Saturday, May 25, 2013

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කම්කරුවන් බවට පත්වීම

වම් ඉවුර

පසුගිය 21 වැනිදා ජවිපෙ මූලිකත්වයෙන් විදුලි ගාස්‌තු වැඩි කිරීමට එරෙහිව කැඳවන ලද සමස්‌ත මහා වැඩවර්ජනයේ සාර්ථක අසාර්ථකභාවය ගැන අප මෙහිදී කිසිවක්‌ කතා නොකරමු. වැඩවර්ජනය සාර්ථක වූවා යෑයි එහි සංවිධායකවරුන් කියන්නේ නම් අපිද එය පිළිගනිමු. සියලු වැඩ වර්ජනවලට අනාගතයේදී එවැනිම සාර්ථකත්වයක්‌ අත්වේවා යෑයි මෙහිදී අපි ප්‍රාර්ථනා කර සිටිමු. එකී වැඩ වර්ජනය ගැන කතා නොකළත් ඒ වැඩ වර්ජනයේ කොටසක්‌ ගැන කතා නොකරම බැරිය. මේ වැඩ වර්ජනයේ එක්‌ විශේෂත්වයක්‌ වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයද එයට සහයෝගය දැක්‌වීමයි. වැඩ වරන ඉහළ වෘත්තිකයන් හැටියට මේ වැඩ වර්ජනයේ පෙනෙන්නට සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ය. නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිට විශ්වවිද්‍යාල ගුරුවරුන් යෑයි සිතිය හැකි 26 දෙනකුගේ පිරිසකට නායකත්වය දෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ආචාර්ය මහීම මෙන්ඩිස්‌ පාර දිගේ නුගේගොඩ දෙසට යනු මමද දුටුවෙමි. මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිපදෙනා සටන් පාඨ ලියූ පුවරු ද අතැතිව මහ පාරේ ඇවිදිමින් සිටියේය.

මේ දර්ශනය දුටු මා තුළ ඇති වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගැන පුදුමාකාර කලකිරීමකි. පසුගිය වසර දෙක - තුන තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහ පාරේ උද්ඝෝෂණය කරන ප්‍රවණතාවයක්‌ අපට දක්‌නට ලැබුණි. ඔවුන් මහ පාරේ සිටගෙන කෑගැසූ සටන් පාඨ ද ඒ ආකාරයේම උද්ඝෝෂණවල නියෑලෙන විශ්වවිද්‍යාල සිසුන් නැතිනම් සාමාන්‍ය කම්කරුවන් කෑගසන සටන් පාඨවලට බෙහෙවින්ම සමාන විය. "එන්ඩ කියාපිය", දෙන්න කියාපිය වැනි වදන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කෑ ගසනු අපට ඇසුණි. මේ සිදුවන දෙය ගැන මුළු රටම අවදියෙන් සිටිය යුතුය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනු මේ රටේ ඉහළ වෘත්තිකයන් පිරිසකි. ඔවුන්ගේ වෘත්තිය කොතරම් ඉහළද කියනවා නම් ඔවුන් කරන්නේ ඉගැන්වීම වුවත් අපි ඔවුන් "ගුරුවරුන්" යෑයි හඳුන්වන්නේ නැත. ඔවුන් සාමාන්‍ය ගුරුවරුන්ට වඩා ඉහළ බව පෙන්වීමට කථිකාචාර්ය, ආචාර්ය, මහාචාර්ය වැනි තනතුරුවලින් විශ්වවිද්‍යාල ගුරුවරුන් හඳුන්වනු ලැබේ. මේ නම්බුවට සරිලන ආකාරයට සාමාන්‍ය ගුරුවරුන්ට වඩා කීප ගුණයකින් වැඩි වැටුපක්‌ද වාහන බලපත්‍ර ද ඔවුන්ට ලැබේ. ඒ අනුව ඔවුන් සමාන වන්නේ වාහන බලපත්‍ර ලබන දොස්‌තරවරුන්, ඉහළම රජයේ නිලධාරීන් වැනි අයටය. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්‌ යනු යම්කිසි සුපිරි පැලැන්තියකි. නමුත් අප පසුගිය වකවානුව පුරාම දුටුවේ මේ සුපිරි පැලැන්තියේ උදවිය සාමාන්‍ය කම්කරුවන් මෙන් මහ පාරේ හැසිරෙන ප්‍රවණතාවයකි.

වඩාත්ම ජුගුප්සාජනක කාරණය වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ ආකාරයට කම්කරුවන් මෙන් හැසිරීමට පටන් ගත්තේ දැනට තිබෙන සුපිරි තත්ත්වයෙන් ඔබ්බට ගොස්‌ තව තවත් සුපිරිවීමට ගත් උත්සාහයක්‌ තුළ වීමයි. පසුගිය වකවානුවේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරුන්ගේ සංගමයේ වත්මන් නායකත්වය යටතේම වැඩි වැටුප් ඉල්ලා මාස ගණනක වැඩ වර්ජනයක්‌ සිදුවූ බව කාටත් මතක ඇතුවාට සැකයක්‌ නැත. මෙහිදී ඔවුන් ඉල්ලා සිටියේ වැඩි වැටුප් පමණක්‌ නොවේ. ඔවුන්ගේ ඉල්ලීම් ලැයිස්‌තුවේ 3.5.2.3 වගන්තියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ළමුන් දෙදෙනකුට පුද්ගලික පාසලකට ගාස්‌තු ගෙවීමට වෙනම දීමනාවක්‌ ද ඉල්ලා සිටියේය. එයට අමතරව මුළු වැටුපෙන් 30% දක්‌වා නිවාස කුලී දීමනාවක්‌ හා අන්තර්ජාල දීමනාවක්‌ ද ඔවුන් ඉල්ලා සිටියේය. මේ ආකාරයට එක්‌ පැත්තකින් ඔවුන් වැඩි වරප්‍රසාද සහිත තව තවත් සුපිරි පැලැන්තියට යැමට උත්සාහ කරන අතර අනෙක්‌ පැත්තෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහ පාරේ උද්ඝෝෂණවලට යොදවා ඔවුන්ගේ තත්ත්වය කම්කරුවන්ගේ ගණනට දමන වැඩපිළිවෙළක්‌ ද සමගාමීව ක්‍රියාත්මක වෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සාක්‌ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන ආර්ථික තත්ත්වයත්, ඔවුන්ගේ වත්මන් හැසිරීමත් අතර කිසිදු ගැලපීමක්‌ නැත.

කොටින්ම කියතොත් පසුගිය 21 වැනිදා පවත්වන ලද වැඩ වර්ජනයේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ලාභී වෘත්තිකයන් පිරිසක්‌ මහ මග උද්ඝෝෂණය කළේ ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පමණි. අද විශ්වවිද්‍යාලයක ආචාර්යවරුන් හා සුළු සේවකයන් අතර වෙනසක්‌ නැත. අප තරුණ කාලයේ මහ පාරේ පුවරු ඔසවාගෙන සටන් පාඨ කෑගසන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දුටුවේ නම් අප විශ්වවිද්‍යාලයට එන්නේ ද නැත. අප විශ්වවිද්‍යාලයේ සිටි සමයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට දැන් ලබන ආකාරයේ ඉහළ වැටුප් තිබුණේ නැත. තීරුබදු රහිතව වාහන ගෙන්වා ගැනීමට බලපත්‍ර හෝ ණය පහසුකම් තිබුණේ නැත. ඒ කාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් පවා බස්‌ වල යනු අපි අනන්තවත් දැක ඇත. නමුත් එදා ඔවුන් කම්කරුවන් මෙන් මහමග සටන් පාඨ කීවේ නැත. ඒ කාලයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු තම වෘත්තියේ ගරුත්වය රැකගෙන සිටියහ. ඒ කාලයේ විශ්වවිද්‍යාලයක්‌ යනු ඉහළ අධ්‍යාපන ආයතනයක්‌ යෑයි අපටද හැඟීමක්‌ තිබුණි. ඒ කාලයේ විශේෂයෙන් කලා අංශයේa මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැටියට සිටියේ තමන්ගේ ක්‌ෂේත්‍රයේ පතාක යෝධයින්ය. මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධන, මයිකල් රොබට්‌ස්‌, ගණනාථ ඔබේසේකර, එස්‌. බී. ඩී. ද සිල්වා, කුමාරි ජයවර්ධන, කේ. එන්. ඩී. සිල්වා, සී. ආර්. ද සිල්වා, ඩබ්ලිව්. අයි. සිරිවීර, සේනක බණ්‌ඩාරනායක වැනි අය මේ අතර වූහ. මොවුන්ට අමතරව තවත් පතාක යෝධයන් බොහෝ දෙනෙක්‌ සිටියහ. නමුත් මේ ලියන අවස්‌ථාවේ ඔවුන් සියලු දෙනාගේම නම් මගේ මතකයට එන්නේ නැත. ඒ කාලයේ කලා අංශයෙන් සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තම ක්‌ෂේත්‍රයේ ජාත්‍යන්තර විද්වතුන් සමග කරට කර සිටීමට හැකියාව තිබුණි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්‌ බටහිර හොඳම විශ්වවිද්‍යාලවල ඉගැන්වීමට ද ගියෝය.

නමුත් අපේ කාලයෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ තත්ත්වය ඉතාමත් භයානක ආකාරයට පහත වැටී ඇති බව නොකිවමනාය. අද කාලයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අතින් වටිනා කියන ශාස්‌ත්‍රීය කෘතියක්‌ එළිදැක්‌වෙන්නේ කලාතුරකිනි. තවමත් තියෙන්නේ කලින් පරම්පරාවක්‌ විසින් ලියන ලද කෘතීන් පමණි. ඒ ශාස්‌ත්‍රීය පිරිහීමේ තරම වර්තමානයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හැසිරීමෙන් මනාව පිළිබිඹු වෙයි. විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාවගේ අභ්‍යන්තර තත්ත්වය කුමක්‌දැයි මහාචාර්ය සරත් විඡේසූරියගේ "මගේ නඩුව ඉවරයි" නමැති කෘතියෙන් දැකගත හැක. ඔහු පෙන්වා දෙන ආකාරයට එක්‌තරා විශ්වවිද්‍යාලයක සිංහල අංශයේ ආධිපත්‍ය හිමිවන්නේ කාටද යන්න තීන්දු වූයේ ඉංග්‍රීසි දන්නා හා නොදන්නා කාරණය මතය. මා කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍රපති උපාධිය කරන විට එම පාඨමාලාවේ ප්‍රධානියා වූයේ සිංහල මහාචාර්යවරියක්‌ වන කුසුමා කරුණාරත්නය. නමුත් මෙතුමියට කතා කිරීමෙන් පමණක්‌ පිටස්‌තරයකුට එතුමිය උගන්වන්නේ ඉංග්‍රීසි ද සිංහලද යන්න සොයාගත නොහැක. ඇය ඉංග්‍රීසි කතා කරන්නේ ඉංග්‍රීසි මහාචාර්යවරයකු මෙනි. ඉංග්‍රීසි නොදන්නා නිසා මහාචාර්ය කුසුමා කරුණාරත්න සිංහල ඉගැන්වීමට ගියා නොවේ. ඇයට කිසිදු කතාවක්‌ නැතිව විෂය වෙනස්‌ කොට ඉංග්‍රීසි මහාචාර්යවරියක්‌ වීමට ඉඩ තිබුණි. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්‌ එබඳු විය යුතුය. නමුත් කුසුමා කරුණාරත්නලාගේ යුගයෙන් පසු තත්ත්වය බියකරු ලෙස වෙනස්‌ වී ඇති බව සරත් විඡේසූරියගේ කෘතියෙන් පෙනේ. 

සරත් විඡේසූරිය කතා කළේ සිංහල අංශය ගැන පමණි. නමුත් ඒ පිරිහීම විශ්වවිද්‍යාලයේ සියලු අංශවලට බලපා තිබෙන බව අද වන විට සියලු දෙනාටම ප්‍රත්‍යක්‍ෂ වන කාරණයකි. වර්තමානයේ මහමග පෙළපාලි යමින් සටන් පාඨ කියන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අනාගතයේ බිහි කරන්නේ ඔවුන්ටත් වඩා අන්ත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පරම්පරාවක්‌ බව අමුතුවෙන් කිවයුතු නැත. අද වන විට මේ රටේ හැකියාවක්‌ තිබෙන සෑම දෙමව්පියෙක්‌ම පුද්ගලික විශ්වවිද්‍යාල දෙස බැලීම වැළැක්‌විය නොහැක. මට එක්‌ වෛද්‍ය සිසුවෙක්‌ කියා සිටි පරිදි ඔහු දැනුවත්ව ආණ්‌ඩුවේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයට ඇතුල් වීමට වරම් ලබා ඇති සිසුන් හය දෙනකු මාලාඹේ පුද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයට අයදුම්පත් යවා ඇත. එයට හේතුව අපේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ කලා පීඨ තරම්ම තවමත් පිරිහී නැති වුවත් වැඩ වර්ජන වැනි දේවල්වලින් සිසුන්ගේ තරුණ විය කා දමනවාට වඩා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට තම දරුවන් ඇතුල් කිරීමට දෙමව්පියන් ප්‍රියකළ නිසාය.

අප මේ දකින්නේ ජාතික ෙ€දවාචකයකි. මේ රටේ විශ්වවිද්‍යාල සියලු අඩුපාඩුකම් මධ්‍යයේ මෑතක්‌ වනතුරු යම්කිසි තත්ත්වයක්‌ රැකගෙන ආවේය. නමුත් එය අද වන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැටියට පත්වන අයගේ තත්ත්වය බාල වීමත් දේශපාලන වුවමනාවන් මත කටයුතු කරන උද්ඝෝෂණකරුවන් අතලොස්‌සකගේ වුවමනාවන් නිසාත් මේ ආයතන එන්න එන්නම පිරිහී ප්‍රබුද්ධ ජනතාවගේ විශ්වාසය නැති තත්ත්වයට වැටෙනු ඇත. තමන්ගේ වෘත්තීයමය තත්ත්වය ගැන හැඟීමක්‌ ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැන්වත් ඉදිරියට අවුත් මේ සිදු වී ඇති පිරිහීමට පිළියම් යෙදුවේ නැත්නම් මේ රටේ අනාගතය සහමුලින්ම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට හිමිවීම වැළැක්‌විය නොහැක.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

No comments: