Divaina.com, 06/03/2012
උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක
"මානව ප්‍රාග්ධන මූල්‍ය පනත" මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පැවැසීය.
උපාධිය අවසන් කිරීමට පෙර වෙනත් වෘත්තීය පාඨමාලාවක් හැදැරීමට මෙම පනත මගින් අවස්‌ථාව සැලසෙන බවද ඒ මහතා සඳහන් කළේය.
බ්‍රිතාන්‍යයේ කළමනාකාරිත්ව ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනය (සීමා) සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අතර වෘත්තීය උපාධිධාරීන් බිහිකිරීමේ වැඩසටහනට අදාළ ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති උළෙලේදී මේ බව සඳහන් කළ ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ මේ වනවිට විශ්වවිද්‍යාලවල තිබෙන සාම්ප්‍රදායික විෂයයන්ට සහ සාම්ප්‍රදායික පාඨමාලාවන්ට අමතරව නව පාඨමාලා හඳුන්වා දෙන්නටත් එම පාඨමාලා සහ විෂයයන් නවීකරණය කරන්නටත් මේ වනවිට කටයුතු කෙරෙමින් පවතිනවා. විශේෂයෙන්ම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉල්ලුමක් පවතින පාඨමාලා හඳුන්වා දෙමින්, අධ්‍යාපන ක්‍රමවේදයන්, විභාග ක්‍රමවේදයන් වෙනස් කරමින් ජාත්‍යන්තර තලයේ විද්‍යාර්ථීන් බිහිකිරීමට කටයුතු කරමින් සිටිනවා.
ඒවගේම මීට පෙර තිබුණු සාම්ප්‍රදායික විෂයයන් දෙකක්, තුනක් කරලා බාහිර උපාධියක් ලබාගන්නා සංස්‌කෘතිය වෙනස් කරලා එම සිසුන් කිසියම් රැකියාවක නිරතවෙන අය නම් තමන්ගේ ක්‍ෂේත්‍රයට අදාළ පාඨමාලාවන් ඒ ඒ විශ්වවිද්‍යාලවලින් තෝරාගෙන බාහිර උපාධිය ලබාගැනීමේ අවස්‌ථාව ලබාදෙන්නටත් අප කටයුතු කරනවා. එපමණක් නොවෙයි විශ්වවිද්‍යාලවලට අනුබද්ධ ආයතනවලටත් මේ වන විට නව පාඨමාලා හඳුන්වා දෙන්නටත් කටයුතු කරනවා.
උසස් අධ්‍යාපනයේ තරගකාරිත්වය බලන විට අපට පැහැදිලිව පෙනෙන දෙයක් තමයි දරුවන් වගේම දෙමව්පියන් පවා තමන්ගේ දරුවන් යොමු කරන්නේ ඉංජිනේරුවකු එහෙමත් නැත්නම් වෛද්‍යවරයකු කරන්නටයි. නමුත් මතක තබාගත යුතු කාරණය තමයි මේ දෙක ම වෘත්තීය පාඨමාලා දෙකක්. මේ දෙකෙන් ම බිහිකරන්නේ වෘත්තිකයින්, විද්‍යාර්ථින් නොවෙයි බිහි කරන්නේ. විද්‍යාර්ථින් බිහිකරන්නේ ජීව විද්‍යාව සහ භෞතික විද්‍යා අංශයන්ගෙනුයි. ඒ අංශයන්ට ඇතුළත්වන්නට අපේ රටේ සිසුන් උනන්දුවක් දක්‌වන්නේ නැහැ. ඒකට හේතුව අපේ රටේ ඒ සංස්‌කෘතිය තවමත් ඇතිවෙලා නැති නිසා. නමුත් එම අංශයන්ගෙන් තමයි ලෝකයට සේවයක් කරන්නට පුළුවන් නව පර්යේෂකයෝ, විද්‍යාඥයෝ බිහිවෙන්නේ. ඒ නිසා ම ජනාධිපතිතුමාගේ දීර්ඝකාලීනව අදහසක් තිබෙනවා විද්‍යා අංශය සියයට 50 දක්‌වාත් වාණිජ්‍ය අංශය සියයට 30 දක්‌වාත් වර්ධනය කොට කලා අංශය සියයට 20 දක්‌වා සංකෝචනය කරන්නටත්, එතකොට විශ්වවිද්‍යාලයට අද සිසුන් යනවා වගේ තමන්ට ඉංජිනේරු හෝ වෛද්‍ය උපාධිය සඳහා ඇතුළත් වන්නට නොහැකි වූවා යෑයි පරාජිත මානසිකත්වයකින් යා යුතු නැහැ.
මේ දිනවල පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ස්‌වාමීන්වහන්සේලා උද්ඝෝෂණය කරනවා. නමුත් අපි කටයුතු කරන්නේ සත්‍යයට ගරු කරමින්. ගමේ පන්සලේ හාමුදුරුවෝ, ගමේ දායක දායිකාවෝ තමන්ගේ වෙර වීර්යයෙන් සහ පිංකැටේ කඩලා පොඩි හාමුදුරුවන්ව විශ්වවිද්‍යාලයට එවන්නේ තමන්ගේ පන්සලට, ගමට හොඳ විද්‍යාර්ථියෙක්, හොඳ ස්‌වාමීන්වහන්සේ නමක් උපාධියකුත් අරගෙන එයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් කනගාටුයි කියන්නට පසුගිය දවසක මහෝපාධ්‍යයන් වහන්සේත් එක්‌ක එම විශ්වවිද්‍යාලයේ ස්‌වාමීන්වහන්සේලාගේ කණ්‌ඩායම් ඡායාරූපය ලබාගෙන තිබුණා. එම ඡායාරූපය ගන්න අවස්‌ථාවේ ගිහි සිසුන් 17 ක් පමණයි පෙනී සිට තිබෙන්නේ. ඡායාරූපය මුද්‍රණය වෙන අවස්‌ථාවේ ගිහි සිසුන් 51 ක් බවට පත්වෙලා. මේක හොඳ තත්ත්වයක් නොවෙයි. රටේ ජනතාව, ගමේ ජනතාව, ගමේ හාමුදුරුවො බලාපොරොත්තුවන විද්‍යාර්ථියෙක් විදියට ස්‌වාමීන්වහන්සේනමක් එළියට එන්නේ නැත්නම් මේ ආයතන වහලා දාන එක තමයි හොඳ. නැත්නම් ඒවායේ වගකීම ගන්නට වෙන්නේ අපිට. පව් සිදුවන්නේ අපිට.
උපාධිධාරීන් රැකියාවක නිරතවිය හැකි තත්ත්වයට පත්කරලා එළියට දාන්න කටයුතු කරන එක බලධාරීන් වශයෙන් අපේ වගකීම. එහෙම නැතිව තොග පිටින් උපාධිධාරීන්ට රැකියා දෙන එකෙන් අසාධාරණයට ලක්‌වන්නේත් උපාධිධාරීන්ම යි. ඒ අය රැකියාවට ආ දවසේ පටන් විශ්‍රාම යන දවස තෙක් ඉන්නේ කනස්‌සල්ලෙන්. ඊට හේතුව තමයි ඒ අයට උසස්‌වීම් ලබාගැනීමට මාවතක් සකස් කර නොමැතිකම. ඒකට අනෙත් සේවාවලින් පැමිණි රාජ්‍ය සේවකයන් විරුද්ධයි. ලිපිකරුවාට උසස්‌වීම්වලට ගිහින් අමාත්‍යාංශ ලේකම් දක්‌වා එන්නට පාරවල් තිබෙනවා. කම්කරුවාට ඉහළට යන්න පාරක් තිබෙනවා. නමුත් උපාධිධරයාට පරිපාලන සේවා විභාගය, ක්‍රමසම්පාදන සේවා විභාගය ලියන්නට අවස්‌ථාවක් දෙන්නේ නැහැ. ඉතින් මේ අය එක් අතකින් අතරමං වෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාලවලින් එළියට එන උපාධිධරයාගේ මානසිකත්වය හදන්නට ඒ අයට වෘත්තීය මාර්ගයක් සැලසීමට අවශ්‍ය කටයුතු සකසා දීමට උපකුලපතිවරු, ආචාර්ය මහාචාර්යවරු උත්සාහ කරන්නට අවශ්‍යයි.
මෙහිදී අදහස් දැක්‌වූ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා - වෘත්තීය උපාධිධාරීන් බිහිකිරීමේ වැඩසටහනට අමතරව ව්‍යවසායකත්ව උපාධිධාරීන් බිහි කරන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. ඒ අනුව මේ වනවිටත් මොරටුව විශ්වවිද්‍යාලයේ මේ කටයුත්ත සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. සිසුන් 400 ක් පමණ ඒ සඳහා යොමුවෙලා තිබෙනවා. තවත් සිසුන් 100 ක් පමණ ඊට සහභාගිවීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සියයට 10 ක් ව්‍යවසායකත්ව උපාධිධාරී වැඩසටහනට සම්බන්ධ කරගැනීමට ලැබුණොත් ඉතිරි සියයට 90 ට රැකියා සපයන්නට ඒ අයට හැකියාව ලැබෙනවා. ඒ නිසා එම වැඩසටහන කාලීනව ඉතා යෝග්‍ය වැඩසටහනක්.
වෘත්තීයමය උපාධිධාරීන් බිහිකිරීම සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ගවලින් එකක් ලෙස තමයි මෙම වැඩසටහන ක්‍රියාවට නංවන්නේ. සීමා ආයතනය මගින් සියයට 45 ක වට්‌ටමක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙනවා. පොඩි මුදලක් ගෙවන්නට සිදුවෙනවා. ඉහතින් සඳහන් කරන්නට යෙදුණු බැංකු ණය ලබාදීමෙන් පසුව ඒ කටයුත්ත සාර්ථකව කරන්නට අවස්‌ථාව ලැබෙනවා. ගමෙන් එන බුද්ධිමත් දරුවාට ජාත්‍යන්තර මට්‌ටමේ පිළිගත් උපාධියක් වගේම ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය පාඨමාලාවක් හදාරන්නට ලැබෙනවා නම් ඒක කොයිතරම් භාග්‍යයක් වේවිද? අපට අවශ්‍ය වන්නේ එයයි යනුවෙන් පැවසීය.
මෙම අවස්‌ථාවේදී සීමා ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂක මඬුල්ලේ සභාපති ඩර්ක් පෙරේරා මහතා සීමා හි මැදපෙරදිග, දකුණු ආසියානු හා උතුරු අප්‍රිකානු කලාපීය අධ්‍යක්‍ෂක බ්‍රැඩ්ලි එමර්සන් මහතා හා සීමා හි ශ්‍රී ලංකා ප්‍රධානී රැඩ්ලි ස්‌ටීවන් මහතා ද කතා කළ අතර විශ්වවිද්‍යාල උපකුලපතිවරු, පීඨාධිපතිවරු, ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ.
No comments:
Post a Comment