Divaina, 03/10/2012,
විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිතිය සම්මේලනය (FUTA) විසින් ඇරඹූ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට මේ වන විට තෙමසක් සපිරීමට ආසන්න වී ඇත. වෙනසකට මෙන් පොඩි අරගලයක නියෑලී යළිත් පැමිණ ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරනු ඇතැයි ආණ්‌ඩුව අපේක්‌ෂා කළද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්‌විය. ප්‍රස්‌තුත අරගලය පිළිබඳව කවුරු කවුරුත් තමතමන්ගේ උගත්කම් අනුව ප්‍රතිචාර දක්‌වන බවක්‌ද පෙනෙන්නට තිබේ. විෂයය භාර උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක වරෙක -විනාඩි දහයෙන් මෙම ප්‍රශ්නය ඉවර කරන්නට දන්නා නමුත් එසේ නොකරන බවද, තවත් වරෙක -මෙම වර්ජනය මෙහෙයවන්නේ හොරු, තක්‌කඩි කිහිප දෙනෙකු බවද, -වැඩට නොආවොත් වැඩ වරදින බවද පවසා තිබිණි. වර්ජනය අවසන් කරනතුරු ආචාර්යවරුන් සමග තමා සාකච්ඡා නොකරන බව ජනාධිපතිතුමා ජනමාධ්‍ය ප්‍රධානීන් සමග කීවේය. තමා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටළුවට අතගසා ඇති බැවින් එය දින දෙක තුනකින් අවසන්වන බව මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා කියයිs. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට මරණ තර්ජන එල්ල වී ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි. දේශප්‍රේමි කථිකාචාර්යවරු පිරිසක් මෙම අරගලයට කිසිම පදනමක් නැතැයි පවසා තිබුණි. පාලක රෙජීමය ඉවත් කිරීම සදහා ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක වූ -සුහර්තෝ පන්නයේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ලෙස මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හදිසියේම අර්ථකතනයට ලක්‌වෙයි. මෙම ප්‍රශ්නය විසදිය හැක්‌කේ කෙසේද, කාටද ආදිය ගැන අන්තර්ජාල පාඨකජාල මත විමර්ශනය සඳහා මෙරට ඇතැම් අන්තර්ජාල පුවත් පත් ඒ අල්ලපනල්ලේ සමීක්‌ෂණ පවත්වන්නට පටන්ගෙන තිබේ.
කෙසේ වුවද එම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තව තවත් පුළුල් වෙමින් ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු වෙනත් වෘත්තීය සමිති සමඟ එAකාබද්ධ වෙමින් වඩාත් සංවිධානාත්මක අරගලයක් දක්‌වා දේශපාලන, ජාති, පළාත් බේදයකින් තොරව වර්ධනය වෙමින් තිබෙන බව පෙනේ.
එම-රූපාන්තරණය තුළ තම ඉල්ලීම් පිළිබදව පළල් ජනමතයක් ඇති කරණූ සඳහා වඩාත් නිර්මාණාත්මක ප්‍රවේශයන් අත්හදා බලමින් හා අනුගමනය කරනු ද පෙනෙන්නට තිබේ. එහෙත් එම අරගලයට ලැබෙන සෑම -උණුසුම් ප්‍රතිචාරයකම දැකිය හැකි පොදු තත්ත්වයක් වන්නේ උද්ගතවී ඇති තත්ත්වය -විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස අර්ථකථනයට සීමාවීමට උත්සුක වී තිබීමයි. එම අර්ථකථනය මත පදනම්ව මෙරට -ජනමතය නැමැති නිර්වින්දිත විනිශ්චය සභාව ඉදිරියේ මෙම අරගලය දේශෙද්‍රdaහි වැඩපිළිවෙළකැයි ඔප්පු කර පෙන්වීම පහසුය. එසේම එම අර්ථකථන උපක්‍රමය භාවිතයෙන් එම අරගලයේ එක් ඉල්ලීමක ජාතික වැදගත්කම හා මෙරට අනාගතය සම්බන්ධයෙන් ඇති කේන්ද්‍රීය අදාලත්වය අවතක්‌සේරු කිරීමක නිරතවන බවද පෙනීයයි. එම ඉල්ලීම නම් අධ්‍යාපනය සඳහා වාර්ෂිකව වෙන්කරන රාජ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් 6% දක්‌වා ඉදිරි වසර දෙක තුළ වැඩි කරන ලෙස කෙරෙන ඉල්ලීමයි. මෙය සාමාන්‍ය වෘත්තීය සටනකට වඩා වෙනස්, මෙරට උසස් අධ්‍යාපනයේ අනාගතය පිළිබද තීරණාත්මක අරගලයක් ලෙස හඳුන්වා දීම යුක්‌තිසහගත වන්නේ එම ඉල්ලීම නිසාවෙනි. මෙම අරගලය සඳහා බහුජන පදනමක් නිර්මාණය වන්නේද එම ඉල්ලීම ඔස්‌සේය. කෙසේ වෙතත් තමන් ගැන පමණක් සිතන -රටට හෙණ ගැහුවත් අපට මොකෝ. පන්නයේ පරාරෝපිත ජනමත අවකාශයක් තුළ -අපේ දරුවන්ට උගන්වනවා වෙනුවට මුන් 'ඉස්‌ට්‍රයික්' කරනවා වර්ගයේ මතධාරීන් සොයා ජනමාධ්‍ය වි-ජාකාරයන් පියාඹා ගොස් ඒ කුලී මතවාදය යුක්‌තියුක්‌ත කරණය ඔස්‌සේ,මේ අරගලය පොදු ජනතාවගෙන් ගලවා දැමීමේ මෙහෙයුමට පෙර මහජනතාවගේ දැනගැනීම උදෙසා සෙසු වෘත්තීයමය ඉල්ලීම් කෙසේ වෙතත් යටකී ඉල්ලීම සම්බන්ධයෙන් යමක් අවධාරණය කිරීම මේ ලිපියේ අරමුණයි. ඒ, අධ්‍යාපනය සඳහා වාර්ෂිකව මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් 6% වෙන් කරන්නැයි කෙරෙන ඉල්ලීම හුදෙක් තම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය සඳහා බහුජන පදනමක් නිර්මාණය කරගැනීමට උපයුක්‌ත කරගත් බාල දේශපාලන ක්‍රමෝපායක් නොවේය යන උපකල්පනය මත පදනම් වෙමිනි.
මෙම ඉල්ලීම මත ඇති වැදගත්කම මෙරට සෑම දේශප්‍රේමි පුරවැසියෙක්‌ම තේරුම් ගත යුතුව තිබේ. මේ ඉල්ලීම ඉදිරිපත් කරන සමාජ ආර්ථික වකවානුව ගෝලීය වශයෙන් සලකා බලන්නේ නම් ගෝලීය ආර්ථිකයේ ලාභය, ඵලදායිතාව හා තරගකාරිත්වය, දැනුම විසින් හසුරුවනු ලබන වකවානුවකි. එය තාක්‌ෂණික දැනුමද, ශාස්‌ත්‍රීය දැනුමද යන්න දෙවනුව විග්‍රහ කර ගතයුතු කාරණාවකි. කෙසේ වෙතත් දැනුම කේන්ද්‍රීය සාධකය වූ -දැනුම් ආර්ථිකයක, සමාජ ආර්ථික සංවර්ධනය සදහා අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන ආයෝජන ඉහළ දැමීම අනිවාර්ය බව තේරුම් ගැනීමට යමෙකු මහා ප්‍රාඥයකු විය යුතු නැත. එහෙත් ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු මෙම වෘත්තීය සමිති අරගලය පිළිබදව ස්‌වකීය සදාචාර විනිශ්චය ඉදිරිපත් කිරීමට පෙර සෙසු ඉල්ලීම් අතර මෙම ඉල්ලීමේ ඇති බරපතල වැදගත්කම වරක් දෙවරක් නොව තෙවරක් සිතිය යුතු බව මගේ වැටහීමයි. නමුත් වැඩවසම් පන්නයේ -ආරච්චි මහත්තයෙකුට හා ඔහුගේ -හෙංචන්ට, -පෙංචන්ට මූලික සාක්‌ෂරතාව 90%ක මට්‌ටමේ පවත්වා ගැනීමට ඉස්‌කෝලවල -අකුරු ටිකක් කියා දුන්නම මදෑ යෑයි සිතෙන්නට පුළුවන. එසේ නොමැතිව උසස් අධ්‍යාපනය සදහා වියදම් කර බුද්ධිමතුන් බිහිකිරීම අනාගතයේ ආරව්ච් පට්‌ටම් බලාපොරොත්තුවෙන් සිටින නූගත් -පුංචි ආරච්චිලාට අවදානම් සහගත වියහැකි යෑයි සිතීම ද වැරදි නැත. එහෙත් ආසියාවේ ආශ්චර්ය යනු යථාර්ථවාදී බලාපොරොත්තුවක් නම් අධ්‍යාපන සඳහා වන ජාතික වියදම් වැඩි කිරීම අවශ්‍යයෙන්ම කළ යුතු බව මතු දැක්‌වෙන ජාතික, ජාත්‍යන්තර උදාහරණ හා කරුණු කාරණා ආශ්‍රයෙන් තේරුම් ගතයුතුව තිබේ.
ජාතික, කලාපීය හා ගෝලීය සංවර්ධනය පිළිබද ප්‍රධාන මූලාශ්‍රයන් ලෙස විද්වත් හා වෘත්තික ප්‍රජාවන් අතර පරිශීලනයට ලක්‌වන එක්‌සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්ෂික වාර්තාව, ලෝක බැංකුවේ ලෝක සංවර්ධන වාර්ෂික වාර්තාව, එක්‌සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා හා සංස්‌කෘතික සංවිධානය (යුනෙස්‌කෝ) ආදී වාර්තාවලින් උපුටා ගන්නා ලද දත්ත ආශ්‍රයෙන් කර ඇති පහත විශ්ලේෂණයන් මෙරට අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ ඇති අභියෝගය එය මුහුණ දෙන අවදානම හා එහි ගුණාත්මක ප්‍රමාණාත්මක ප්‍රසාරණයන්ගේ තදබල අවශ්‍යතාවය සාපේක්‌ෂ පදනමකින් විග්‍රහ කරයි. පහත පළමු වගුව දකුණු ආසියානු කලාපයේ රටවල මානව සංවර්ධන දර්ශකය, එහි කාලීන වර්ධනය හා මූලික සාක්‌ෂරතාව පිළිබද තුලනාත්මක විශ්ලේෂණයකි.
මානව සංවර්ධන දර්ශකය (Human Development Index-HDI) හුදෙක් ආර්ථික සංවර්ධනය මත තීරණය වන සංවර්ධන දර්ශකයක් නොව්. ඒ සදහා සලකා බලන රටෙහි අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශවල ප්‍රගතිය ප්‍රබල දායකත්වයක් සපයයි. එ.ජා මානව සංවර්ධන වාර්තාවේ 2001 ප්‍රකාශනයට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ මධ්‍යම මානව සංවර්ධනයක් සහිත රටවල් කාණ්‌ඩයේ හතර වන තැනය. සංවර්ධන දර්ශකයේ ඉදිරි වර්ධනයන් වඩාත් අභියෝගාත්මක වන අතර ඒ අභියෝග සදහා අවශ්‍ය ක්‍රමෝපාය නිසි පරිදි කළමනාකරණය කරන්නේ නම් ඉතා පහසුවෙන් ඊළග කඩඉම් කලාපය වන ඉහළ මානව සංවර්ධනයක් සහිත රටවල් ගොන්නට ඇතුලත් වීමට හැකි වනු ඇත. එහෙත් ඉහත වගුවේ සිව්වන තීරුවේ සඳහන් පරිදි උක්‌ත කාලසීමාව තුළ මෙරට සාපේක්‌ෂ මානව සංවර්ධන දර්ශක වර්ධනය 28%ක් පමණි. නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව හා පකිස්‌තානය යන රටවල් ඉතා සැලකිය යුතු වර්aධනයක් ඒ සම්බන්ධයෙන් ලබා ඇත. කලාපයේ සෙසු රටවල් අධ්‍යාපනය සම්බන්ධයෙන් කර ඇති බර තැබීම හා ශ්‍රී ලංකාෙච් තත්ත්වය තුලනාත්මකව විශ්ලේෂණය කර බැලීමෙන් මේ පසුබෑම පිටුපස ඇති එක් ප්‍රධාන කරුණක් වන්නේ අධ්‍යාපනය සඳහා කෙරෙන අඩු ආයෝජන බව තේරුම් ගත හැකිය. ඒ සදහා පහත වගුව ගොඩනගන්නේ එ. ජා. මානව සංවර්ධන වාර්තාව, ලෝක බැංකු ලෝක සංවර්ධන වාර්තාව හා යුනෙස්‌කෝ මූලාශ්‍ර කර ගනිමින් 2000-2010 දශකයේ දෙවන අර්ධයට අදාළ දත්ත වැඩි වශයෙන් සලකා බලමිනි.
කලාපයේ ඉහළම ආර්ථික වර්ධන ෙච්ගය වාර්තා කරන ශ්‍රී ලංකාව අධ්‍යාපනය සදහා වෙන් කරන සොච්චම කිසිසේත්ම සාධාරණීකරණය කළ හැක්‌කේද? ඒ සදහා කෙරෙන සාධාරණ ඉල්ලීම්වලට එරෙහි වීමෙන් පෙනීයන්නේ ගෝලීය ආර්ථික කේන්ද්‍රයේ හාම්පුතුන් අනාගතයේ ඔවුන්ගේ දේශීය ඒජන්තයන් සමග ලංකාවේ ඉදිකරන කර්මාන්තශාලා සඳහා රිසිසේ සෘජුව සූරා කෑමට අවශ්‍ය කුසලතා වලින් පමණක් සමන්විත වහල් පරපුරක් බිහිකිරීමේ නව වැඩවසම් ආර්ථික සමාජ ප්‍රතිපත්තියකට අප අවතීරණය වෙමින් සිටින බවද? එසේත් නැතිනම් විශ්ව විද්‍යාල හෝ වෙනත් උසස් අධ්‍යාපන කේන්ද්‍රස්‌ථාන වෙනුවට ඇඟළුම් කර්මාන්තශාලා බිහි කිරීමේ සංවර්ධන ප්‍රවේශයේම දිගුවක්‌ද? 2012 විසර්ජන පනතට අනුව 2011 වසරට සාපේක්‌ෂව ආරක්‌ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ වැය රුපියල් බිලියන 15 කින්ද, ආර්ථික සංවර්ධන අමාත්‍යංශ වැය රුපියල් බිලියන 30 කින්ද, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශ වැය රුපියල් බිලියන 51 කින්ද, සෞඛ්‍යය අමාත්‍යංශ වැය රුපියල් බිලියන 11 කින්ද, වරාය හා මහාමාර්ග අමාත්‍යංශ වැය රුපියල් බිලියන 43 කින්ද, ප්‍රවාහන අමාත්‍යංශ වැය රුපියල් බිලියන 11 කින්ද වැඩිකිරීමට යෝජනා කරද්දී අධ්‍යාපනය සඳහා එකතු වන්නේ රුපියල් බිලියන 02 ක් පමනි. සීමාන්තික ලෙස මානව සම්පත් සංවර්ධනය අවතක්‌සේරු කිරීමේ අරමුණ කුමක් විය හැකිද? ලෝකයේ සංවර්ධිත යෑයි සැලකෙන රටවල් කිහිපයක 2011 වසරේ ආර්ථික සංවර්ධන වේගය හා අධ්‍යාපනය සදහා වෙන්වන රාජ්‍ය ප්‍රතිපාදන පහත දැක්‌වේ.
දළ දේශීය නිෂ්පාදනයෙන් 4.5%- 6% ත් මට්‌මක මෙම රටවල් තම අධ්‍යාපන ආයෝජනයන් පවත්වා ගත්තද රාජ්‍ය වියදම්වල ප්‍රතිශතයක් ලෙස සලකා බලන්නේ නම් සෑම විටම එය 10%ක් ඉක්‌මවා ගිය මට්‌ටමක පවත්වා ගැනීමකි. ඉතා සුලූ උච්චාවචනයන් ආයෝජන ප්‍රතිශතයන්ගේ සිදු වුවද ඒ සෑම රටකමත්, විශේෂයෙන් නැගෙනහිර ආසියානු නව කාර්මීකරණයට ලක් වූ රටවලත් (Newly Industrialized Countries - NIC) -අධ්‍යාපන කර්මාන්තය තුළ පෞද්ගලික අංශයේ දායකත්වය ප්‍රභලය. ඒ දෘෂ්ටිකෝණයෙන් බලද්දී පසුගිය සෑම රජයක්‌ම අධ්‍යාපන පෞද්ගලිකකරණයේ මූලික සැලසුමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රමෝපාය ලෙස අධ්‍යාපනය සදහා වන රාජ්‍ය වියදම් එකතැන පල්වීමට සලස්‌වා ඇත.
එ. ජා සංවර්ධන වාර්තාවේ මානව සංවර්ධන දර්ශකයේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව කියුබාව 51 වන ස්‌ථානය හිමිකරගෙන සිටින්නේ මානව සංවර්ධන දර්ශකය 0.776 ක් ලෙස සටහන් වෙද්දීය. අධිරාජ්‍යවාදයේ එළිපත්ත මත සිටියද කියුබාව ඉහළ මානව සංවර්ධනයක් පවතික රටකි. ඒ රටවල් කාණ්‌ඩයේ හතර වන තැන සිටින කියුබාව දළ ජාතික නිෂ්පාදනයෙන් 18.7%ක් අධ්‍යාපනය සඳහා ආයෝජනය කරමින් අදටත් ලෝකයේ වැඩිම රාජ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය අධ්‍යාපනය සදහා ආයෝජනය කරන රට බවට පත්වී තිබේ. පෞද්ගලික අංශයේ (දේශීය මෙන්ම විදේශීය) ආයෝජන කෙතරම් අධ්‍යාපන ක්‌ෂේත්‍රය වෙත ගලා ආවද ඉන්දියාව සිය 2012-2013 මුදල් වර්ෂය වන රාජ්‍ය අය වැය තුළින් අධ්‍යාපනය සදහා වෙන් වන රාජ්‍ය ප්‍රතිපාදන 18% කින් වැඩිකර තිබේ. එම වැය ශීර්ෂයෙන් 75%ක් පාසල් අධ්‍යාපනයේ අභිවෘද්ධිය සදහාද ඉතිරිය උසස් අධ්‍යාපනයේ අභිවෘද්ධිය සදහාද යෙදවීමට යෝජිතය. ශ්‍රී ලංකාවේ ක්‍රමානුකූලව සිදුවෙමින් පවතින අධ්‍යාපනය සදහා වන රාජ්‍ය වියදම් වර්ධනය නොකිරීමේ උපක්‍රමය මෙරට තෘතීක අධ්‍යාපනය සම්බන්ධයෙන් බලපා ඇති ආකාරය පහත වගුවෙන් විස්‌තරවේ.
තෘතීයික අධ්‍යාපනය සඳහා ප්‍රවේශවීමේ අනුපාතය යනු යම් රටක පාසල් යැම අරඹන හා අවසන් කරන වයස් සීමාව තුළ සිටින මධ්‍ය වාර්ෂික ජනගහනයට සමානුපාතිකව සලකනු ලබන වසරක එම රටෙහි තෘතීයික අධ්‍යාපනය සඳහා ඇතුළු වන සංඛ්‍යාවේ ප්‍රතිශතාත්මක නිරූපනය වේ. මෙම තුලනාත්මක විශ්ලේෂණයෙන් කියාපාන්නේ අධ්‍යාපන ආයෝජනවල අඩුව මෙන්ම අධ්‍යාපන ප්‍රතිපත්තියේ ඇති බරපතල දුබලතාවන්ගේ -දිග පළල යි. සර්වදේශීය සාක්‌ෂරතාව 62.8% වන ඉන්දියාවේ තෘතීය අධ්‍යාපනය සදහා ප්‍රවේශ වීමේ ප්‍රතිශතය 10.5%වෙද්දී සාක්‌ෂරතාවය 90.6% වන අපේ රටේ තෘතීය අධ්‍යාපනය සදහා ප්‍රවේශ වන්නේ 5.1% ක් පමණි. දේශීය රැකියා වෙළෙඳපොළ පමණක් ඉලක්‌ක කරගත් (වැඩිපුර උපාධිධාරීන් බිහිවීම තර්ජනයකැයි සිතන) අධ්‍යාපන ප්‍රතිපත්තිය, තෘතියික මට්‌ටමේදී රටේ බුද්ධිමය නිෂ්පාදන කප්පාදු කිරීමේ ස්‌වභාවය ඉන් පැහැදිලි වන අතර එය ගෝලීය වශයෙන් ව්‍යාප්ත විද්වත් වෘත්තික ශ්‍රී ලාංකිය ප්‍රජාවක් බිහි නොවීමට බලපා ඇති එක් ප්‍රධාන මූලකරණයක් වී තිබේ. එහෙත් එම කප්පාදුව (හෙවත් සීමිත උසස් අධ්‍යාපන ඉඩප්‍රස්‌ථා) බාලාංශයේ සිටම ශ්‍රී ලාංකික දරුවා අනවශ්‍ය තරගයකට යොමුකර අධ්‍යාපන ක්‍රියාවලිය තුළ මානසික ආතතියකින් පමණක් ජීවත් වීමට ඉඩ සලසා ඇත.
අධ්‍යාපනය සඳහා වාර්ෂිකව දළ ජාතික නිෂ්පාදනයෙන් 6% වෙන් කරගත් පමණින් මෙරට අධ්‍යපන ක්‌ෂේත්‍රයේ සියලු ගැටළු විසඳේ යෑයි හෝ විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ ඇති අර්බුදයන්ට එකම හේතුව ප්‍රතිපාදන හිඟය යෑයි යමෙකු සිතන්නේ නම් එය මුළාවකි. ගෝලීය විද්වත් සංවාද, වෘත්තියික ජයග්‍රහන තුල ශ්‍රී ලාංකික නියෝජනයේ මෑත කාලීන කඩා වැටීම, මෙරට උසස් අධ්‍යාපන ආයතන වලින් බිහිකරන ශිල්පීය හෝ ශාස්‌ත්‍රීය අභ්‍යාසලාභියා වෘත්තීය වෙළෙඳපොළෙහිදී අඩු ව්‍යවසායකත්වයක් ප්‍රදර්ශනය කිරීම හෙවත් රැකියා සඳහා දේශීය රාජ්‍ය අංශය මතම පමණක් යෑපීමට උත්සහ කිරීම ආදී ගැටළු පුලුල්ව විග්‍රහ කරගැනීමේදී එම යථාර්තයන් පිටුපස ඇත්තේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ ගුණාත්මක හා ප්‍රතිපත්තිමය අඩුපාඩු බව පිළිගත යුතුව තිබේ. එහෙත් එම වැදගත් අවශ්‍යතාව, අධ්‍යාපන ක්‌ෂේත්‍රයේම අභිවෘද්ධිය සඳහා වැදගත්වන තවත් සටනක් නිශ්ක්‍රිය කිරීම සඳහා භාවිත නොකළ යුතුය.
අධ්‍යාපනය සදහා ඉල්ලා සිටින 6%ක ප්‍රතිපාදන වෙන් කිරීමේ සාධාරණ ඉල්ලීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ එක් ප්‍රධාන ඉල්ලීමක් වුවත් එය මෙරට ප්‍රාථමික ද්විතියික තෘතියික හා විධිමත් නොවිධිමත් වෘත්තීය ආදී අධ්‍යාපනයේ සෑම උපක්‌ෂේත්‍රයක් සදහාම කාර්යාත්මක වශයෙන් අදාළවන හා ජාතික වශයෙන් වැදගත් වන්නා වූ ඉල්ලීමකි. ඒ සදහා ඒ සඳහා සහය දීමට අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ සෙසු අංශ කවර ක්‍රමවේදයක් තෝරා ගත්තද කොන්දෙසි විරහිතව ඊට සහායදීම නම් කළයුතුය. එහෙත්, රුපියල් හත්දහස් පන්සියයකින් පවුලකට මාසයක් ජීවත් විය හැකියෑයි පුරෝකථනය කරන ආර්ථික විද්‍යා ටියුෂන් මාස්‌ටර්වරයෙකු අධ්‍යාපන ඇමතිධුරය හොබවන අපේ රටේ අධ්‍යාපන වැය, දළ ජාතික නිෂ්පාදනයෙන් 2%ක් 3%ක් වීම -ඉහටත් උඩින් නොවේදැයි උසස් අධ්‍යාපන ඇමතිවරයා හෝ සමස්‌ත කැබිනට් මණ්‌ඩලයම තර්ක කරන්නේ නම් ඒ ගැන ද පුදුම වියයුතු නැත.
ලංකේෂ්වර කිවුලේගෙදර
No comments:
Post a Comment