Saturday, May 11, 2013

විදෙස්‌ සිසුන් සරසවිවලට ගන්නේ නිදහස්‌ අධ්‍යාපනය ස්‌ථාවර කිරීමටයි


- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම

අපේ රටේ විශ්වවිද්‍යාලවලට විදේශ සිසුන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ විදේශගත ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරුවන් පිරිසක්‌ ද පසුගියදා බඳවා ගැනිණි. ඇමරිකානු ඩොලර් 12000 ක්‌ අයකර වෛද්‍ය උපාධිය ලබාදීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුයුක්‌ත කළ එම සිසුන් පිරිසක්‌ එම විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨය ප්‍රතික්‍ෂේප කළේය. එම සිසුන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා නැති බව ඔවුන්ගේ මතයයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මෙම සිසුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්‍ෂා කර නැද්ද? මුදල් ගෙවා වෛද්‍ය උපාධිය ලබාගැනීමට මෙලෙස විදේශ සිසුන් බඳවා ගැනීම නිසා මෙරට උසස්‌ පෙළ සිසුන්ට අසධාරණයක්‌ නොවන්නේද? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි මහාචාර්ය ක්‌ෂණිකා හිරිඹුරේගම මහත්මිය සමග "දිවයින ඉරිදා සංග්‍රහය" පැවැත්වූ සාකච්ඡාවකි මේ.

අපේ රටේ දුෂ්කර පළාත්වල උසස්‌ පෙළ විභාගයෙන් සාමාන්‍ය සාමාර්ථ 3 ක්‌ ලබාගෙන වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණු ළමයි ඉන්නව. අපේ උසස්‌ පෙළ විභාගය හා සමානව සලකා බැලුවම මේ ඇතුළත් කරගෙන තියෙන වැඩිදෙනා A+ සාමාර්ථ තියෙන අය. මේ බඳවාගත් සියලු දෙනා විදේශිකයන් සහ විදේශයන්හි පදිංචි එම රටවල්වල රැකියා කරන ශ්‍රී ලාංකික දෙමාපියන්ගෙ දරුවො. විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට අවශ්‍ය සුදුසුකම් මෙන්ම ඔවුන්ගේ පදිංචිය හා රැකියා ස්‌ථාන පිළිබඳවත් මේ කමිටුව පරීක්‍ෂා කළා. මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට අවශ්‍ය අවම සුදුසුකම් සපුරා නැති කිසිදු ශිෂ්‍යයෙක්‌ මේ කණ්‌ඩායම තුළ නැහැ.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ
මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර
විදේශ සිසුන්ගේ අධ්‍යාපන
සුදුසුකම් පරීක්‍ෂා කළ කමිටුවේ සභාපතිනි.

මුදල් අයකර විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම පිළිබඳ අනුගමනය කරන ප්‍රතිපත්තිය පැහැදිළි කරන්න.

අපේ රටේ විශ්වවිද්‍යාලවලට විදේශ සිසුන් සියයට පහක්‌ බඳවා ගැනීමේ රජයේ ප්‍රතිපත්තිය පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වෙනවා. විදේශ සිසුන් අපේ රටේ විශ්වවිද්‍යාලවලට ආකර්ෂණය කර ගැනීම මෙහි අරමුණයි. මුදල් ගෙවල ඉගෙන ගන්න මේ ශිෂ්‍යයන්ට ලෝකයේ ඕනෑම විශ්වවිද්‍යාලයකට යන්න පුළුවන්. මේ විදේශ සිසුන් බඳවා ගන්නේ මේ රටේ විශ්වවිද්‍යාලවලට මේ රටේ සිසුන් බඳවා ගන්නා සංඛ්‍යාවට අමතරවයි. ඔවුන්ගෙන් අයකරන සියලුම මුදල් ඔවුන් අධ්‍යාපනය හදාරන විශ්වවිද්‍යාලවලටයි ලැබෙන්නෙ. එම විශ්වවිද්‍යාලවල බලධාරින්ට අවශ්‍ය ආකාරයට විශ්වවිද්‍යාලයේ පහසුකම් වැඩිකිරීමට හෝ ශිෂ්‍යත්ව ලබාදීම ආදියට එම මුදල් යොදවන්න පුළුවන්. ආචාර්ය මහාචාර්යවරුන්ට අවශ්‍ය පහසුකම්, ශිෂ්‍ය භෝජනාගාර, නේවාසිකාගාර ආදි මේ ඕනෑම කාර්යයකට එම මුදල් යොදවන්න පුළුවන්.

මෙලෙස බඳවා ගන්නා විදේශ සිසුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විමසා බැලෙන්නෙ කොහොමද?

මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් කමිටුවක්‌ පත්කළා. එහි සභාපතිනි මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර. ඇයත් සමඟ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු දෙතුන් දෙනකුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් දෙතුන් දෙනෙකුත් ඒ කමිටුවට ඇතුළත් වුණා. සෑම විදේශ ශිෂ්‍යයකුගේම අධ්‍යාපන සුදුසුකම් ඒ කොමිසම පරීක්‍ෂා කළා. මේ අය බඳවා ගන්නේ ඒ අනුවයි.

ඇත්තවශයෙන් මේ වැඩපිළිවෙළේ අරමුණ යම් ආකාරයකට හෝ උසස්‌ පෙළ විභාගය සඳහා අද තිබෙන මේ තරගය අඩුකිරීමටයි. මේ වැඩපිළිවෙළ යටතේම ඉදිරි කාලයේදී ඩොලර් දොළොස්‌ දහසක මේ මුදල කිසියම් ණය සහන පදනමක්‌ මත ගෙවා විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට ඇතුළත්වීමට කැමැති ශිෂ්‍ය ශිෂයාවන් සඳහාත් අවස්‌ථාවක්‌ ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි කාලයේ අපේ රටට වෛද්‍යවරු මෙන්ම ඉංජිනේරුවරුන් විශාල ලෙස අවශ්‍යයි. ඉංජිනේරු පීඨ සඳහාත් මෙබඳු වැඩපිළිවෙළක්‌ යෙදීමේ හැකියාව පිළිබඳවත් අපි සොයා බලනවා.

මේ බඳවාගත් සිසුන් අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබුණා නම් පේරාදෙණිය වෛද්‍ය පීඨය ඇයි ඔවුන් ප්‍රතික්‍ෂේප කළේ?

ඒක මටත් හිතාගන්න බැරි ප්‍රශ්නයක්‌. මේ ශිෂ්‍යයන්ගෙ අධ්‍යාපන සුදුසුකම් පරීක්‍ෂා කළේ කමිටුවකින්. වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් ඒ කමිටුවේ හිටිය. විදේශ ශිෂ්‍යයන් අපේ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම රජයේ තීරණයක්‌. රජයේ තීරණ ක්‍රියාත්මක කිරීම රජයේ සේවකයන්ගේ වගකීමක්‌. යම් රජයේ සේවකයෙක්‌ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අකමැති නම් ඒ ගැන ඉදිරිපත්වෙලා විවෘතව කතා කරන්න ඕන. රජයේ ප්‍රතිපත්තියට අනුව විදේශ ශිෂ්‍යයන් බඳවා ගැනීමට එකඟත්වය පළකරල ඔවුන් විශ්වවිද්‍යාලයට යෑව්වම ප්‍රතික්‍ෂේප කිරීම වැරදියි. ඇතැමුන් දරන යම් යම් දේශපාලන මත අනුව මෙබඳු දේ සිදුවෙනවා දැයි මා දන්නේ නෑ.

අද අපේ රටේ වෛද්‍ය පීඨවලට ඇතුළත් වීමට ඉහළ සුදුසුකම් ලබන විශේෂයෙන් කොළඹ ගම්පහ වැනි දිස්‌ත්‍රික්‌කවල සිසු සිසුවියන් බොහෝ දෙනකුට ඊට අවස්‌ථාව ලැබෙන්නේ නෑ. පසුගිය විභාගයෙන් ඒ සාමාර්ථ තුනක්‌ ලැබූ කොළඹ සිසුන් 4 දෙනකුට ඒ අවස්‌ථාව අහිමි වුණා. කොළඹ, ගම්පහ, මහනුවර වැනි දිස්‌ත්‍රික්‌කවලට මේ අසාධාරණය සිදුවෙනවා. දුෂ්කර පළාත්වලට ලකුණු ලබාදීම යටතේ අද ටියුෂන් ක්‍රමය මතත් අසාධාරණයක්‌ සිදුවෙනවා. විෂයයන් තුනටම ඒ සාමාර්ථ ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වගේම ඒ හා බී සාමාර්ථ ලැබූ සිසු සිසුවියන් බොහෝ පිරිසක්‌ අද පීඩාවට පත්ව සිටිනවා. මේ අයගෙන් ඇතමුන්ට ශිෂ්‍යත්ව ලබාදී විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට අවස්‌ථාව ලබාදී තිබෙනවා.

උසස්‌ පෙළ විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් එහෙත් විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට නොහැකි පිරිසට මේ ක්‍රමය තුළින් යම් සහනයක්‌ ලබාදීමට හැකිද යන්න අපි සොයා බලනව. ශිෂ්‍යත්ව සහ සහන පදනමක්‌ මත ණය ලබාදීම වැනි වැඩපිළිවෙළක්‌ මේ ක්‍රමය තුළින් ක්‍රියාත්මක කිරීමට හැකි වුණොත් උසස්‌පෙළ විභාගය නිසා පීඩාවට පත් ව සිටින විශාල පිරිසකට යම් සහනයක්‌ ලබාදෙන්න පුළුවන්.

අපේ විශ්වවිද්‍යාල මේ ළමයි ප්‍රතික්‍ෂේප කළා කියල මේ ළමයින්ට යන එන මං නැතිවෙන්නෙ නෑ. ඒ අය වෙනත් රටක විශ්වවිද්‍යාලයකට යයි. නමුත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න සුදුසුකම් තියෙන ඒ ළමයින් දෙන මුදලින් අපේ විශ්වවිද්‍යාල දියුණු වෙනව නම් අපේ ළමයි වැඩිපුර බඳවා ගන්න අවශ්‍ය පහසුකම් අපේ විශ්වවිද්‍යාල තුළ ඇතිවෙනව නම් අපේ ළමයින්ට ශිෂ්‍යත්ව ලැබෙනව නම් රැකියා අවස්‌ථා වැඩිවනව නම් ඒ මුදල් ලබාගෙන ඒ ළමයින්ටත් අධ්‍යාපනය ලබාදීම වරදක්‌ද? මේ ආකාරයට පුළුල් ලෙස මේ දිහා නොබලා දේශපාලන හෝ වෙනත් පටු අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම අපේ අනාගත සිසු පරපුරට කරන වැරැද්දක්‌ ලෙසයි මා දකින්නේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ප්‍රතික්‍ෂේප කළ මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අනුගමනය කරන වැඩපිළිවෙළ කුමක්‌ද?

අපි කිසිදු විශ්වවිද්‍යාලයකට ළමයි බලෙන් දෙන්නෙ නැහැ. ඒ අයට එපා නම් ඒ ළමයි වෙනත් විශ්වවිද්‍යාලයකට යාවි. අපේ රටේ මේ ආරම්භක අවස්‌ථාව වුණාට ලෝකයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල මේ වැඩපිළිවෙළ ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. අපි බලන්නෙ විදේශ ළමයින්ට විතරක්‌ නෙමෙයි. අපේ රටේ ළමයින්ටත් මේ ක්‍රමය යටතේම ණය මුදලක්‌ ලබාදීල ඔවුනුත් වෛද්‍යවරු ඉන්ජිනේරුවරු කරන්නයි. අද මේ වැඩපිළිවෙළට විරුද්ධව ඉන්න ඇතැම් උගතුන්ගේ දරුවන්ටත් අනාගතයේ දී ඒ අවස්‌ථාව උදාකරගන්න පුළුවන්.

මේ වැඩපිළිවෙළ අපේ රටේ නිදහස්‌ අධ්‍යාපනයට තර්ජනයක්‌ නෙමෙයිද?

මෙය නිදහස්‌ අධ්‍යාපනය කඩාකප්පල් කරන වැඩ පිළිවෙළක්‌ නෙමෙයි. මේ නිසා නිදහස්‌ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්නේ නෑ. මේක නිදහස්‌ අධ්‍යාපනය ස්‌ථාවර කරන වැඩපිළිවෙළක්‌.

* සාකච්ඡා කළේ
පාලිත සේනානායක

No comments: