Friday, August 17, 2012

නිදහස්‌ අධ්‍යාපනයේ සතුරු බලවේගය

Divaina.com, 17/08/2012, ආචාර්ය ඕ. ජී. දයාරත්න බණ්‌ඩා
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ශ්‍රී ලාංකිකයන්ට නිදහස්‌ අධ්‍යාපනය ලැබුණේ මෙරට අතීතයේ සිටි දූරදර්ශී දේශපාලන නායකයන්ගේ දැඩි කැපවීම හා අප්‍රතිහත ධෛර්යය නිසා බව ඉතිහාසය සාක්‍ෂි දරයි. යටත් විජිත සමයේ පැවැති සමාජ, ආර්ථික හා අධ්‍යාපන ක්‍රමයෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් බිහි වූ මෙරට වරප්‍රසාද ලත් පංතිය නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය ඇති කිරීමට විරුද්ධව දැඩි අරගලයක්‌ කළ බව ඉතිහාසය කියවන විට පැහැදිලි වේ. 1930 ගණන්වල දුම්බර ආසනය නියෝජනය කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි ඒ. රත්නායක හා මතුගම ආසනය නියෝජනය කළ ගාල්ලේ ආචාර්ය ක්‍රිස්‌ටෝපර් විලියම් විෙ-කෝන් කන්නන්ගර යන ශ්‍රීමතුන්ගේ මූලිකත්වයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළත් ඉන් පිටතදීත් ඇති වූ දැඩි බුද්ධිමය හා ජන අරගලයකින් අනතුරුව මෙරට නිදහස්‌ අධ්‍යාපනය ගොඩනගන ලද්දේ මෙරට අතිමහත් බහුතරයක්‌ වන දිළිඳු හා අඩු ආදායම්ලාභී ජන කොටස්‌වල උන්නතිය උදෙසාය.

ආචාර්ය කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ සභාපතිත්වයෙන් 23 දෙනකුගේ සාමාජිකත්වයෙන් ස්‌ථාපිත කරන ලද අධ්‍යාපනය පිළිබඳ විධායක කමිටුවේ නිර්දේශ කිහිපයක්‌ පදනම් කොට ගෙන නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය මෙරට තුළ ඇරඹුණි. මෙම කමිටුවේ මූලික නිර්දේශ අනුව සැකසුණු අධ්‍යාපන ක්‍රමය පාසලෙහි පළමුවන වසරේ සිට විශ්වවිද්‍යාලය දක්‌වා නිදහස්‌ අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමට කටයතු කරන ලදී. නිදහස්‌ අධ්‍යාපනය රටට ලබාදීම සඳහා කෙතරම් දැඩි ආයාසයක්‌ දැරීමට සිදුවූයේ ද යන්නත් එයට එරෙහිව පැවැති දැඩි විරෝධයත් සනාථ කරන සාක්‍ෂි කොතෙකුත් ඇත. නිදහස්‌ අධ්‍යාපනයේ සතුරු බලවේග වර්තමානයේදී ද එලෙසම ක්‍රියාත්මක වෙයි.

තමන් විසින් වියදම් කොට අධ්‍යාපනය ලබාගන්නා විට වරප්‍රසාද ලත් පංතියට පමණක්‌ ඒ අවස්‌ථාව හිමිවන නිසා සියලු දෙනාටම ජනතාව ගෙවන බදු මුදල් පදනම් කොට ගෙන අධ්‍යාපනය ලබාදීම මෙමගින් නිර්මාණය කරන ලදී. නිදහස්‌ අධ්‍යාපනයේ මූලික ඉලක්‌කය වූයේ දිළිඳු හා අඩු ආදායම්ලාභී අතිමහත් බහුතරය වන ශ්‍රී ලාංකික ජනතාව බව රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී නිදහස්‌ අධ්‍යාපන පනතට පක්‍ෂව ඉදිරිපත් වූ විවිධ අදහස්‌ දැක්‌වීම් මගින් මනාව තහවුරු වේ. එහෙත් නිදහස්‌ අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලද අවස්‌ථාවේදීත් පසුගිය 70 වසරක කාලය තුළත් නිදහස්‌ අධ්‍යාපනයට එරෙහිව ක්‍රියාත්මක වී ඇත්තේ මෙරට ඇති හැකි පංතියේ අය හා ඔවුන් නියෝජනය කරනු ලබන බුද්ධිමය කේන්ද්‍රයන් විසින් බව පැහැදිලිය.

මෙරටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක්‌ සැකසීම සඳහා පිඹුරුපත් සැකසීමේ අරමුණින් රැස්‌ වූ අධ්‍යාපන විධායක කමිටුවේ වාර්තාව නිම කිරීමට ආසන්න වන විටත් විශ්වවිද්‍යාලය දක්‌වා අධ්‍යාපනය නොමිලේ ලබාදෙන යෝජනා අඩංගු නොවීය. අවසන් රැස්‌වීමේදී දුම්බර ආසනය නියෝජනය කළ ඒ. රත්නායක ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ විශ්වවිද්‍යාල දක්‌වාම නොමිලේ අධ්‍යාපනය ලබාදිය යුතුය යන යෝජනාව ඉදිරිපත් කරන ලද අතර ඒ කෙරෙහි දැඩි විරෝධයක්‌ ද කමිටු සාමාජිකයන්ගෙන් මතු විය. ආරම්භක අවස්‌ථාවේදී ආචාර්ය කන්නන්ගරගේ මතය වූයේ ද විශ්වවිද්‍යාලය දක්‌වා අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ අවශ්‍යතාවක්‌ නොමැති බවයි. එහෙත් දැඩි වාද විවාදවලින් අනතුරුව විශ්වවිද්‍යාලය දක්‌වාම අධ්‍යාපනය නොමිලේ බදු මුදල් පදනම් කොටගෙන ලබාදිය යුතුය යන යෝජනාව වැඩි ඡන්දයෙන් කමිටුව විසින් සම්මත කරන ලදී. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් වාර්තාව නැවත කෙටුම්පත් කිරීමට ද සිදුවිය. ඉන් අනතුරුව විශ්වවිද්‍යාල දක්‌වාම අධ්‍යාපනය නොමිලේ ලබාදිය යුතුය යන ස්‌ථාවරය කන්නන්ගර ඇතුළු කණ්‌ඩායම ඉදිරියට ගෙන යන ලදී. මෙම විධායක කමිටුවේ නිර්දේශ පදනම් කොට ගෙන නිදහස්‌ අධ්‍යාපන ක්‍රමයක්‌ සැකසීමේ වගකීම එවකට අධ්‍යාපන ඇමැතිවරයාව සිටි ආචාර්ය කන්නන්ගර ශ්‍රීමතාණන්ට පවරන ලදී.

1944 දී නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය සහිත පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරමින් ආචාර්ය කන්නන්ගරට පැය හයහමාරක්‌ පමණ කතා කිරීමට සිදු වූ බව හැන්සාර්ඩ් වාර්තා සාක්‍ෂි දරයි. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයන්ට නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය ඒත්තු ගැන්වීම සඳහා දැඩි වෙහෙසක්‌ දැරීමට ඔහු ඇතුළු පිරිසකට සිදුවිය. මෙම පනතට පක්‍ෂව ඩඩ්ලි සේනානායක, ෙ-. ආර්. ජයවර්ධන, ඒ. රත්නායක, ඔලිවර් ගුණතිලක, එන්. එම්. පෙරේරා හා එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක යන මන්ත්‍රීවරු අදහස්‌ පළ කළ අතර නිදහස්‌ අධ්‍යාපන පනතට එරෙහිව කම්කරු, කර්මාන්ත හා වාණිජ ඇමැති ජී. සී. එස්‌. පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායමෙන් සමන්විත මෙරට වරප්‍රසාද ලත් පංතිය නියෝජනය කළ මෙරට පැවැති පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයේ දේශපාලන නියෝජිතයෝ දැඩි විරෝධයක්‌ මතු කළහ.

රාජ්‍ය සභාව තුළ පමණක්‌ නොව ඉන් පිටතදීද, නිදහස්‌ අධ්‍යාපන පනතට එරෙහිව ක්‍රියාත්මක වූ බලවේග පරාජය කිරීම සඳහා ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්, ආචාර්ය ජී. පී. මලලසේකර, එල්. එච්. මෙත්තානන්ද යන අය රට පුරා ව්‍යාපාරයක්‌ ක්‍රියාත්මක කරන ලදී. නිදහස්‌ අධ්‍යාපන පනතට රට පුරා ඇති හැකි පංතියෙන් ඇති වූ දැඩි විරෝධය ද මඩිමින් එම පනතට පක්‍ෂව මහජන සහයෝගය ලබාගැනීමට හැකි වූ අතර එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් රාජ්‍ය සභාවේ සිටි නිදහස්‌ අධ්‍යාපන විරෝධීන් ජනමතයට බිය කොට නිහඬ කිරීමට හැකිවිය.

නිදහස්‌ අධ්‍යාපන පනත ප්‍රමාද කිරීමේ උපක්‍රම ද රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ක්‍රියාත්මක විය. නිදහස්‌ අධ්‍යාපන පනත වසරක පමණ කාලයක්‌ විවාද වූ බව සඳහන් වේ. එසේම 1930 ගණන්වල මුල්භාගයේ සිටම මෙරට අධ්‍යාපන ක්‍රමයක්‌ සැකසීමට අධ්‍යාපනය පිළිබඳ විධායක කමිටුව සාකච්ඡා කරමින් සිටිය ද ඒ කාර්යය 1945 වනතුරුම සාර්ථක කර ගැනීමට නොහැකි විය. ඒකීය අධ්‍යාපන පද්ධතියක්‌ සැකසීමට එරෙහිව විවිධ කූට උපක්‍රම ක්‍රියාත්මක කරමින් පිරිසක්‌ විරුද්ධ වූ අතර රාජ්‍ය ආධාර මත ආගමික ආයතන මගින් පවත්වාගෙන ගිය වරප්‍රසාද ලත් පංතිය ඉලක්‌ක කළ අධ්‍යාපන ආයතන එසේ තිබෙන්නට ඉඩහරින පරිසරයක්‌ තුළ පමණක්‌ නිදහස්‌ අධ්‍යාපන පනතට ඉඩ හැරීමට මොවුහු කටයුතු කළහ.

නිදහස්‌ අධ්‍යාපන පනතට විරුද්ධ වූ අය අතර ඩී. එස්‌. සේනානායක ද සිටි බව වාර්තා වෙයි. එබැවින් ඩී. එස්‌. සේනානායක රටින් බැහැරව සිටින අවස්‌ථාවකදී පනත සම්මත කර ගැනීමට කටයුතු කළ බව ද සඳහන් වේ. ඩී. එස්‌. සේනානායක නිදහස්‌ අධ්‍යාපන පනතට විරුද්ධ වූයේ හේතු දෙකක්‌ නිසා බව මහාචාර්ය කේ. එම්. ද සිල්වා සඳහන් කරයි. පළමුවැන්න වූයේ මෙම නව අධ්‍යාපන පද්ධතිය නිසා රාජ්‍ය වියදම් වැඩි වී අයවැය පීඩනය ඇති වේය යන බියයි. මෙම මතය වර්තමානයේ ද පෞද්ගලික අධ්‍යාපනයට පක්‍ෂව ඉදිරිපත් වේ. දෙවැන්න වන්නේ යටත් විජිත සමයේ පැවැති අධ්‍යාපන ක්‍රමයෙන් වරප්‍රසාද හිමිකරගෙන සිටි සුළු ජන කොටස්‌වල විරෝධය හේතුවෙන් නිදහස්‌ රාජ්‍යය තුළ වාර්ගික සාමය ගොඩනැගීමට නොහැකි වේය යන විශ්වාසයයි. එහෙත් 1946 ශ්‍රී ලංකා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සකසමින් සිටි නිසා නිදහස්‌ අධ්‍යාපන පනතට වැඩි අවධානයක්‌ යොමු නොවීමේ වාසිය ලබාගෙන ආචාර්ය කන්නන්ගර ඇතුළු පිරිස නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත කර ගත්හ. සුළු ජන කොටස්‌වලට හානි නොවන ප්‍රතිපාදන නව ව්‍යවස්‌ථාවේ 29 වගන්තිය තුළ ඇතුළත් කරන ලදී.

නිදහස්‌ අධ්‍යාපන පනතට එරෙහිව රාජ්‍ය මන්ත්‍රණ සභාවේදීත් ඉන් පිටතත් විරෝධය දැක්‌වූවන් විවිධ ආකාරයේ මඩ ප්‍රචාර අවලාද හා ශාස්‌ත්‍රීය තර්ක ද ඉදිරිපත් කරන ලදී. කන්නන්ගර ප්‍රමුඛ නිදහස්‌ අධ්‍යාපනයට පක්‍ෂව කරුණු ඉදිරිපත් කළ අය අපහාසයට පත්වන ආකාරයෙන් ද නොයෙක්‌ අදහස්‌ අවලාද ඉදිරිපත් විය. කන්නන්ගරගේ අධ්‍යාපන ක්‍රමය නිසා අනාගතයේ කුලී වැඩකරුවන්, පොල් කඩන්නන් වැනි අයගේ හිඟයක්‌ ඇති විය හැකි බවටත් වරප්‍රසාද ලත් පංතියේ අය මැසිවිලි නැගූහ. කුල හීනයන් ලෙස සැලකූ අය හා දුගීන් සමඟ අනාගතයේ වරප්‍රසාද ලත් පංතියේ අයට සම ස්‌ථානයේ කටයුතු කිරීමට සිදුවීම මහා නින්දාවක්‌ වශයෙන් ද රට පුරා ප්‍රචාරය කරන ලදී. නිදහස්‌ අධ්‍යාපන පනත වරප්‍රසාද ලත් පංතියට එරෙහිව සිදුවන විප්ලවයක්‌ වශයෙන් අර්ථකථනය කර ගත් බව එම පනතට එරෙහිව වරප්‍රසාද ලත් පංතියෙන් ඉදිරිපත් වූ දැඩි විරෝධයෙන් මනාව පැහැදිලි වේ.

නිදහස්‌ අධ්‍යාපන පනතට එරෙහි වූ බලවේග 1947 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී ආචාර්ය කන්නන්ගරගේ මන්ත්‍රී ආසනය පරාජය කිරීමට කටයුතු කරන ලදී. නිදහස්‌ අධ්‍යාපනය හඳුන්වා දී වසර දෙකක්‌ ඇතුළත තම ආසනය අහිමි කර ගැනීමට කන්නන්ගරට සිදුවූයේ ශ්‍රී ලාංකිකයන් ගුණමකුවන් නිසාදැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. මෙරට දුක්‌විඳි අති මහත් ජනතාවට යහපතක්‌ කිරීමට උත්සාහ කළ කන්නන්ගර වැන්නකු රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් එළියට විසි කරන ලද්දේ නිදහස්‌ අධ්‍යාපන විරෝධී දුෂ්ට බලවේග විසිනි.

1952 දී පැවැති මැතිවරණයෙන් අගලවත්ත ආසනය නියෝජනය කළ කන්නන්ගර ජයග්‍රහණය කළ ද ඔහුට අධ්‍යාපන අමාත්‍යාංශය ලබා නොදීමට එවකට ආණ්‌ඩු කළ නිදහස්‌ අධ්‍යාපන විරෝධීහු කටයුතු කළහ. එවකට පැවැති ආණ්‌ඩුව මූලික වශයෙන් මෙරට වරප්‍රසාද ලත් පංතියේ වුවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටි නිසාම කන්නන්ගර වැනි ප්‍රගතිගාමී දේශ හිතෛෂියකුට අධ්‍යාපන විෂය පැවරීම නොකළ යුතු බවට තීරණය කොට තිබූ බව පැහැදිලි වේ. මේ නිසා ආචාර්ය කන්නන්ගර සිතූ පරිදි නිසි ප්‍රතිසංස්‌කරණ නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය තුළ තවදුරටත් ඇති කිරීමට නොහැකි විය.

මෙරට වරප්‍රසාද ලත් පංතියේ හිමිකාරත්වයෙන් පැවැති ජාතික පුවත්පත් නිදහස්‌ අධ්‍යාපන පනතට එරෙහිව දැඩි ප්‍රහාරයක්‌ ද දියත් කරන ලදී. නිදහස්‌ අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ විවාද වෙමින් තිබෙන කාලය තුළ ජාතික පුවත්පත් ආචාර්ය කන්නන්ගර ඇතුළු කණ්‌ඩායමේ මානසික තත්ත්වය බිඳ දැමීම සඳහා නොයෙක්‌ කූට උපක්‍රම ද ක්‍රියාත්මක කරන ලදී. ආචාර්ය කන්නන්ගර පහත් කොට සැලකීම සඳහා ඔහු හොඳ අධ්‍යාපනයක්‌ ලැබීමට අවස්‌ථාවක්‌ නොලද අයකු වශයෙන් හැඳින්වීය. කෝලේට්‌ කාටුන් මගින් කන්නන්ගර මන්ද මානසික පුරුෂයකු (බසබජදපචදදච) වශයෙන් හැඳින්විය. ක්‍රිකට්‌ ගැසීම නිසා ඔහුගේ හිසෙහි සිදු වූ තුවාල කැළැල් පෙන්වූ කන්නන්ගරට මොළයෙහි තුවාලයක්‌ ඇති බවට පෙන්වමින් ද කාටුන් ඉදිරිපත් විය. මේ සියල්ලෙන් පිළිබිඹු කරනු ලබන්නේ නිදහස්‌ අධ්‍යාපනය මෙරටට හඳුන්වාදීමට වෙරදරු දිළින්දන් නියෝජනය කළ දේශපාලන නායකයන්ට වරප්‍රසාද ලත් පංතියේ ඒජන්තයන් කළ ගැරහීම්ය. එහෙත් එම මඩ ප්‍රචාර හා ගැරහිලි නොතකා නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය මෙරට තුළ ඇති කිරීමට දේශහිතෛෂි ජන නායකයෝ කටයුතු කළහ. බුද්ධිමත්හු ඒ සඳහා නොමඳ සහයක්‌ ලබා දුන්හ.

නිදහස්‌ අධ්‍යාපනය නිසාම බොහෝ දෙනකුට දිළිඳු තත්ත්වයේ සිට ඉහළ සමාජ තලවලට යැමට හැකිවිය. බුද්ධිය හා හැකියාව මත මානව ප්‍රාග්ධනය හා බුද්ධිමය ප්‍රාග්ධනය ගොඩනඟාගෙන සමාජයේ වැජඹීමට හැකිවිය. ඉහළ තනතුරු දරමින් පාලක පංතියට සම්බන්ධ වීමට හැකිවිය. බලය, ධනය හා තනතුරු දැරීමට පමණක්‌ නොව ඒවා පාලනය කිරීමේ බලය ද ලබාගන්නට හැකි විය. ඒ මගින් කුලවාදයෙන් තොර වූ වර්ගවාදයෙන් තොර වූ පංතිවාදයෙන් තොර වූ චින්තනයක්‌ රට තුළ නිර්මාණය වූ අතර එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඕනෑම ශ්‍රී ලාංකිකයකුට සමාන අවස්‌ථා හිමිකර ගැනීමට හැකි වන පරිසරයක්‌ බිහි විය.

ශ්‍රී ලංකාවේ මහා සමාජ පරිවර්තනයකට උරදුන් නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය විනාශ කිරීම සඳහා න්‍යාය පත්‍ර සැකසෙමින් තිබෙන්නේද යන සැකය බොහෝ දෙනෙක්‌ තුළ වර්තමානයේ ඇති වී තිබේ. ශ්‍රී ලංකාවේ පංති අසමානතාව, කුල අසමතාව, ස්‌ත්‍රීපුරුෂ අසමතාව, ග්‍රාමීය නාගරික පරතරය වැනි සමාජය වෙලා ගෙන පැවැති බොහෝ පද්ධති සිඳ බිඳ දා ඕනෑම පුද්ගලයකුට සමාජයේ ඉහළම තලයට යා හැකි ක්‍රමයක්‌ නිදහස්‌ අධ්‍යාපනය නිසා ඇති විය. එබැවින් ශ්‍රී ලංකාවේ නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය මහා සමාජ පරිවර්තනයකට උරදුන් සමාජ පද්ධතියකි. නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලාංකික උරුමයක්‌ පමණක්‌ නොව ලෝක උරුමයක්‌ වන අතර එය මානව හිතවාදී සමාජ ක්‍රමයක්‌ ද වේ. මෙම අද්විතීය සමාජ ක්‍රමය සුරැකීම අප කාගේත් වගකීමකි.

ශ්‍රී ලංකාවේ නිදහස්‌ අධ්‍යාපනය ස්‌ථාපනය කිරීමට එරෙහිව ක්‍රියාත්මක වූ වරප්‍රසාද ලත් කණ්‌ඩායමෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදීත් ඉන් පිටතදීත් ඇති වූ විරෝධය වර්තමානය වන විට විවිධ මුහුණුවරයන්ගෙන් තවමත් ක්‍රියාත්මක වන බව පැහැදිලිය. වර්තමානයේ දක්‌නට ලැබෙන එකම වෙනස වන්නේ නිදහස්‌ අධ්‍යාපනය නිසාම වරප්‍රසාද ලත් පංතියට ඇතුළත් වූ කුල පීඩනයෙන් හා ආර්ථික පීඩනයෙන් මිදුණු බොහෝ දෙනා ද තමන්ට සමාජයේ ඉහළට යැමට උරදුන් නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය විනාශ වන ආකාරයේ ක්‍රියාමාර්ග ගනිමින් සිටීමයි. රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි මානව සම්පත් දියුණු කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක නොවන්නේත් පර්යේෂණ සඳහා නිසි ක්‍රමවේදයක්‌ හා සම්පත් නිර්මාණය නොකරනු ලබන්නේත් රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි අභ්‍යන්තර ආයතනික ප්‍රතිව්‍යqහගතකරණය අතිශයින් අවශ්‍ය වුවත් එය ක්‍රියාත්මක නොකරමින් සිටින්නේත් නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය අඩපණ කොට විනාශ වීමට ඉඩ හැරීම සඳහා ද යන සැකය බොහෝ දෙනෙක්‌ තුළ මතුවනු ඇත. නිදහස්‌ අධ්‍යාපනය සුරක්‍ෂිත කොට වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය නිසි දේශපාලන නායකත්වය ආණ්‌ඩුව තුළින් ඉදිරිපත් විය යුතුය. නව ලිබරල්වාදයේ මිත්‍යාවෙන් වෙලී සිටින දේශපාලන පක්‍ෂවලට ඒ සඳහා කළ හැකි දෙයක්‌ නොමැත.

නිදහස්‌ අධ්‍යාපනය නිසා කුල පීඩාවෙන් ද දිළිඳු බවින් ද ස්‌ත්‍රී පුරුෂ අසමතාවෙන් ද ග්‍රාමීය සංවර්ධන අසමතාවෙන් ද වෙනත් නොයෙක්‌ සමාජ පීඩාවන්ගෙන් මිදී වරප්‍රසාද ලත් පංතියට පැනගත් බොහෝ දෙනා වර්තමානයේ නිදහස්‌ අධ්‍යාපනය විනාශ කොට පෞද්ගලික අධ්‍යාපන ක්‍රමය පැතිරවීමට කටයුතු කරමින් සිටිති. නිදහස්‌ අධ්‍යාපනයට විරුද්ධව දේශන තියති. විවිධ කතිකාවලට සහභාගි වෙති. නිදහස්‌ අධ්‍යාපනයට අනුපූරකයක්‌ වශයෙන් පෞද්ගලික අධ්‍යාපනය ඉදිරිපත් කළ හැකි වුවත් එය ආදේශකයක්‌ වශයෙන් භාවිත කළ නොහැකි බව බොහෝ දෙනකුට අමතක වී තිබෙන බව ද දැකිය හැකිය.

නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය නිසාම අප ලබාගත් බොහෝ දෑ රටෙහි අනාගත පරපුරට නැති කොට අප ලබාගත් වරප්‍රසාද රැකගන්නට කටයුතු කරන්නේ ද යන සැකය ද වර්තමානයේ සිදුවන දෑ තුළින් කෙනෙක්‌ තුළ පහළ වන්නට පුළුවන. වරප්‍රසාද ලත් පංතියට මුදල් ගෙවා මහන්සි නොවී අධ්‍යාපනය ලබා ගන්නා ක්‍රමය වෙනුවට ඒකීය අධ්‍යාපන පද්ධතියක්‌ තුළ නොමිලේ මෙන්ම මුදල් අය කොට ද අධ්‍යාපනය ලබාදෙන ක්‍රමයක්‌ නිර්මාණය කළ හැකිය. නැතහොත් ජනමතය වන්නේ බදු මුදලින් නඩත්තු කරනු ලබන අධ්‍යාපන ක්‍රමයක්‌ පමණක්‌ වන්නේ නම් ඒ කෙරෙහි පමණක්‌ යොමුවීමේ වරදක්‌ නොමැත. එවැනි ක්‍රමයක්‌ මගින් සියලු දෙනාටම එක්‌ මට්‌ටමකදී තරග කිරීමට හැකියාව ලැබෙන අතර සැබෑ දක්‍ෂයන් මතුකර ගැනීමට ද හැකියාව ලැබේ. සමාජය තුළ නැවත වරක්‌ බෙදීම් ඇති වීම වළක්‌වා ගත හැකිය. වර්තමානයේ වල් බිහි වී ඇති මෙරට සමස්‌ත අධ්‍යාපන පද්ධතියම නිසි පරීක්‍ෂණයකින් අනතුරුව ප්‍රතිසංස්‌කරණය කළ යුතුව තිබේ. එදා මෙන්ම අද ද ක්‍රියාත්මක වන වරප්‍රසාද ලත් පංතිය මෙරට නිදහස්‌ අධ්‍යාපනය විනාශ කිරීමට දරන උත්සාහයට එරෙහිව නැගී සිටිය යුත්තේ මෙරට බහුතරයක්‌ වන පීඩාවට පත් වූ ජන කණ්‌ඩායම් විසිනි. වර්තමානයේදී නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය රැකගැනීමට බොහෝ බුද්ධිමතුන් ක්‍රියා කළ ද එයට ජාතික නායකත්වයක්‌ ලබාදෙන හෝ දිය හැකි දේශපාලන නායකයන්ගේ හිඟයක්‌ තිබීම සැබවින්ම ෙ€දවාචකයකි. නිදහස්‌ අධ්‍යාපනය විනාශ වීමෙන් පීඩාවට පත්වන අතිමහත් බහුතර ජනතාවට ද ඒ පිළිබඳ නිසි උනන්දුවක්‌ නොමැති බව පැහැදිලි වේ.
 

No comments: