We are a concerned group of academics fighting to ensure the opportunity of high quality public higher education for the Sri Lankan masses. This blog is intended as a bulletin board to share news and ideas relevant to the cause. The views and opinions expressed here do not necessarily represent the views and opinions of the FUTA. If you wish to post any interesting articles please e-mail them to uteachers.sl at gmail.com
Friday, October 5, 2012
ජනතාවත් ආඩම්බරවුණොත්!
Divaina, 05/10/2012, නිරෝෂන් හැඳලගේ
ප්‍රවේශය
මාස තුනකට අධික කාලයක් ගෙවී ගොස් ඇතත් සරසවි ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය සම්බන්ධ අර්බුදයට මෙතෙක් සුදුසු විසඳුමක් ලැබී නැත. ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය චෝදනා කරන්නේ ආණ්‌ඩුව තමන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවකට ඒමට තරම් නම්‍යශීලීභාවයක් නොපෙන්වන බවයි.
වර්ජනයේ නිරත ආචාර්යවරුන් සමඟ නිශ්චිත සාකච්ඡා ක්‍රියාමාර්ගයකට එළැඹීමට අපොහොසත් ආණ්‌ඩුව රාජ්‍ය මාධ්‍යවල ඇතැම් කුලීකාරයන් ලවා උදේ පටන් රෑ එළිවනතුරු ආචාර්ය සංගමයේ නායකයන්ගේ පෞද්ගලිකත්වය සමඟ ප්‍රශ්නය විසඳන්නට නිස්‌සාර උත්සාහයක් ගන්නා බව පෙනෙයි. රජයක් ලෙස තමන් වගකීම පැහැරහැර ඇතැයි ආණ්‌ඩුවට සිහිපත් වන්නට වූයේ මහා නාහිමිවරු මේ ප්‍රශ්නයට මැදිහත් වී ආණ්‌ඩුවෙන් ලිත ඉල්ලීමක් ද කළ පසුය. ප්‍රශ්නයට සෘජු සම්බන්ධයක් ඇති ආචාර්ය සංගමයට ලිතව හෝ විසඳුමක් දීමට අපොහොසත් උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහා නාහිමිවරුන්ගේ ලිපියට පිළිතුරු ද ලියාගෙන ගොස් තමන්ගේ දොaතින්ම භාරදීමට තරම් සැදැහැවතකු වුණි.
මුසාවාදා, ගජබින්නවලින් බඩ පුරෝගෙන සිටින උසස් අධ්‍යාපන ඇමැතිවරයා පෙරේදා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා කියා සිටියේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ හා මහා භාණ්‌ඩාගාර ලේකම් පී. බී. ජයසුන්දර සමඟ සාකච්ඡා කිරීමට ආචාර්යවරුන්ට අවස්‌ථාවක් ලබාදෙන බවයි. මහා නාහිමිවරුන් බැහැදැක පැමිණියද තමන්ගේ ජන්ම ගතිය අතහැරගත නොහැකි වූ උසස් අධ්‍යාපන ඇමැතිවරයා ඊයේ (04දා) පත්‍රය මුද්‍රණයට යන මොහොත වනතුරුත් ආචාර්ය සංගමයට එබඳු සාකච්ඡාවක් සඳහා නිල දැනුම් දීමක් කළේ නැත.
මේ අතර අර්බුදය විසඳීමට මැදිහත්වන ලෙස ආචාර්යවරුන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී. උසස් අධ්‍යාපන ඇමැතිවරයා නොහික්‌මුණු ලෙස ක්‍රියාකොට අවුලෙන් අවුලට පත්කළ සරසවි ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයට මාස තුනක් ඉක්‌ම යන තුරුත් මැදිහත් නොවූ ජනාධිපතිවරයා ඉදිරියට හෝ මැදිහත්වේ යෑයි බලාපොරොත්තු තබා ගැනීම පවා විහිළුවකැයි අපට සිතෙයි. ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ ප්‍රශ්න පවා සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරයට කැඳවූ ජනාධිපතිවරයාට සරසවි ආචාර්යවරුන් සමඟ සාකච්ඡාවකට වාඩිගත නොහැක්‌කේ මන්ද යන්න පිළිබඳ අපට නම් ඇත්තේ ප්‍රහේලිකාවකි.
මස් රාත්තල?
ආණ්‌ඩුව චෝදනා කරන්නේ සරසවි ආචාර්යවරුන් මස් රාත්තලම ඉල්ලා සිටින බවයි. ආචාර්ය වැඩවර්ජනය දරුවන්ගේ අධ්‍යාපනය ඇපයට තබා තමන්ගේ වැටුප් වැඩිකර ගැනීමට දරන උත්සාහයක් ලෙස සමාජගත කිරීමට රජයේ මාධ්‍ය අසාර්ථක උත්සාහයක නිරත වන්නේ මේ නිසාය. ආචාර්ය සංගමය සිය ඉල්ලීම් අතර එක් ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කර සිටින්නේ මහාචාර්ය මලික් රණසිංහ හා මහාචාර්ය ජෙෆ්රි දෙපළ විසින් 2008 දී සකස් කරන ලද ජෙෆ්රි-මලික් වැටුප් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසය. මෙම වැටුප් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මහා භාණ්‌ඩාගාරයද එකඟ වී ඇති නිසා ආචාර්ය වර්ජනය වැටුප් ප්‍රශ්නයක් මුල්කරගත් අසාධාරණ එකක් ලෙස පෙන්වා දීමට ආණ්‌ඩුව දරන උත්සාහයෙන් පැහැදිලි වන්නේ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ගැඹුරින් අධ්‍යයනය කර දශක දෙකක පමණ කාලයක සිට මේ රටේ පවතින අධ්‍යාපන අර්බුදය විසඳීමට මේ ආණ්‌ඩුවටද අවංක වුවමනාවක් නැති බවය.
අධ්‍යාපනයට දරන පිරිවැය ආයෝජනයක් බව අප අමුතුවෙන් පහදාදිය යුතු නොවේ. එහෙත් මෙරට ශ්‍රම බළකායට අවශ්‍ය මානව සම්පත් නිෂ්පාදනයට සෘජුවම දායකත්වය සපයන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා සාධාරණ වැටුප් තල ඇති කිරීමට ආණ්‌ඩුව අවංක ලෙස ඉදිරිපත් වන බවක් පෙනෙන්නට නැත.
විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ගේ මූලික වැටුප රුපියල් 26,900 ක් වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මූලික වැටුප රුපියල් 54,285 කි. අධ්‍යයන දීමනා හා ජීවන වියදම් දීමනා ගැළපූ පසු ආචාර්යවරයකුගේ දළ වැටුප රුපියල් 39,025 ක් වෙයි. සියලු දීමනා සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගේ දළ වැටුප රුපියල් ලක්‍ෂ 8 ක් ඉක්‌මවයි.
මෙම දළ වැටුප ලබාගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරයකු පළමු පංතියේ හෝ දෙවැනි පෙළ ඉහළ සාමාර්ථයක් ලබා උපාධිය සමත්වීම සහ එක් අවුරුදු ශාස්‌ත්‍රීය පර්යේෂණයක් සහිතව සිව් අවුරුදු විශේෂ ගෞරව උපාධියක් ලබාසිටිය යුතු වූවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පාසලකට ගොස් තිබීමවත් අවශ්‍ය නොවේ. කනගාටුවට කාරණය නම් රටේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයකට ඇතුළත්ව උසස් අධ්‍යාපනයක් ලැබූ උසස් අධ්‍යාපන ඇමැතිවරයාද වැස්‌සකට හෝ පාසලකට ගොඩ නොවූ අයකු සේ සරසවි අර්බුදය අච්චාරුවක් කරගෙන සිටීමය.
6%
සරසවි ආචාර්යවරුන් පසුගිය සැප්තැම්බර් මස 23 වැනිදා සිට 28 වැනිදා දක්‌වා ගාල්ල සිට කොළඹට පා ගමනකින් පැමිණීම රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින අර්බුද පිළිබඳ ජනතාව තුළ යම් අදහසක් ඇති කිරීම හේතුවූ බවට සැකයක් නැත. දළ ජාතික ආදායමෙන් 6% ක් අධ්‍යාපනය සඳහා වෙන්කරන ලෙස ඉල්ලීම සරසවි ආචාර්යවරුන් රජයට ඉදිරිපත් කළ යෝජනා මාලාවේ ප්‍රබලම යෝජනාවයි. රජයේ රෝහල්වලින් බෙහෙත් ගන්නා රෝගීන්ට පෞද්ගලික ඔසුසල්වලින් බෙහෙත් ගැනීමට ලියාදීමට හා ලේ, මුත්‍රා වැනි පරීක්‍ෂණ පිටතින් මුදල් ගෙවා කිරීමට සිදුවීමට එරෙහිව වෛද්‍යවරුන් රෝගීන් ඇපයට ගෙන හෝ වැඩවර්ජනය කරනු අප මෙතෙක් දැක නැත. එහෙත් සරසවි ආචාර්යවරුන් අධ්‍යාපනය සඳහා 6% ක් වෙන්කරන්නැයි ඉල්ලා සිටින්නේ මේ රටේ සමස්‌ත අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ උන්නතිය අපේක්‍ෂාවෙන් ය. එය අසාධාරණ ඉල්ලීමකැයි යමකු කියයි නම් සෑම වසරකම පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමට යන දෙමවුපියන් පීඩාවට පත්වන්නේ මන්දැයි මදකට සොයා බැලීම වටී. රටේ පාසල් පද්ධතිය තුළ සම අධ්‍යාපන අවස්‌ථාව ක්‍රියාත්මක වේ නම් දෙමවුපියන් මෙබඳු පීඩාවන්ට පත්වන්නේ නැත. පළමු ශ්‍රේණියේ අර්බුදය හේතුවෙන් පාසලක් නැතිව ගෙදර නවතින දරුවන්ද සිටින නිසා මේ වන විට රටේ දරුවන්ගේ පාසල් නොයැමේ දර්ශකය 7% කින් ඉහළ ගොස් ඇති බව සරසවි ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අසාධාරණයෑයි කියන මහත්වරුන් නොදන්නවා වන්නට පුළුවන. හොර සහතික හදා හෝ විදුහල්පතිවරයාට ලක්‍ෂ ගණනින් අල්ලස් දී හෝ දරුවකු පාසලට ඇතුළත් කළද නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක මේ රටේ එක් දරුවකු වෙනුවෙන් දෙමාපියන් වසරකට පාසලකට ගෙවිය යුතු ගාස්‌තු කොපමණදැයි දන්නේද දෙමාපියන්ම පමණය. ඇතැම්විට ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අසාධාරණ යෑයි කියනා දෙමාපියන්ද ඒ ගැන කල්පනා කර බලතොත් රටේ අධ්‍යාපනය වෙනුවෙන් රජයක වගකීම කොයි තරම් බරපතළද යන්න හොඳින්ම පැහැදිලි වනු ඇත. අධ්‍යාපනය සඳහා 6% ක් වෙන් කිරීම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්‌කෝ කමිටුවේ ප්‍රමිතිය මත තීරණය වන්නක් බව ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. උසස් අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටින්නේ එම ප්‍රතිශතය වෙන්කළ යුත්තේ සාක්‍ෂරතාවෙන් අඩු රටවල් බවයි. ලංකාවේ සාක්‍ෂරතාව 94% ක මට්‌ටමක පවතින නිසා එබඳු අවශ්‍යතාවක් නැතැයි යන්න ඔහුගේ අදහසයි. ඒත් උසස් අධ්‍යාපන ඇමැතිවරයාට අමතක වී ඇති කාරණයක් වන්නේ 1960-70 කාලයේ රට කළ දේශපාලන නායකයන් අධ්‍යාපනය සඳහා කළ ආයෝජන නිසා අද මෙබඳු සාක්‍ෂරතා මට්‌ටමක් පවතින බවයි. ඒත් ඒ කාලයට සාපේක්‍ෂව අද අධ්‍යාපන ක්‌ෂේත්‍රය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද පුළුල් වී ඇති බව අමතක නොකළ යුතුය.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින උභතෝකෝටිකය නම් ක්‍ෂේත්‍රය පුළුල්වත්ම ඒ සඳහා වෙන්කෙරෙන ප්‍රතිපාදන ප්‍රමාණාත්මකව පටුවීමයි. අද වන විට 1.8% කට අඩු වී ඇත්තේ 2005 වර්ෂයේදී 2.5% ක් වැනි අගයක පැවැති අධ්‍යාපනයට කෙරෙන වෙන් කිරීම් බව මේ ආණ්‌ඩුවට අමතක කළ නොහැක. අනෙක් කාරණය නම් පහළ මධ්‍යම පාන්තික හා අඩු ආදායම්ලාභී පවුල් බහුතරයක් ජීවත්වන ශ්‍රී ලංකාව බඳු රටක අධ්‍යාපනයේ සම අවස්‌ථා ආරක්‍ෂා කරගත හැකි වනුයේ ඒ වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රතිපාදන වර්ධනය කිරීමෙන්ම බවට තර්කයක් නැත. ඒත් එල්.ටී.ටී.ඊ.ය මුලිනුපුටා දමා යුද්ධය අවසන් කර තිබියදීත් ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට ජාතික ආදායමෙන් වැඩිම ප්‍රමාණයක් වන රුපියල් බිලියන 289.5 ක් වෙන් කරන මේ ආණ්‌ඩුව අනාගත ආයෝජනයක් වන අධ්‍යාපනයට වෙන් කරන්නේ රුපියල් බිලියන 37.9 ක් පමණ ය. අධ්‍යාපනයට කරන වෙන් කිරීම් ඉහළ දැමීම කෙසේ වෙතත් අඩුම තරමින් අමතර පංති නොයවා පාසල් අධ්‍යාපනයෙන් පමණක් දරුවන්ගේ අනාගතයට සාර්ථක විසඳුම් දීමට හැකිවන පරිදි අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමටවත් මේ ආණ්‌ඩුව පියවර ගත යුතුව ඇත.
ආචාර්ය වර්ජනය පිටුපස බලවේග?
සරසවි ආචාර්යවරුන්ගේ සංගමය ගාල්ලේ සිට ආරම්භ කළ පා ගමන හා විශ්වවිද්‍යාල සිසුන් මහනුවර සිට ආරම්භ කළ පා ගමන රට තුළ වැඩි අවධානයකට ලක් වෙද්දී දණ්‌ඩෙන් පහර කෑ සර්පයන්a මෙන් උසස් අධ්‍යාපන ඇමැතිවරයාත්, විමල් වීරවංශ ඇමැතිවරයාත් රජයේ මාධ්‍ය රූකඩත්, ආචාර්ය පා ගමන පිළිබඳ විවිධ චෝදනා එල්ල කරන්නට විය. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පා ගමනට සහයෝගය දැක්‌වීමට පැමිණි විට එය සරසවි ආචාර්ය වැඩ වර්ජනය පිටුපස දේශපාලන අරමුණු ඇති බවට චෝදනා කරන්නට විය. එහෙත් අප කවුරුත් නොදන්නා කාරණයක් ඇත. සරසවි ආචාර්ය සංගමයේ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව පන්දහස ඉක්‌මවන්නේ නැත. එබඳු පිරිසක් රටට, ජනතාවට, දැනෙන ලෙස පා ගමනක් සංවිධානය කිරීම ප්‍රායෝගික වන්නේ නැත. සරසවි ආචාර්යවරුන්ගේ සේවය අත්‍යවශ්‍ය සේවාවක් නොවීම ද ඊට හේතුවකි. මේ නිසා අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වෘත්තීය සමිතිවල සහයෝගය තම පා ගමනට ලබා ගන්නට ඔවුන්ට සිදුවිය. වෘත්තීය සමිති යනු බොහෝ විට කිසියම් දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ ආයතනය. එවිට අදාළ දේශපාලන පක්‍ෂවල නායකයන් ද සිය වෘත්තීය සමිතියට සහාය පතා මේ පා ගමනට එක් වන්නට විය. එහෙත් පා ගමන පුරා එකදු පක්‍ෂයක පාටක්, කොඩියක්, සටන් පාඨයක් අප දුටුවේ නැත. කවුරුත් දුටුවේ අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිශතය 6% කින් ඉහළ දමන ලෙස සඳහන් සටන් පාඨ පමණය.
විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ආචාර්ය සංගමයේ පෙළපාලියට හෝ සහයෝගය පළ කොට මේ රටේ විපක්‍ෂයක් සිටින බව ජනතාවට ඒත්තු ගැන්වීම ගැන එක් අතකින් අප සතුටු විය යුතුය. අනෙක් අතට ඉතිහාසයේ පැල්ලම් නැති පක්‍ෂ එකක් හෝ විපක්‍ෂයේ නැත. එබඳු තත්ත්වයක් තුළ සුපිරිසිදු විපක්‍ෂයක් තම පා ගමනට ආනයනය කිරීම හැර අන් මඟක් ආචාර්ය සංගමයට ඇත්තේ නැත. කෙසේ නමුත් විපක්‍ෂයේ සිටින දේශපාලන පක්‍ෂ යනු මේ රටේ ජනතාවගේම තෝරා ගැනීම් ය. ආචාර්ය සංගමය යනු කිසියම් දේශපාලන පක්‍ෂයක අතකොළුවක් හෝ මෙහෙයවීමක් නම් විපක්‍ෂයේ සිටින විවිධ මත දරන දේශපාලන පක්‍ෂ කීපයක් එකම පා ගමනට එක් වන්නට හැකියාවක් නැත. එහෙයින් සැබෑ අර්බුදය පැහැදිලිව තිබියදී නැති අර්බුද මවාගෙන ප්‍රශ්නයෙන් පැන යැමට ආණ්‌ඩුව දරන ලැඡ්ජා සහගත උත්සාහය මේ රටේ ජනතාව අවබෝධ කොට ගත යුතුය.
"විප්ලවය යනු පාලකයා වෙනස් කිරීම හෝ ආණ්‌ඩු වෙනස් කිරීම නොව ජනතාව වෙනස් කිරීමයි" ශ්‍රේෂ්ඨ කලාකරුවකු වු බර්ටෝල් බ්‍රෙෂ්ට් වරක් කීවේය. මේ රට දැන් පැමිණ සිටින්නේ එතැනටය. නායකයන් මෙන් ජනතාව ද ආඩම්බරකාරයන් වීම රටේ අනාගතයට යහපත් වන්නේ නැත. එහෙයින් ජනතාව වෙනස් කළ හැකි විප්ලවයක් මේ රටට අවශ්‍යය. එය කළ හැක්‌කේ අන් කිසිවකින් නොව අධ්‍යාපනයෙන්ම පමණ ම ය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment