බවක්‌ පෙනෙන්නත් නෑ. මේ ප්‍රශ්නය විසඳන බව ආණ්‌ඩුව ගිය අවුරුද්දෙ පොරොන්දු වුණා. ඒ අවස්‌ථාවේ අපි දුන්නු පියවර හතරේ යෝජනාවෙන් 1 වැනි පියවර ක්‍රියාත්මක වුණා. හැබැයි අපි ඉල්ලුවට වඩා බොහොම පහළ මට්‌ටමෙන්. ඊට පස්‌සේ මුකුත් කළේ නෑ. විෂමතා ඉවත් කරනව කියල කළේ සම්පූර්ණයෙන්ම රැවටීමක්‌. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ගෙ වැටුප් හුඟක්‌ වැඩිකරල පහළට එනවිට හොඳටම අඩුකරල. ඒක අපි පිළිගන්න ක්‍රමය නෙමෙයි.

විභාග ගාස්‌තු සහ බාහිර කථිකාචාර්යවරුන්ගෙ දීමනා පිළිබඳ අපි ඉදිරිපත් කළ යෝජනාවලිය ක්‍රියාත්මක කරන බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා පොරොන්දු වුණ නමුත් ඒක ක්‍රියාත්මක කරන්නෙ නැතිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හදපු එකක්‌ ක්‍රියාත්මක කළා. ඒකට අපි විරුද්ධයි. අපි විතරක්‌ නෙමෙයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත් විරුද්ධයි. ඒක අවලංගු කරල අපේ යෝජනාව ක්‍රියාත්මක කරන්න කියල මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා නියෝග කළත් තාම කෙරුණෙ නෑ.

ඒ කියන්නෙ මේ ආණ්‌ඩුව කරන ප්‍රකාශ ගැන ඔබේ සංගමයට විශ්වාසයක්‌ නැද්ද?

නෑ. අපට විශ්වාස නෑ. අපි කවදාවත් විශ්වාස කළෙත් නෑ. නමුත් මේ රටේ අනිත් අය විශ්වාස කරනවනෙ ආණ්‌ඩුව කියන එක. අපේ ප්‍රශ්න විසඳනව කියල ආණ්‌ඩුව රටට කියනව. ඒ විතරක්‌ නෙමෙයි අපි හදන්නෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න කියලත් ආණ්‌ඩුව රටට කියනව. අපි අපට සිදුවී තිබෙන ආසාධාරණය නැති කරගන්න වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට ගිය ගමන් ආණ්‌ඩුව ඕක තමයි රටට කියන්නෙ. ආණ්‌ඩුව මේ අපට කරන්නෙ බොරුවක්‌ කියල අපි දන්නව. ඒක අපි දැනගත්තට මදි රටත් තේරුම් ගන්න ඕන. ජනතාවත් දැනගන්න ඕන.

ගිය අවුරුද්දෙ අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථකව ඉදිරියට යනකොට ආණ්‌ඩුවට ඕන වුණේ කොහොම හරි ඒක නවත්වගන්න. මුලින් අපට තර්ජනය කරල බැලුව. එහෙම කරල බැරිවුණු හින්ද හිනාවෙලා කතා කරල දැනට මේ ටික ගන්ඩ ඉතුරු ටික අයවැයෙන් හදල දෙන්නම් කියල ඔන්න අපේ ප්‍රශ්නෙ විසඳුව කියල රටට පෙන්නුව. හැබැයි ඊට පස්‌සෙ මුකුත් වුණේ නෑ. දැන් ඉතිං කාටවත් මුකුත් කියන්නත් බෑ. අපි සාකච්ඡා ඉල්ලන්නෙත් නෑ. ඒවට යන්නෙත් නෑ.

මේ සම්බන්ධයෙන් ඔබේ සංගමයේ ඉදිරි පියවර කුමක්‌ද?

අපි ජනාධිපතිතුමාට ලිපියක්‌ ලියනව. නමුත් අපේ වැටුප් ප්‍රශ්නයටත් වඩා අද සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධතියම මුහුණ දෙමින් සිටින භයානක අනතුරක්‌ තිබෙනවා. ඒ තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් ආණ්‌ඩුව අනුගමනය කරන්නට යන ක්‍රියාමාර්ගය. අපේ වැටුප් ප්‍රශ්නයත් ප්‍රශ්නයක්‌ තමයි. නමුත් වැටුප් ප්‍රශ්නය ගැන කතා කරන්න හරි විශ්වවිද්‍යාල ටික ඉතුරුවෙලා තියෙන්න එපායෑ.

මේ ආණ්‌ඩුවේ දැන් ප්‍රතිපත්තිය වෙලා තියෙන්නෙ රාජ්‍ය විශ්වවිද්‍යාල ටික ක්‍රමානුකූලව බිඳවට්‌ටල පෞද්ගලික විශ්වවිද්‍යාල රටේ ව්‍යාප්ත කරල ඊට වැඩි අවධානයක්‌ යොමු කිරීමයි. පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩිදියුණු කරල රාජ්‍ය විශ්වවිද්‍යාල ටික වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථාන මට්‌ටමින් පවත්වා ගෙන යැමේ වැඩපිළිවෙළක්‌ තමයි ආණ්‌ඩුව දැන් ක්‍රියාත්මක කරන්න හදන්නෙ. උදාහරණයක්‌ හැටියට සිමා ආයතනයත් සමග ඇමැතිතුමා අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කරල විශ්වවිද්‍යාල ශාස්‌ත්‍ර පීඨවල ශිෂ්‍යයන්ට එහි පුහුණුව ලබා දෙන්න යනව. මේවායින් වෙන්නෙ රටට අවශ්‍ය ශාස්‌ත්‍රීය අධ්‍යාපනයෙන් ශිෂ්‍යයො ඈත් විමයි.

මේ ආණ්‌ඩුව අද මේ නොකිය කරන්න හදන්නෙ එදා ඡේ. ආර්. කියල කරන්ඩ හදපු දේ. ඡේ. ආර්. එදා ඇහුවෙ සාහිත්‍ය කන්ඩද? ඉතිහාසෙ කන්ඩද? දේශපාලන විද්‍යාව කන්ඩද කියලනෙ. ඡේ.ආර්. ට ඒ කාලෙ හැමෝම බැන්න. ඡේ. ආර්. වගේ මේ ආණ්‌ඩුව බැනුම් අහන්නෙ නෑ. මොකද එහෙම කියන්ඩ යන්නෙ නෑනෙ.

එදා සාහිත්‍යය කන්ඩද කියල ඡේ.ආර්. එහෙම ඇහුවට සාහිත්‍යය ගැන ඡේ. ආර්. ට හොඳ අවබෝධයක්‌ තිබුණා. ගුණදාස අමරසේකරත් එදා ඒක කිව්ව. ඡේ. ආර්. කියන්නෙ සාහිත්‍යය ඇසුරු කරපු කෙනෙක්‌. එයා දන්නව සාහිත්‍යය කියන එක භයානක දෙයක්‌. ඒකයි ඕක කන්ඩද කියල ඡේ. ආර්. ඇහුවෙ කියල එදා අමරසේකරයන් කිව්ව. දැන් ඉන්න අයට එහෙම අවබෝධයකුත් නෑ. එහෙම ඕනකමකුත් නෑ. මේ ආණ්‌ඩුව දැන් හිතන්නෙ කොළඹ නගරෙ මේ බොහොම වටිනා ඉඩම්වල බිල්ඩින් හදලා ඕක ඇතුළෙ දර්ශනයයි, ඉතිහාසයයි, සිංහලයි උගන්වනවා. මේ මොන අපරාධයක්‌ද? මේ ගොඩනැඟිලිවල සංචාරක හෝටල් දැම්මනං බැංකු සංකීර්ණ දැම්මනං කොච්චර සල්ලි හොයන්න පුළුවනිද? විශ්වවිද්‍යාලෙ ග්‍රවුන්ඩ් එකේ තරු පහේ හෝටලයක්‌ ගැහුව නං සල්ලිනෙ. මේක තමයි අද මේ අයගෙ මානසිකත්වය. මේ රටේ විශ්වවිද්‍යාල නඩත්තු කරන්න වෙන්කරන සොච්චම් මුදලටත් කරන දේවල් දිහා බලන කොට මේ අය මේ කරන්න හදන්නෙ මොකක්‌ද කියල පැහැදිලියි.

නවීන ලෝකයට ගැලපෙන ලෙස විශ්වවිද්‍යාල ශිෂ්‍යයො හැඩගැසිය යුතු බව නේද උසස්‌ අධ්‍යාපන ඇමැතිතුමාගෙ අදහස. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නායකත්ව පුහුණුව පවා ලබාදුන්නෙ ඒ අරමුණින් නේද?

ඒ පුහුණුවට වියදම් කළා යෑයි කියන මිලියන දෙසීයෙන් ශත පහක වැඩක්‌ වෙලා තියෙනවද? ඒ පුහුණුව ලබපු අය දැන් විශ්වවිද්‍යාලවල ඉන්නවනෙ. අපට පේනවනෙ ඒ අය වැඩ කරන හැටි. මේ පුහුණුවෙ එක අරමුණක්‌ තමයි නවකවදය වළක්‌වන එක. විශ්වවිද්‍යාලවල සාමාන්‍යයෙන් දෙවැනි වසරේÊඅය තමයි පළමු වසරෙ අයට නවක වදේ දෙන්නෙ. මේ නායකත්ව පුහුණුවෙන් පස්‌සේ පළමු වසරේÊඅයත් පළමු වසරේ අයට නවක වදේ දෙනවා. ගම්වලින් ආපු අය නගරවලින් ආපු අයට නවක වදේ දෙනව. සිංහල මීඩියම් කරන අය ඉංග්‍රීසි මීඩියම් කරන අයට නවක වදේ දෙනව. ඔය නායකත්ව පුහුණුවෙන් තවම නං වෙලා තියෙන එකම දේ රුපියල් මිලියන දෙසීයක්‌ කාගෙ හරි මකර කටකට ගිය එක විතරයි.

ආචාර්යවරුන්ගෙ සංගමය මේ මස 26 වැනිදා පැවැත්වීමට යෝජිත සංකේත වැඩ වර්ජනයේ අරමුණ මොකක්‌ද?

එදින අපි සංකේත වැඩ වර්ජනයක්‌ සහ කොළඹ නගරයේ පෙළපාලියක්‌ පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. එහි අරමුණු අද අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මුහුණදී තිබෙන අනතුර ගැන ජනතාව දැනුවත් කරන්නයි.

අපේ රටේ 1977 ට පස්‌සේ සංවර්ධනය කියන ලේබල අලවගෙන ශාස්‌ත්‍රීය අධ්‍යාපනය වැනි දේවල් පැත්තකට කරල කොහොම හරි සල්ලි ටිකක්‌ හම්බකරගෙන කාල බීල ජොලි කරගෙන ඉන්න ක්‍රමයක්‌ එදා ඡේ.ආර්. හඳුන්වල දුන්න. එදා එදිරිවීර සරච්චන්ද්‍රයන් ධර්මිෂ්ඨ සමාජය කියල විවේචනය කළේ ඕක. අද මේ ආණ්‌ඩුව දේශප්‍රේමියො කියාගත්තු පිරිසකුත් වටකරගෙන ඒ කාගෙත් ආශිර්වාදය මැද කරගෙන යන්නෙත් ඕක. ශිෂ්‍යයන්ට ඉංග්‍රීසි කට ගෑවෙන්නට මාස තුනක්‌ ඉංග්‍රීසි ඉගෙන ගෙන පුළුවන්ද. විශ්වවිද්‍යාල පාඨමාලා ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න. දර්ශනය ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න නං හොඳට ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕන. මාස තුනක්‌ ඉංග්‍රීසි ඉගෙන ගෙන දර්ශනය ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න පුළුවන්ද? මේ හදන්නෙ ඉංග්‍රීසි ටිකක්‌ කට ගාවෝල තොරතුරු තාක්‌ෂණයත් උඩින් පල්ලෙන් අතගාවෝල පිටරට රස්‌සාවලට තල්ලු කරන්නයි. විශ්වවිද්‍යාලයකින් පිටවෙන ළමයෙක්‌ කියන්නෙ එහෙම කෙනෙක්‌ද?

මේකෙන් වෙන්නෙ අපේ ශිෂ්ටාචාරය නැතිවෙලා යනව. සල්ලි ටිකක්‌ හොයාගෙන කාලබීල ටෙලිෙµdaන් එකක්‌ අරගෙන ඉන්න පුළුවන් අධ්‍යාපනයක්‌ තමයි ආණ්‌ඩුව දැන් මේ දෙන්න හදන්නෙ. විශ්වවිද්‍යාල ටිකට කරන්න හදන අපරාධයට එරෙහිවයි අපි 26 වැනිදා පෙළපාලියක්‌ පවත්වන්නෙ.

මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ බිඳවැටීම තුළිනුත් පෙනෙන්නෙ අද අපේ රටේ සමස්‌ත දේශපාලන ප්‍රවාහයේ ගමන් මඟද?

අද මේ බිඳවැටීම හැම ක්‌ෂේත්‍රයකම මතුවෙලා පෙනෙන දෙයක්‌. හැංගි හැංගි වෙස්‌ බැන්දත් නටන්නෙ එළිපිට කිව්ව වගේ අද මහ දවල් මිනිස්‌සු අතුරුදන් වෙනව. දැන් අලුත්ම සිදුවීම හැටියට පෙනෙන කුමාර් ගුණත්නම් සිද්ධිය ඕනම කෙනකුට පේනව. රාජ්‍ය යන්ත්‍රයේ සම්බන්ධයක්‌ නැතිව මෙවැනි දෙයක්‌ වෙන්න බෑ කියල. මේ තරම් ආන්දෝලනයක්‌ ඇති වෙච්ච චූදිතයෙක්‌ හැටියට ප්‍රකාශ වෙච්ච කුමාර ගුණරත්නම් කියන පුද්ගලයා දෙමටගොඩ පොලිසියට ඇවිත් කිව්වලු මට ඔස්‌ටේ්‍රලියාවට යන්න ඕන කියල. ආණ්‌ඩුව ඔහු ඔස්‌ටේ්‍රලියාවට යෑව්වලු. ආණ්‌ඩුව මෙහෙම කියන්නෙ මේ රටේ ඉන්න මිනිස්‌සු මොක්‌කු කියල හිතාගෙනද? මේ වගේම කතාවක්‌ තමයි මර්වින් සිල්වා ඇමැතිවරයා කිව්වෙත්. ඒ මනුස්‌සය තමන්ම තමුන් ගහේ බැඳගත්ත කියලනෙ ඒ ඇමැතිවරය කිව්වෙ. ඒ ඇමැතිවරය කියන කතා කවුරුවත් වැඩිය ගණන් ගන්නෙ නැති නිසා ඒක එච්චර ප්‍රශ්නයක්‌ වුණේ නෑ. නමුත් ආණ්‌ඩුවක්‌ එහෙම කතා කියන්නෙ අපි මොක්‌කු කියල හිතාගෙනද?

නීතිය පිළිබඳ මේ රටේ ඉන්න මහාචාර්යවරයා මේ ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැතිවරයෙක්‌. මේ ප්‍රකාශ ගැන මේ උගත් මහාචාර්යවරු මොනවද කියන්නෙ. මේ අය හැම වෙලාවෙම කතා කරන්නෙ රූල් ඔµa ලෝ ගැනනෙ. මම අහන්නෙ ඒක දැන් අපේ රටේ කොහෙද තියෙන්නෙ. මේවට ලොකු විශ්ලේෂණ අවශ්‍ය නෑ. මේවා සාමාන්‍ය ව්‍යවහාර ඥනය පිළිබඳ ප්‍රශ්න. රූපවාහිනිය ඉස්‌සරහට ඇවිත් මේ ආණ්‌ඩුව විශ්වාස කරන්න කියල ඇමරිකාවෙ මානව හිමිකම්වලට බනින අය ඉන්නවනෙ. එහෙම කරන අපේ විශ්වවිද්‍යාලවල මගෙ මිත්‍රයොත් ඉන්නව. ඒ අයට දැන් තමයි අවස්‌ථාව අපේ පුංචි මොළවලට නොතේරෙන මේ කුමාර් ගුණරත්නම් විහිළුව ගැන කියල දෙන්න. මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ජිනීවා ප්‍රශ්න ඒව මෙතෙන්ට දාන්න එපා මේ අපේ රට ඇතුළෙ ප්‍රශ්නෙ පැහැදිලි කරල දෙන්න.

සන්නද්ධ කැරැල්ලක්‌ ඇති කරන්න උත්සාහ දරන බවට චෝදනාවක්‌ තියෙන, කොටි ඩයස්‌ පෝරාවත් එක්‌ක සම්බන්ධ බවට චෝදනා තිබෙන, මේ පිටුපස ආණ්‌ඩුව පුද්ගලයන් පැහැර ගන්න බව පෙන්වීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ තිබෙන බව අණ්‌ඩුවේම ඇමැතිවරුන් කියද්දීත් දෙමටගොඩ පොලිසියට බාරවූ මේ පුද්ගලයා ඔස්‌ටේ්‍රලියාවට යෑව්වෙ ඇයි... මෙන්න මේක අපට තේරුම් කරල දෙන්න ඕන.

වර්තමාන දේශපාලන ප්‍රවාහයේ ගමන් මඟ ඉතාම හොඳින් පැහැදිලි වන සිද්ධියක්‌ මේක. මීට කලින් කොළොන්නාවේ නගර සභාවෙ සභාපතිවරයාගෙ ප්‍රශ්නයත් ආණ්‌ඩුව රටට පැහැදිලි කළානෙ. ඒ පැහැදිලි කිරීම හොඳයි බබ්බු නළවන්න. ඊළඟ එක තමයි සාගල සේනාරත්න සම්බන්ධ සිද්ධිය. ජිනීවයි, ජාත්‍යන්තර කුමන්ත්‍රණයයි ගැන හොයන්න කලින් අපේ රට ඇතුළෙ මේව වෙන්නෙ කොහොමද හොයල බලන්න ඕන. අපේ රට ජනතා පරමාධිපත්‍ය පිළිගන්නව නම් මේව වෙන්නෙ කොහොමද?

මාක්‌ස්‌වාදියො හැටියට අපි කියන්නෙ රාජ්‍ය කියන්නෙ පැහැදිලිවම පංතියක්‌ සඳහා තියෙන ආයතනයක්‌. මේ ගොල්ලො කියන්නෙ ඒක එහෙම නෙමෙයි කියලනෙ. එහෙම නං අපි කියන එක ඒ අය බොරු බව ක්‍රියාවෙන් පෙන්වන්න එපෑ. එහෙම නම් නීතියේ ආධිපත්‍ය රට තුළ තියෙන්න ඕන. රූල් ඔµa ද ලෝ කියන්නෙ ඒකටනෙ. අද අපේ රටේ තියෙන්නෙ පුද්ගලයකුගෙ දෙන්නෙකුගෙ පාලනය මිසක්‌ නීතියේ පාලනයක්‌ නෙමෙයි.

සාකච්ඡා කළේ පාලිත සේනානායක

1 comment:

Anonymous said...

The contribution and responsibility of academics in shaping up the society is well expressed in Dr. Nirmal's interview. Academics are the only group that can do this under the current regime. So I hope others also will contribute to this process.

When Academics are asking for a 6% allocation from the GDP to education, the Higher Education Ministry and UGC should be elated, and should support the demands of the Academics. However, the conduct of these two institutions over the years show how inimical they are towards higher education in Sri Lanka. This reflects very badly on the government.

The only institutions that gets govt. patronization are the ministries for which HE the president is directly or closely involved. This begs the question "should all the ministries be under the president?!"